spot_img
spot_imgspot_img

පිළිකා කාරක සහිත ‍විෂ පොල්තෙල් වෙළෙඳ පොළේ

පුවත්

විදෙස්

පිළිකා ඇතිවීමට තුඩුදෙන විෂ වර්ගයක් ලෙස සැළකෙන ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් මෙරට වෙළෙඳ පොළට නිකුත් වී ඇතැයි මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසයි.

ඔවුන් මේ බව කියා සිටියේ දඹුල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 180,000 අතරින් මෙරට නිෂ්පදානය කරනු ලබන්නේ තෙල් මෙට්‍රික් ටොන් 25,000ක් පමනි. ඉතිරි සියල්ල විදෙස් රටවලින් පොල් තෙල් හා එළවළු තෙල් හෝ වෙනත් ආදේශක වර්ග ආනයනය කර වෙළෙඳ පොළට මුදාහැරීම සිදුකරයි.

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරන්නේ පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල දී මෙරට ප්‍රධාන තෙල් අපනයන කරුවන් 04 දෙනකු විසින් ආහාරයට නුසුදුසු විෂ රසායනික අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනනය කර ඇති බවයි. ඉන් 37,000ක් දැනටමත් බදු සහනය යටතේ වෙළෙඳ පොළට මුදාහැර ඇතැයි ද ඔවුහු චෝදනා කරති. ඒ සඳහා වියදම් කළ මුදල රුපියල් බිලියන 10.5ක් බව ද එම සංගමය අනාවරණය කරයි.

බුද්ධික ද සිල්වා මෙසේ පවසයි.

“අනායනය කළ කන්ටේනර් 13ක් දැනට එළියට ගිහින් තියෙනවා. මේ තෙල් සාම්පල පරීක්ෂා කළ විට එම තෙල්වල විෂ රසායනික අඩංගු බව තහවුරු වී තිබෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මේවා දැනටමත් පාරිභෝගිකයන් අතට ගිහින් ඇති. තවත් කන්ටේනර් 20කට වඩා තිබෙනවා මුදාහරින්න අවශ්‍ය ලිපි ලේඛන දෙන්නේ නැතිව. මේවාට කවුද වගකියන්නේ. රජයේ වගකිව යුතු අය මේ ගැන සොයා බැලිය යුතුයි නේද ?”

මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශයෙන් විමසූ විට කියා සිටියේ එම ආනයනික පොල්තෙල් තොග ආශ්‍රයෙන් කළ පරීක්ෂණවල දී ඇෆ්ලටොක්සීන් නමැති මාරාන්තික පිළිකා කාරකය ඇති බව තහවරු වී ඇති බවයි. එම තෙල් තොගය මහජන පරිභෝජනය සඳහා නුසුදුසු බැවින් වහාම ඒවා ප්‍රති අපනයනය කළ යුතු බව ශ්‍රී ලංකා රේගුවට සහ අදාල ආනයන සමාගම්වලට දැනුම් දුන් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසූ විට එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න කියා සිටියේ තම ආයතනය විසින් එම තෙල් සාම්පල පරීක්ෂා කළ අවස්ථාවේ දී පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් තෙල් සාම්පල පිළිබඳ කරන ලද පර්යේෂණ වාර්තා යළි විමර්ශනය කිරීමට කටයුතු කරන බව ද එම ආයතනය පවසයි.

මේ අතර කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වූ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර කියා සිටියේ විෂ රසායන අඩංගු කන්ටේනර් 20ක් අතරින් 13ක් රේගුව විසින් නිදහස් කර ඇති බවයි. තවත් කන්ටේනර් 50ක් ඇති බවත් මේ පිළිබඳ විෂයභාර අමාත්‍යවරු සොයා බැලිය යුතු බවත් එම ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

(කාංචන කුමාර ආරියදාස)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!