spot_img
spot_imgspot_img

අලි දිය කෙළිති. මිනිස්සු පිස්සු කෙළිති. පෙර රජ දරුවන් මෙන් ජලයට වටිනාකමක් දෙමු

පුවත්

විදෙස්

මේ සුන්දර ඡායාරූපයෙන් පෙනෙන්නේ ආසියානු අලි දෙදෙනකු ජල කෙළියේ යෙදී සිටින ආකාරයයි. වන අලින්ට ජලය අත්‍යාවශ්‍යය. ඒ ඔවුන්ගේ පානය සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ සංචරණයට ද ලිංගික චර්යාවන්ට ද ජලය අත්‍යාවශ්‍යය. අලියා දිනපතාම දිය කෙළියට ප්‍රියකරන්නේ එබැවිනි. ජලය යනු සමස්ත ජීව ලෝකයේ ම මූලාරම්භයයි. ජලය නොමැතිනම් ජීවයක් නැත. ජලය නොමැතිනම් අප ජීවත්වන පෘථිවිය නිල් ග්‍රහලෝකයන් වන්නේ නැත.

ලෝක ගෝලයෙන් වැඩිම ප්‍රමාණයක් ජලයෙන් වැසී තිබුණ ද මිරිදිය ජල සම්පත ඇත්තේ අතිශය සුළු ප්‍රමාණයක් පමණි. ගොඩබිම වසන මිනිසා ප්‍රමුඛ ජීවීන්ට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ ඒ මිරිදිය පමණි. මේ නිසා මිරිදිය සම්පත අතිශය වැදගත්ම ජල මූලාශ්‍රයන්ය.

අදට යෙදී ඇති 2021 ලෝක ජල දිනයේ තේමාව වන්නේ “ජලය තක්සේරු කළ යුතුය” යන්නයි. ජලයේ වටිනාකම එහි මිලට වඩා බොහෝ සෙයින් වැඩි බව අප තේරුම්ගත යුතුය. අප ජීවත්වන පරිසරය, ආහාර, සංස්කෘතිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථිකය යන සියල්ලේ අඛණ්ඩ පැවැත්මක් මෙනම් සුවිශාල වටිනාකමක් ඇත. මේ අංග අතරින් කිසිවක් හෝ අප නොසළකා හැරියහොත් හෝ අපි ඒවා නිවැරදි අයුරින් කළමනාකරණය නොකළහොත් අප අසාර්ථකය. මේ අතරින් ජලය ජීවයේ පැවැත්මට සෘජුවම සම්බන්ධ බැවින් ජලයට වටිනාකමක් නියම කිරීම නැතිනම් ජලය නිසි පරිදි කළමනාකරණය කරමින් ආරක්ෂා කිරීම අතිශය වැදගත් දෙයකි.

පසුගිය දස වසරක කාලය තුළ දූෂිත ජලය පරිභෝජන හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂ 22 කට ආසන්නව තිබේ. ඉන් අඩක්ම ළමුන් වීම ජල දූෂණයේ ඛේදවාචකය කොතෙක්දැයි පෙන්වා දෙන කරුණකි. ඒ අනුව පසුගිය වස දහයේ දී දූෂිතජල පරිභෝජනයෙන් මියගිය ළමුන් ප‍්‍රමාණය දෙවන ලෝක යුද්ධයන් පසු ලොව ඇතිවූ සියලූ යුද අරගලවල දී මියගිය සියලූම මිනිසුන්ගේ ප‍්‍රමාණයට වඩා විශාල අගයක් ගනී.

එමෙන්ම මේ ඛේදවාචකයේ ප‍්‍රමාණය කොතෙක්ද යන්න පෙන්වාදීමට ඇති විශාලතම දත්තය වන්නේ ලෝකයේ රෝහල්වලින් හරි අඩක්ම පිරී ඇත්තේ අපිරිසිදු ජලය නිසා රෝගී වූ මිනිසුන්ගෙන් යන්නයි.

ජල දූෂණය ඒ තරමටම විනාශකාරී වී ඇත. එබැවින්ම මෙවර ලෝක ජල දිනයේ තේමාව වී ඇත්තේ සුව දිවියට ජල සම්පත සුරකිමු යන්නයි.

අපි ජීවත්වනනේ ලෝකයේ ජල සම්පත බහුලම රටවල් අයත්වන කාණ්ඩයේ වීම යම් තරමක අස්වැසිල්ලක් වුව ද අපේ රටේ ද මේ මහා ජල සම්පත දැඩිසේ දූෂණය වෙමින් තිබෙන ආකාරය දැකගත හැක. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2,000 කට වැඩිවන අතර එය ලබාදෙනුයේ නිරිත දිග ඊසාන දිග යන මෝසම් වැසි හා සංවහන වර්ෂාව මගිනි.

අවම ඒක පුද්ග ජල පරිභෝජනය අතින් ආසියානු හා පැසිපික් රටවල් 24 ක් අතුරින් ශ්‍රී ලංකාව හතරවන තැනට පත්වේ. ශ්‍රී ලංකාව කොතරම් ජල සම්පතින් පෝෂිත රටක්ද  යන්න රටපුරා විහිදෙන සේ පිහිටා ඇති ගංගා ද්‍රෝනි 103 සාක්ෂි දරයි.

කැලණි ගංඟා ද්‍රෝණිය සබරගමුවෙන් ආරම්භ වී මුහුදට එක්වන්නේ කොළඹිනි. මහවැලි ගංඟා ද්‍රෝණිය සඳහා ශ්‍රී ලංකාවේ වර්ග ප‍්‍රමාණයෙන් සියයට 16 ක් එනම වර්ග කිලෝ මීටර් 10,327 ක්ම අයත්වේ.

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 17 ක්ම වර්ග කිලෝ මීටර් 1000 කට වැඩි අගයක් ගනී. තවත් 14 ක් වර්ග කිලෝමීටර් 950 ත් 400 ත් අතර වේ. මෙරට වර්ෂාපතන රටාව අනුව දේශගුණික කලාප තෙත් වියළි හා අර්ධ ශුෂ්ක වශයෙන් බෙදෙන අතර වාර්ෂික වර්ෂාපතනයෙන් ඝන මීටර් බිලියන 127 සිට 132 අතර ප‍්‍රමාණයක් තෙත් කලාපයට හිමිවේ.

එහෙත් එම මහා ජල කඳෙන් සියයට 60 ක්ම වියළි කලාපය හරහා ගමන් කරයි. වරෙක එය සියයට 35 ත් 40 ත් දක්වා අඩුවන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ අනුව වියලි කලාපයේ වුවද ජල සම්පත හිඟයැයි කිය නොහැකි තරමටම ශ්‍රී ලංකාව ජලයෙන් පෝෂිතය.

ඒ කෙසේ වෙතත් ලංකාවද අනාගත ජල අර්බුදයකට මුහුණපාමින් සිටී. මේ වනවිට ලෝකයේ ජනගහණයෙන් බිලියන දෙකක් ජලය හිඟවීමෙන් පීඩා විදිති. 2025 වන විට බිලියන අටක් දක්වා එම ප‍්‍රමාණය ඉහළ යනු ඇත. එය ලෝක ජනගහණයෙන් සියයට 45 කි.

මේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට ජල කළමණාකරණය නමින් අලූත් විෂයක් ලෝකයට එකතුවී තිබේ. ජල කළමණාකරණය යනු ගෙදර ළිඳටත් බදු මුදලක් ගෙවීමට සිදුවන ක්‍රියාදාමයක් බව අපේ රටේ මතයක් වේ. ජල කළමනාකරණය කිරීම ඇමරිකාව ආදී ධනවාදී රටවලින් මෙරට විනාශ කිරීටම දියත් කළ කුමන්ත‍්‍රණයක් බවට මතයක් ගොඩ නැගී ඇත.

කෙසේ වෙතත් ජලය කළමණාකරණය පිළිබඳ ලංකාවෙන් හමුවන අතීත සාධක ලොව පැරණිතම ජල කළමණාකරණ ප‍්‍රතිපත්තියක් බව නොරහසකි. ලෝකයේ පැරණි ශිෂ්ඨාචාරයන් සේම ලංකාවේ මුල්ම ජනාවාස බිහිවන්නේත් අනුරාධපුරය වැනි දැවැන්ත රාජධානි ගොඩනැගෙන්නේත් ජලය මූලික සාධකයක් කරගනිමිනි.

වර්තමානයේ ජල කළමනාකරණයට එරෙහි වන්නවුන් මෙම අතීතය අමතක කරදමා තිබේ. අනුරාධපුර මුල් යුගයේ සිට තමා ලබාගන්නා ජලය සඳහා ඒ වෙනුවෙන් රජුට බද්දක් ගෙවීමේ ක‍්‍රමයකට ගොවීන් යටත්වූ බව සෙල්ලිපිවල සඳහන් කර ඇත. මෙය මුල්කාලීන බ‍්‍රහ්මීය ලෙන් ලිපිවලින් ද සනාථ වේ. මෙම දිය බද්ද සෑම කන්නයකින්ම අය කරන ලද්දේ යැයි සිතුල් පව්වෙන් ලැබුණු පළමු වන සියවසට අයත් ලිපි දෙකකින්ම කැයැවේ. ගල්ගමුව බ‍්‍රාහ්මීය ලෙන් ලිපියේ සඳහන් පරිදි ජලය සඳහා රජ හෝ පුද්ගලයකු ලබාගත් ආදායම යම් යම් ආගමික ආරාමයන්ට හා සංඝයාට පූජා කළ යුතු බව කියැවේ. අභය නම් රජෙකු විසින් වද්දාමාන ගම වැව සහ එහි ආදායම සංඝාරාමයකට දෙන ලද බව එයින් අනාවරණය වේ. මෙයින් සනාථ වන කරුණු දෙකකි. අනිවාර්යයෙන්ම රජු විසින් ජලය සඳහා බද්දක් අය කළ බව සහ සමහර අවස්ථාවලදී සංඝයාගේ යැපීම් සඳහා එසේ ලබාගත් ආදායම වෙන් කරන ලද බවයි.

අද ජලය පෞද්ගලීකරණය කිරීමට නූතන ලෝකයා කථා කලද අතීත රජ දරුවෝ ඒ කාර්යයද ඉටුකර තිබූ බව කොතලකිම්බියාව බ‍්‍රාහ්මීය සෙල්ලිපියේ දැක්වේ. එහි සඳහන් පිරිදි පෞද්ගලික අයිතියට තිබූ දකබරිගාමික වැවේ ආදායමෙන් කොටසක් සංඝයාගේ සුබ සිද්ධිය සඳහා දුන් බව සෙනරත් පරණවිතාන මහතා ශිලා ලිපි සංග‍්‍රහයේ සංග‍්‍රහයේ සඳහන් කර තිබේ. පරණවිතාන මහතා දක්වා ඇත්තේ පෞද්ගලික වැව් පමණක් නොව පෞද්ගලික ඇල මාර්ග පවා හිමි කරගනිමින් ජලය විකුණා ගොවීන්ගෙන් බදු අය කරගත් පුද්ගලයෝ  සිටි බවට සෙල් ලිපි බොහොමයක් සාක්ෂි දරණ බවයි.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ වසභ රජු විසින් (ක්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා) කරන ලද සෙල්ලිපියක සඳහන් වන්නේ දකපත, දකපෙති ආදී වශයෙන් මෙම දිය බදු ක‍්‍රමය හඳුන්වාදී ඇති බවයි.

අතීතයේ මෙන් වත්මන් ශ්‍රී ලංකාවේද ජල කළමණාකරණය ක්‍රියාත්මක නොවුනහොත් ජල සම්පත උපරිමයෙන් ඇති රටක් වුවද ජලය දූෂණය වීම හේතුවෙන්ම උග‍්‍ර ජල අර්බුදයකට මුහුණ දීමට අපට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!