spot_img
spot_imgspot_img

ගාලු කොටුවේ කැණීම්වලින් මතුවූ අපූරු ඉතිහාස කතාව

පුවත්

විදෙස්

ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියට සමාමීව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව ගාල්ල කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘතියේ දී කොටුවේ ඇති ආරුක්කු හැඩැති නිර්මාණ ඇතුළු ස්ථාන කිහිපයක පුරාවිද්‍යා කැණීම් සිදුකිරීමේ දී යුරෝපීය ජාතීන් විසින් භාවිතා කළ උපකරණ හා ඔවුන් ආහාරයට ගත් ද්‍රව්‍ය කොටස් අනුව ඉතාමත් වැදගත් තොරතුරු හමුවූ බව අචාර්ය පෙරේරා මහතා කීවේය.

කොටුව මධ්‍යයේ ඇති බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද දොරටුව ඉහළ කොටස කැණීම් කිරීමේ දී එම දොර වසා දැමීමට එසවීමටත් පහත් කිරීමටත් හැකි පරිදි දොර දෙකක් යෙදීමට කරන ලද නිර්මාණයක් ද හමු වී ඇත. නමුත් පුරාවිද්‍යාඥයන් පවසන්නේ එම ස්ථානයේ කිසිම දිනක දොරක් සවිකර තිබී නොමැති බවයි.

මේ ස්ථානය කැණීමේ දී පිඟන් මැටියෙන් නිර්මාණය වූ භාජනවල බිඳීගිය කොටස්, වීදුරු, දුම් පයිප් කැබළි, යකඩ කොටස් සහ සත්ත්ව අස්ථි කොටස් විශාල වශයෙන් හමු වී තිබේ.

ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ එම ස්ථානයෙන් ඉතාලියේ නිෂ්පාදනය කරන ලද ඉතාමත් විශේෂිත පිඟානක කොටස් හමුවූ බවයි. මෙම පිඟානේ  පිටුපස medici යනුවෙන් සටහන් ලාංඡනයක් දක්නට ලැබේ. මෙඩිසි යනු ඉතාලියේ ඉතා ප්‍රකට ප්‍රභූ පවුලකි. මෙඩිසි පවුල එරට රාජකීයයන් වන අතර යුරෝපයේ පුනරුද යුගයේ විවිධ ව්‍යාපාරයන්හි යෙදුණු පරපුරකි. ඔවුන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ පාප්වරු පවා මේ පවුලෙන් බිහිව ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ පවුලේ නමින් හඳුන්වන මල් බඳුන් විශේෂයක් ද තිබී ඇති අතර එම මල් බඳුන් ගාල්ල කොටුවෙන් හමු වූ මෙඩිසි නම ඇති කැඩී ගිය පි‍ඟානේ පවා දක්නට ලැබීම විශේෂත්වයකි. එම පිඟානේ 1,5,5,1 යන ඉලක්කම් ද සටහන්ව ඇත. එය පිඟාන නිෂ්පාදන වර්ෂය ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැත.

රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාරචාර්යවරයකු වන පුරාවිද්‍යාඥ නදීර හර්ෂජිත් මහතා පවසන්නේ මෙම පිඟාන යුරෝපීයයන් විසින් මෙරටට ගෙන්වන්නට ඇති බවයි. ඇතැම් විට ඉතාලියේ මෙඩිසි පවුල මෙරට සිටි පෘතුගීසි හා ලන්දේසි සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නට ඇතැයි ද සැකයක් පවතින බව හෙතෙම පවසයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

මෙම කැණීම්වලින් වයින් බෝතල් විශාල ප්‍රමාණයක කැබලි හමු වී ඇති අතර පිඟන් මැටියෙන් නිෂ්පාදනය කළ දුම් පයිප්ප කොටස් ද රැසක් හමු වී තිබේ. එමෙන්ම ආහාරයට ගෙන ඉවත දැමූ අස්ථි කොටස් පරීක්ෂා කිරීමේ දී හරකුන්, බැටළුවන්, ඌරන්, කිඹුලන්, මත්ස්‍ය විශේෂ, බෙල්ලන් ඇතුළු ආහාරයට ගත හැකි සියලුම සත්ත්වයන් කොටෙුවේ විසූ යුරෝපීයයන් විසින් ආහාරයට ගෙන ඇති බවට සාධක දක්නට ලැබෙයි.

එමෙන්ම අශ්ව ලාඩම් කොටස්, ඇණ මුරිච්චි, දම්වැල් කොටස් වැනි ලෝහමය කොටස් කිහිපයක් ද මේ ස්ථානයේ කැණීම්වලින් හමුවී ඇත.

ආචාර්ය නිමල් පෙරේරා මහතා කැණීම් පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද කී‍වේය.

ආචාර්ය නිමල් පෙරේරා

“ගාලු කොටුවේ මැද ඇති කොටු දොරටුව සාදා තිබෙන්නේ ඉංග්‍රීසීන් විසින් ඔවුන් ඕලන්ද බැම්ම සම්පූර්ණයෙන් ම කඩලා එතැන ආරුක්කු හැඩැති දොරටුව ඉදිකරලා නැවත පස් දාලා පුරවා තිබෙනවා. ඔවුන් පුරවා තිබෙන පස් පරීක්ෂා කිරීමේ දී එය අවුල් වී ගිය පස් ස්ථරයක් බව සනාථ වුණා. මේ පස් අතර තිබෙන්නේ ගොඩනැගිලි කොටස්. පැරණි ඕලන්ද ගොඩනැගිල්ලක් කඩලා හෝ කැඩීගිය ගොඩනැගිල්ලක් ඉවත්කරන පස් තමයි මෙතැන ගොඩගසා තිබෙන්නේ. මේ හමුවූ ද්‍රව්‍ය අනුව ගාල්ල කොටුව සම්බන්ධ අපි නොදන්නා නමුත් අප අනාවරණය කර ගත යුතු ඉතිහාසයක් දක්නට ලැබෙනවා.”

කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස කටයුතු කරන වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතා මෙසේ පවසයි.

ආචාර්ය නිලාන් කුරේ

“දැනට කොටුව ප්‍රධාන ‍දොරටුවේ සංරක්ෂණ කටයුතු සිදුකරනවා. ආරුක්කුවට ඉහළ පස් ඉවත් කරලා දෙපස ආරුක්කු බිත්තිය දක්වාම කැණීම් කරනවා. ඉන් පසු ආරුක්කුවේ පැති බැමිත් සවිමත් කරලා ඉහළින් විශේෂයෙන් සැකසූ බදාම මිශ්‍රණයක් යොදා ආරුක්කුව සවිමත් කරනවා. මේ දිනවල කොටු දොරටුව වසා දමා තිබෙනවා. මෙවැනි දෙයක් කිරීමට සිදුවුණේ මේ දොරටුවෙන් ජලය කාන්දුවීම නිසා. කඩිනමින් සංරක්ෂණ කටයුතු අවසන් වූ වහාම දොරටුව නැවත විවෘත කරනවා.”

රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය නදීර හර්ෂජිත්
චානක අධිපත්තු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!