සොබා දහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් විසින් විහාර මහා දේවී උද්‍යානයේ නිර්මාණය කර තිබූ සිතුවක් පොලිසිය විසින් ඉවත්කිරීමට යාමේ දී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
පොලිස් පරිසර සංරක්‍ෂණ කොට්ඨාශයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පරිසර කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ එහි දී කියා සිටියේ “අපේ රජය” බලයට පත්වූ පසු මේ පරිසරය ගැන කතා කරන බවයි. පොලිස් නිලධාරියකුට මෙලෙස “අපේ රජය” යනුවෙන් ප්‍රකාශ කරමින් පුද්ගලික දේශපාලන මතයක් දැක්විය හැකි ද යන්න මේ වනවිට සමාජය තුළ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්ව ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහි දී පැවසුවේ ඉතා සුන්දර ස්ථානයක් වන විහාර මහා දේවී උද්‍යානයට ස්වභාවික සුන්දරත්වයට මෙවැනි විශාල ප්‍රමාණයේ බැනරයක් නොගැලපෙන බවයි.
පරිසර විනාශයන්ට විරෝධය පාමින් අඩි 70 ක දිගකින් සහ අඩි 20ක උසකින් යුතුව එම තරුණ පිරිස නිර්මාණය කර තිබූ සිතුවම ඊයේ (19) උදෑසන එම ස්ථානයේ සවිකරනු ලැබ ඇත්තේ පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් වෙනුවෙන් බව සිතුවම නිර්මාණය කළ කලාකරුවෝ පැවසූහ.
මෙය සවිකරනු ලැබුවේ කොළඹ නගර සභාවේ සහ පොලීසියේ අවසරයෙන් බව ද ඔවුහු කියති.
කොළඹ මහ නගර සභා සේවකයන් යොදවා පොලීසිය මෙය ඉවත් කරනු ලැබූ අවස්ථාවේ එය නිර්මාණය කළ තරුණ තරුණියෝ චිත්‍රය බිම එලාගෙන ඒ මත වාඩි වී විරෝධය දැක්වූහ.
මෙය සවිකිරීම සඳහා පොලීසියෙන් නිසි අවසර ගෙන නොමැති බවත්, නගර සභාවෙන් අවසර ගෙන ඇත්දැයි තමන් නොසිතන බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රාජපක්ෂ කීවේය. පොලිසියෙන් අවසර ලබාගත්තේ නම් මෙම සිතුවම සවි කිරීමට සුදුසු ස්ථානයක් දිය හැකිව තිබූ බවද හෙතෙම කීවේය.





