spot_img
spot_imgspot_img

පොලිසිය අධිකරණ නියෝගයක් රැගෙන ආවත් රූමස්සල විනාශයට එරෙහි උද්ඝෝෂණය පවත්වයි

පුවත්

විදෙස්

රූමස්සල පරිසරය බේරා දෙන්න යැයි රජයට බලකරමින් ගාල්ල බස් නැවතුම ඉදිරිපිට අද (20) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මහජන විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබා‍ගැනීම හේතුවෙන් එම උද්ඝෝෂණය ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විණි.

මෙම නියෝගය නිකුත් කර තිබුණේ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා විසිනි.

“ගාල්ලේ හදවත අනතුරේ රූමස්සල අභයභූමිය වනසන්න ඉඩ නොදෙමු” යන්න තේමා කරගනිමින් රූමස්සල සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන රැසක් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. එහි ඔවුන් ඉල්ලා සිටියේ රූමස්සල හරහා ඉදිකිරීමට යෝජනා කර ඇති මාර්ගය ඉදිකිරීම වහාම නතර කරන ලෙසයි. එමෙන්ම රූමස්සල අභභූමියට අමතරව රූමස්සල පරිසර පද්ධතිය සංරක්ෂිත කලාපයක් ලෙස නම්කරන ලෙසත් අනවසර ඉදිකිරීම් වහාම නතර කරන ලෙසත් ඉල්ලමින් එම සංවිධාන උද්ඝෝෂණය පැවැත්වීය.

මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු රූමස්සල සහ උණවටුනේ පදිංචි පිරිසක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ ද එක්ව සිටියහ.

උද්ඝෝෂණය ආරම්භකිරීමට සූදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සංවිධායකයන්ට අධිකරණ නියෝගය පෙන්වා උද්ඝෝෂණය නතර කරන්න යැයි ඉල්ලා සිටියේය. එම අධිකරණ නියෝගය නිකුත්කර තිබුණේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරමින් බැවින් එම ස්ථානයේ උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස එතැනින් ඉවත්ව ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වූහ.

පසුගිය 16 වැනි දා රූමස්සල කන්ද අසළ බොනවිස්ටා හන්දියේ රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉල්ලා උද්ඝෝෂණයක් පැවැති අතර එම උද්ඝෝෂකයෝ කොළඹ මාතර මාර්ගය ද හරස් කළහ. පොලිසිය එම උද්ඝෝෂණය‍ෙ එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළේ නැත.

නමුත් අද (20) ගාල්ල නගර‍යේ දී රූමස්සල බේරාගනිමු යනුවෙන් පරිසර සංවිධාන විසින් උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිය දී රූමස්සල පාරක් ඉල්ලා සිටින පිරිස් විසින් සමාජමාධ්‍යවලට මුදාහැර තිබූ පණිවිඩයකින් ඔවුන් ද මේ උද්ඝෝෂණ අවස්ථාවට පැමිණෙන බව සඳහන් කර ඇති බවත් එසේ පැමිණියහොත් දෙපිරිස අතර ගැටුමක් ඇතිවිය හැකික බවත් සඳහන් කරමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් තහනම් නියෝගයක් ඉල්ලා තිබිණි.

උද්ඝෝෂණය සංවිධානය කළ පරිසර එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් පවසන්නේ ‍මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා එම කරුණ උපක්‍රමයක් ලෙස භාවිතා කර ඇති බවයි.

ගාල්ල පොලිසියේ නිලධාරීන් ද උද්ඝෝෂණය අවසන්වනතුරු ම දුම්රිය ස්ථානය ඉදිරිපිට රැඳී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!