spot_img
spot_imgspot_img

හෙළ වෙද ගෙදරට කොරෝනා ආශ්‍රිතයන් දාලා රෝගීන් සිය ගණනක් අමාරුවේ

පුවත්

විදෙස්

ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් පවත්වාගෙන යන විජේරාමේ හෙළ වෙද ගෙදර ගොඩනැගිල්ලේ ඉහළ මහළ කොරෝනා ආශ්‍රිතයන් සඳහා ලබාදීමෙන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන් අවදානමට ලක්වී ඇතැයි පැවසේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරියකු කොරෝනා ආසාදිතවීමත් සමඟ ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන් පිරිසක් “හෙළ වෙද ගෙදර” ආයුර්වේද මධ්‍යස්ථානයේ නවතා තැබීමට එහි බලධාරීන් කටයුතු කර තිබේ. ඔවුන්ට එහි නවාතැන් දී ඇත්තේ පසුගිය ඉරිදා (21) දිනයේ සිටය.

නිරෝධායනය වන පුද්ගලයන් 10 දෙනකු පමණ එහි නේවාසිකව සිටිය දී ද නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් මෙම ස්ථානයේ සඳුදා, අඟහරුවාදා සහ අද (25) ආයුර්වේද සායන පවත්වා ඇත. දිනකට එහි ප්‍රතිකාර ගැනීම සඳහා 150-200ත් අතර රෝගීන් ප්‍රමාණයක් සඳහා අංක ලබාදෙන අතර රෝගීන් සමඟ පැමිණෙන අයත් ඇතුළුව දිනකට 300කට වැඩි පිරිසක් මෙම ගොඩනැගිල්ලට පැමිණෙති.

විජේරාමේ සෝරත මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල පුද්ගලික ගොඩනැගිල්ලක් වන අතර එහි අළුත්වැඩියා කටයුත්තක් ද මේ දිනවල සිදුවෙමින් පවතී. එහි දින 10ක පමණ කාලයක් රැස්වීම් මාලාවක් පැවැත්වෙන බැවින් අලුත්වැඩියා කටයුතු නතර කරන ලෙස ද ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට දන්වා ඇතත් එවැනි රැස්වීම් එහි පැවැත්වෙන්නේ නැත.

ආයුර්වේද ඖෂධ සංස්ථාව රජය විසින් නිකුත් කරන ලද නිරොධායනය නීති පිළිපැදිය යුතු රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයකි. රජය නිකුත් කළ චක්‍රලේඛයන්හි දැක්වෙන්නේ රජයේ කිසිදු කාර්යාල ගොඩනැගිල්ලක, නිල නිවාසයක හෝ නේවාසිකාගාරයක, පොදු ජනතාව ප්‍රවේශවන ස්ථානයක තනි පුද්ගලික නිල නිවාසයක හැර නිරෝධායනය වන පුද්ගලයන් රඳවා නොතැබිය යුතු බවයි. ඒ අනුව ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාව රජයේ රෙගුලාසි උල්ලංඝනය කර තිබේ.

මේ පිළිබඳ එම ආයතනයේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ එහි රැඳී සිටින පුද්ගලයන් පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද දැනුම්වත් කර ඇති බවයි. එමෙන්ම ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවත් ආශ්‍රිතයන් යැයි සැක සහිත අය පමණක් බවත් හෙතෙම කීවේය. ඒ නිසා එය ප්‍රශ්නයක් නොවන බව ද කීවේය.

නමුත් මේ පිළිබඳ සෞඛ්‍ය අංශවලින් විමසූ විට කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ ආශ්‍රිතයන් 10 දෙනකු ඉරිදා (21)  නිරෝධායනයට යොමුකිරීමට උපදෙස් දුන් අවස්ථාවේ දී ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත තැනක රඳවා තබන බව කීව ද මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා තබන්නේ යැයි නොපැවසූ බවයි.

වයස්ගත පුද්ගලයන් සහ රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණෙන පරිශ්‍රයක කොරෝනා රෝගියකුගේ ආශ්‍රිතයන් රඳවා තැබීම බරපතල වරදක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ලේ රැඳී සිටින නිරෝධායනය වන පුද්ගලයන්ට හා ප්‍රතිකාර සඳහා පැමිණෙන අයට ගොඩනැගිල්ලට ඇතුළුවීමට ඇත්තේ එක් ප්‍රවේශ දොරටුවක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!