spot_img
spot_imgspot_img

සිංහ සමාජයෙන් කරාපිටිය රෝහලට දුන් දකුණේ එකම ළමා ස්නායු ඒකකය

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකළ ළමා ස්නායු වෛද්‍ය ඒකකය රෝහල වෙත පවරාදීම පසුගිය 19 වැනි දා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම ඒකකය දකුණු පළාතේ රෝහලක ඇති එකම ළමා ස්නායු ඒකකය වන අතර ශ්‍රී ලංකාවේ ඇති 04 වැනි ළමා ස්නායු ඒකකය ද වෙයි. රුපියල් ලක්ෂ 80ක වියදමින් මෙම ඒකකය ඉදිකරන ලද්දේ හික්කඩුව සිංහ සමාජයේ මෙහෙයවීමෙන් ජර්මනියේ සිංහ සමාජවලින් කරන ලද මූල්‍ය පරිත්‍යාගන්ගෙනි.

මෙම ළමා ස්නායු ඒකකය ඉදිකිරීමේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ නිශ්ශංක ඈපා ලියන මෙ‍සේ කීවේය.

“අපි මීට පෙර ජර්මනියේ ආධාර ඇතිව රුපියල් ලක්ෂ 4500ක් වියදම් කරලා මේ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ඉදිකළා. ඒ අවස්ථාවේ අප තේරුම්ගත් දෙයක් තමයි ස්නායු ආබාධවලට ගොදුරු වී සිටින දරුවන් සදහා ළමා ස්නායු ඒකකයක් අවශ්‍ය බව. ඒ අනුව මේ ඒකකය ඉදිකරන්නත් ජර්මනියේ සිංහ සමාජවලින් ආධාර ලැබුණා. මෙය දකුණු පළාතේ දරුවන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. මේ ඒකකය නවීන තාක්ෂණය යොදාගෙන සියලු තොරතුරු පරිගණක ගත කරලා පවත්වාගෙන යන ක්‍රමවේදයක් පවා නිර්මාණය කර තිබෙනවා. ඒ ව‍ගේම දරුවන්ට ඉතා සුදුසු පරිසරයක් මෙහි නිර්මාණය කරන්නත් අපට හැකිවුණා. ඉතා ඉහළ ගුණාත්මක සේවයක් ලබාදීමට සුදුසු අයුරින් මෙය නිර්මාණය කළා.”

මෙම අවස්ථාවට සහභාගී වූ වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මෙසේ කී‍වේය.

“මෙවැනි ඒකකයක් කරාපිටිය ශික්ෂණ රෝහලට විශාල අඩුවක්ව තිබුණා. කරාපිටිය රෝහල සංවර්ධනය කරන්නත්, කරාපිටිය නගරය සංවර්ධනය කරන්නත් අපිට සිහිනයක් තිබෙනවා. මේ සඳහා අපි ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළා. මේ රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමේ සිහිනයක් අපිට තිබෙනවා. මහාචාර්ය ඒකකය, ළමා ඒකකය, ශල්‍ය වෛද්‍ය ඒකකය සම්පූර්ණ වූ පසු ඒ ඉලක්කයට අපට යා හැකියි. මේ රෝහල වඩාත් ගුණාත්මක ස්ථානයක් කරනවා වගේ ම අලංකාර ස්ථානයක් බවට පත්කරන්නත් අපි සැළසුම් කර තිබෙනවා. මේ සඳහා මූල්‍යම ප්‍රතිපාදනත් අනුමත වෙලා තියෙනවා. දකුණු පළාතේ ප්‍රධානම රෝහල වන කරාපිටිය රෝහලේ තදබදය අඩු කරලා රෝගීන් සුවපත් කරනවා වගේම මානසික හා සමාජයීය සුවිිශේෂී දායකත්වයක් දක්වන ස්ථානයක් බවට පත්කළ යුතුයි.”

මෙම අවස්ථාවව සඳහා ජාත්‍යන්තර 306 ඒ 1 සිංහ සමාජයේ සිංහාධිපතිනි ආචාර්ය අමිතා ජයවර්ධන ඇතුළු සිංහ සමාජ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද, කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධයක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න, විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍ය ගැමුණු හේවාවිතාරණ ඇතුළු වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!