spot_img
spot_imgspot_img

කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වෙති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ අවත්වූහ. අපවත් වනවිට හිමියෝ 88 වැනි වියේ පසුවූහ.

බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක පවුලේ බාලයා වශයෙන් 1933 ජනවාරි 26 වන දා උපත ලැබී ය. පියා ඇඳවිතාරණ ගේ හර්මානිස් රුද්‍රිගු නමින් පතළ වැවිලිකරුවෙකි. මව සෙලෙස්තිනා රුද්‍රිගු නම් වූවාය.. දැනට කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලය නමින් හඳුන්වනු ලබන එදා කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලබමින් සිටිය දී ගිහිගෙය හැර උණවටුනේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු මස 17 වන දා ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමයේ දී කොටුගොඩ ධම්මාවාස නමින් සසුන් බිමට පිළිපන්හ.

සාමනේර අවධියේ දී

1949 දී රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට ඇතුළත්ව ද්විතීය අධ්‍යාපනය ලැබීමෙන් පසුව, උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා 1952 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්මාචාර්යත්වයෙන් සිංහල, පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හැදෑරූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ මගින් පවත්වන ලද විනයාචාර්ය සද්ධර්මාචරිය යන විභාගය ඉහළින් ම සමත් වූහ. වලානේ සට්ඨිසර නාහිමි, පූජ්‍ය කම්මට්ඨානාචාර්ය මාහෝ සුමේධ, පූජ්‍ය පණ්ඩිත යටිපහුවේ මේධානන්ද නාහිමි යන හිමිවරුන් යටතෙහි, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍රාදිය හදාළ උන්වහන්සේ 1954 ජූලි 10 වන දින කලුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අග්ග මහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මාහිමිපාණන් වහන්සේ ගේ උපාධ්‍යයෙන් උපසපන්වූ හ. ධම්මාවාස හිමියෝ මධුර මනෝහර ලෙස ධර්ම දේශනා කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසා ම ලක් වැසි ජනතාව ගේ මහත් පැසසුමට මෙන් ම ප්‍රසිද්ධියට පත් වූ සේක.

කොළඹ දෙමටගොඩ ප්‍රධානඝර ධර්මදූත ආයතනයෙන් ධර්මදූත කටයුතු පිළිබඳව පරවාහැර වජිරඥාන නායක හාමුදුරුවන්ගෙන් හා පෙම්රොක් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලද උන්වහන්සේ මුල් අවධියේ සිට ම ධර්මදූත කටයුතු වල යෙදුණාහ.

ධම්මාවාස හිමියන් මෙරට දුෂ්කර ප්‍රදේශවල මෙන් ම විදෙස් රටවල ද ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ආකාරය ප්‍රශංසනීය ය. උන්වහන්සේ ගේ ධර්මදේශනා තුළ පිරිසුදු බුද්ධ ධර්මයට අදාළ කාරණා ද ජාතිය ගොඩනැඟීමේ උපදේශ ද ඇතුළත් වූයේ චිත්තාකර්ශනීය විලාසයකිනි.

නේපාල් ජාතික අමෘතානන්ද මහා නායක ස්ථවිරයන්, නේපාල ජාතික අශ්වඝෝෂ නායක ස්ථවිරයන් හා නේපාල ජාතික මෛත්‍රී ස්ථවිරයන් සමඟ එක්ව නේපාලය පුරා ධර්මදූත කාර්යයන්හි නියැලුණු උන්වහන්සේට නේපාල රජය විසින් කත්මණ්ඩු නුවර ස්වර්ණපුර චාරුමතී මහා විහාරය පූජා කරන ලදී. ඉන්දියාවට, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාවට, තායිලන්තයට, මියන්මාරයට, එංගලන්තයට, ඇමරිකාවට, රුසියාවට, සයිබීරියාවට, මොන්ගෝලියාවට ධර්මදූත කටයුතු සඳහා වැඩම කළහ. විශේෂයෙන් ම රුසියාවේ ප්‍රාන්ත දහසයක ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට වැඩම කළ අතර, එහිදී උන්වහන්සේ කළ ධර්ම දේශනා රුසියන් බසට පරිවර්තනය කිරීමට මහත් උනන්දුවකින් කටයුතු කළේ රුසියාවේ වැඩ වසන පල්ලේකන්දේ රතනසාර හිමියන් විසිනි.

ගල්කිස්සේ ශ්‍රී ධම්මපාලාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය පාද උණවටුනේ ධම්මපාල මාහිමිපාණන් වහන්සේ 1967 මැයි 14 වන දින අපවත් වීමෙන් පසුව, එම විහාරාධිපති තනතුරට කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ පත් වූහ.

සාහිත්‍යධරයකු පාලි භාෂා විශාරදයකු හා ගත් කතුවරයකු වශයෙන් කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ 1960 සිට වාර්ෂිකව වෙසක් පොහොය නිමිති කරගෙන ධර්ම ග්‍රන්ථයක් සෑම වසරක් පාසාම අඛණ්ඩව බෙදා හැරීමට ක්‍රියා කිරීම අප අගය කළ යුතු ය. උන්වහන්සේ අතින් ලියැවුණු ජනප්‍රිය වූ තවත් ධර්ම ග්‍රන්ථ අතර මෛත්‍රී බුදුපියාණෝ, දෙලොව දියුණුවට මඟ, නිවනට මඟ, කේතුමතී රාජධානිය, පිරිනිවන් මංචකය, පුණ්‍ය මහිමය තථාගත ලක්‍ෂණ හා කෝසල රාජ සිහින ආදිය ද වේ.

ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් තමන් හට ම අනන්‍ය වූ දේශනා ශෛලියක් ගොඩ නඟා ගත් අප නා හිමිපාණන් වහන්සේට 2007 වසරේ දී (බුරුම දේශයෙන්) මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත යන උපාධිය පිරිනැමිනි.

මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ මෙතෙක් දැනුම් දී නැත.

මහා නායක පදවියට පත්වූ අිනයවල දී ගත් ඡායාරූපයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!