බ්‍රිතාන්‍ය රාජකීය ජීවිතාරක්ෂක සංගමය විසින් පිරිනමන මවුන්ට් බැට්න් සම්මානයෙන් පිදුම් ලද පිහිනුම් උපදේශක ආචාර්ය කේ. ඩබ්ලිව් යසරත්න මහතා මෙරටට අත්කරදී ඇති කීර්තිය අති මහත්ය. ඒ අතරට තම ගෝලයින් එක්කරගනිමින් නව වාර්තාවක් ඔස්සේ ශ්‍රී ලංකා පිහිනුම් වාර්තා පොත අලුත්කරන්නට යසරත්න සැලසුම් කර ඇත්තේ ඒ කෙරෙහි ලෝක අවධානය ද හිමිකර ගනිමිනි.
පිහිනුම් ක්‍රීඩාව හරහා මෙරට වැඩිම වාර්තා පිහිටුවා ඇත්තේ කෙටිදුර පිහිනුම් අංශ සඳහාය. එම තත්ත්වය වෙනස්කරමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කිලෝ මීටර් හැටක දුරක් දිවා රාත්‍රී පිහිනා වාර්තාවක් පිහිටුවන්නට යසරත්න මහතාගේ ගෝලයකු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෝෂාන් අබේසුන්දර (32) සූදානමින් සිටින්නේ මෙරට පිහිණුම් ක්‍රීඩාව නව මාවතකට යොමුකරමිනි.
ඒ අතරට තවත් තවත් වාර්තාවක් එක්කරන්නට මාතර රාහුල විද්‍යාලයේ සිසුන් වන අභිමන් වෙල්ලප්පිලි (17) හා ශෂාන් අෂීම් (15) ද මාතර සුජාතා විද්‍යාලයේ කේ. ඩබ්ලිව් විහංගා දිල්මිණි (17) ශිෂ්‍යාව ද සූදානමින් සිටිති. ඒ මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි වරායට කිලෝමීටර් තිහක දුරක් පිහිනා ගොස් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නටය.
මෙම නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමේ සැලසුමට අදාලව පසුගිය සති කීපය පුරා පුහුණු තරග රැසක් දකුණු මුහුදු තීරයෙහි පැවති අතර එහිදී ද නව වාර්තා කීපයක් බිහිවිය. ඒ අතරට පළමුවෙන් එක්වූ වාර්තාව වූයේ මාතර සිට මිදිගමට කිලෝ මීටර් පහළොවක් පිහිනාගොස් තැබූ නව ශ්‍රී ලංකා වාර්තාවයි. එතෙක් පැවති වාර්තාව වූයේ කිලෝ මීටර් දහයක් පිහිනා තබා තිබූ වාර්තාවයි. රෝෂාන් සමග එක්ව පාසල් දූ දරුවන් තිදෙනා එම වාර්තාව බිඳදමා නව වාර්තාවක් තබන්නට සමත්වූහ.
ඉකුත් ජනවාරි තුන්වැනිදා රොෂාන් මාතර සිට කොග්ගලට කිලෝ මීටර් විසි පහක් පිහිනා නව වාර්තාව තවත් අලුත් කළේය. එම අවස්ථාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට ඔවුන් වාර්තා පොතට එක්කරන ලදි.
එතැනින් නොනැවතුණු රොෂාන් පෙබරවාරි මස 26 හා 27 දෙ දින දිවා රාත්‍රියේ මාතර සිට ගාල්ල දඩල්ලටත් දඩල්ලේ සිට නැවත උණවටුනටත් කිලෝමීටර් හතළිස් අටක් පිහිනා නව ජාතික වාර්තාවක් තැබුවේය. මෙම හැම තරග අවස්ථාවකටම අභිමන්, ශෂාන් අෂීම් හා විහංගා දිල්මිණි ද සහාය පිහිනුම්කරුවන් ලෙස එක්වෙමින් අත්දැකීම් එක්කර ගත් අතර ඔවුන් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීම සඳහා ඉහළ පුහුණවක් ද ලබුහ.
තම පුහුණුකාරීත්වය යටතේ නව වාර්තා තබන්නට ගෝලයින් සූදානම් කළ අයුරු පිහිණුම් උපදේශක ආචාර්ය කේ. ඩබ්ලිව් යසරත්න මහතා මෙලෙස විස්තර කළේය
“මගේ වයස දැන් අවුරුදු පනස් නවයයි. පිහිනුම් උපදේශකයකු ලෙස සේවා කාලය වසර තිස් අටක්. මෙම කාලය තුළ මම පහළොත් දහසක පමණ පිරිසක් පිහුණුම් ක්‍රීඩාව සඳහා පුහුණු කර තිබෙනවා. මම 2014 සුනාමි ව්‍යසනයේදි ජීවිත රැසක් බේරාගත්තා. ඒ සඳහා තමයි මට එංගලන්ත මහ රැජිනගේ විශේෂ සම්මානය හිමිවුණේ. 1985 පොල්හේන ජල ක්‍රීඩා සංගමය පිහිටුවා අද වෙනතෙක් එහි සාමාජිකයක් ලෙස කටයුතු කරමින් අනාගත පරපුරට අතහිත ලබාදෙනවා. රොෂාන් මගේ ළඟට ආවේ පිහිනුම් තාක්ෂණය පිළබඳ හදාරන්නට. එලෙස පැමිණි රෝෂාන්ගේ දක්ෂතා හඳුනාගෙන මම මෙම වාර්තාව සඳහා ඔහුව සූදානම් කළා එය දුටු රාහුලේ දරුවන් දෙදෙනාත් සුජාතා විද්‍යාලයේ ඉගෙනුම ලබන මගේ දියණියත් නව වාර්තාවක් සඳහා යන්නට සැලසුම් කළා. අපේ සැලසුම අදියර කීපයකදි පරීක්ෂා කර බලා අපි එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාර්තු මස විසිහයවැනි දින මන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි වරායට පිහිනා යන්න සැලසුම් කර තිබෙනවා.”

එහිදි රෝෂාන් මන්නාරමේ සිට ධනුෂ්කොඩි වරායට කිලෝ මීටර් තිහක් හා එහි සිට නැවත මන්නාරමට කිලෝ මීටර් තිහක් පිහිනා යාමට සැළසුම් කර තිබේ. මෙය දිවා සහ රාත්‍රියේ නොනවත්වාම සිදු කිරීමට නියමිතය.
රොෂාන් සමග විනෝදයට හා පුහුණු වීමේ අපේක්ෂාවෙන් පිහිණූ සිසුන් හා සිසුවිය නව ශ්‍රී ලංකා වාර්තාවක් වෙනුවෙන් පිහිනන්නට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ ඹවුන් මෙලෙස පැවසූහ.
අභිමන් වෙල්ලප්පිලි
“මම මාතර රාහුල විද්‍යාලයේ 12 ශ්‍රේණියේ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබනවා. අනාගතයේදී හමුදා නිලධාරියෙක් වන්නට තමයි මගේ බලාපොරොත්තුව. පිහිණුම් ක්‍රීඩාව වගේම මගේ ඉගෙනුම් කටයුතුත් බාදාවකින් තොරව කරගෙන යනවා. මම කලාප හා දිසත්‍රික් මට්ටමේ පිහිනුම් තරග රැසක් ජයගෙන තිබෙනවා. යසරත්න සර් තමයි මෙම අවස්ථාව සඳහා අපි යොමු කළේ. ඒක භයානකයි කියා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒත් ඒක අපිට හරිම විනෝද අවස්ථාවක්. මෙම උත්සාහය අනිවාර්යයෙන් ඉටුකරගෙන නව ශ්‍රී ලංකා වාර්තාවක් තියන්න උනන්දුවෙන් බලා ඉන්නවා. ජාලිය වෙල්ලප්පිලි මගේ තාත්තා තමයි මේ වැඩවලදි මගේ ලඟින්ම ඉඳන් උදව් කරන්නේ.”
ශෂාන් අෂීම් මෙසේ කීවේය.
“මම මාතර රාහුල විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. කුඩා කාලයේ සිට පිහිනුම් කටයුතු සඳහා එක්වුණා. මට ලැබුණු හැම අවස්ථාවක්ම අරගෙන ඉන් මගේ හැකියාව පෙන්වන්න මම උත්සාහ ගත්තා ඉන් ජයග්‍රහණ රැසක් ද ලැබුණා. මෙයත් මගේ ජීවිතයේ තවත් එක් ඉලක්කයක්.”
කේ. ඩබ්ලිව්. විහංගා දිල්මිණි මෙසේ කීවාය.
“මම මාතර සුජාතා විද්‍යාලයේ ජීව විද්‍ය අංශයෙන් උසස්පෙළ හදාරනවා. අනගතයේදි වෛද්‍යවරියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තව. වයස අවුරුදු 03 සිට මම පිහිනුම් ක්‍රීඩාවට යොමුවුනා. දැන් අවුරුදු දාහතරක් පුරා මම පිහිනුම් තරග සඳහා එක්ව සිටිනවා. ඉන් කලාප, දිස්ත්‍රික් වගේම ජාතික මට්ටමේ තරග සඳහාත් ඉදිරිපත්ව ජයගෙන තිබෙනවා. ලබන 26 වැනිදා මම සූදානම් වෙන්නේ මගේ පිහිනුම් ජීවිතයේ විශේෂිතම අවස්ථාවකට. ඒ සඳහා මම අරගෙන යන්නේ මගෙ තාත්තා. ඔහු මට වගේ දහස් ගණනකට පිහිනුම් කියාදුන් දයාබර පියෙක්.”
මාර්තු මස 26 හා 27 දෙදින පැවැත්වෙන තරගය සඳහා මෙන්ම පසුගිය සති කීපය පුරා පැවති සියලු තරඟ සඳහා යසරත්න මහතාට අමතරව සහාය පුහුණුකරුවන් වන පී. එච්. සුදත් මධුශංක හා එච්. ජී. අජන්ත මහත්වරුන්ගෙන් විශේෂ සහායක් ලැබී ඇති අතර පොල්හේන කිමිදුම් සමාජයේ චම්ලි ද සිල්වා මහතා, පොල්හේන ජල ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, ගාල්ල සාගර විශ්වවිද්‍යාලයේ පිහිනුම් උපදේශක සුදේශ විදානගම, සංචාරක මණ්ඩලයේ පිහිනුම් උපදේශක ජේ. එච් පතිරණ, ඊ. ඒ. නන්දන මහත්වරුන් සේම ෆර්ම් ජල බෝතල් නිෂ්පාදන ආයතනයේ හිමිකාර ජාලිය වෙල්ලප්පිලි මහතා ද අනුග්‍රාහකත්වය දක්වා ඇත.
(ජයසිරි පේදුරුආරච්චි)
