-3.4 C
New York

දකුණේ ආණ්ඩුකාරවරයා වෛද්‍ය සංගමයට යටවෙලා කොමිසමේ තීන්දුවත් ඉවත දමයි

Published:

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පවා නොතකා වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් අනුව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිය අහිමිකරීමට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ කටයුතු කරමින් සිටින බව ඔහුගේ ම ප්‍රකාශයකින් අපට තහවුරු කරගත හැකිවිය. 

මාස කිහිපයක් පුරා අප විසින් විමර්ශනය කරමින් සිටි කරුණු රැසක් ඊයේ (17) දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍යවේදීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක දී ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට ඒ බව අනාවරණය විය.  

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් යළි සේවයේ පිහිටවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන ඔහුගේ සේවය තම බලය යොදා අත්හිටුවීමට කටයුතු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ එහි දී මාධ්‍යවේදීන් හමුවේ පිළිගත්තේය.

මෙලෙස සේවය අත්හිටුවන ලද්දේ ගාල්ල තාසිම් ළය චිකිත්සාගාරයේ සේවය කළ ඉඳුනිල් වීරසිංහ නමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේය. සේවය අත්හිටුවීමෙන් පසු ඔහු දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කරන ලද අභියාචනයක් විභාගයට ගෙන හිග වැටුප් රහිතව සේවයේ පිහිිටුවීමට කොමිෂන් සභාව නියෝග කර තිබිණි.

ඒ අනුව වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස ඔහුට සේවයට වාර්තා කරන්න යැයි උපදෙස් ලැබිණි. ඉන් පසු යළි සේවයට වාර්තා කිරීමට  ගිය ද වීරසිංහට දැනුම් දී ඇත්තේ ඔහුගේ සේවය නැවත අත්හිටුවා ඇති බවයි.  එවකට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා ව සිටි සමන් දර්ශන පාඬිකෝරාළ විසින් මෙම දැනුම් දීම දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් වරයා වෙත ෆැක්ස් පණිවිඩයක් මගින් දන්වා ඇති අතර එහි සඳහන් කර තිබුණේ  ආණ්ඩුකාර විලී ගමගේට පැවරෙන බලතල අනුව ඔහුගේ සේවය අත්හිටවූ බවයි.

ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ (17) පැවැති මාධ්‍යවේදීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනේ දී අප විසින් ආණ්ඩුකාරවරයාගෙන් මේ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ දී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සේවය අත්හිටවූ අවස්ථාවේ දී ඔහු අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත දින සීමාව ඉක්වමූ පසුව බවයි. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම ඔහුගේ සේවය යළි පිහිටවූව ද කාලාවරෝධනය යන එම කරුණ සැළකිල්ලට ගනිමින් තමන් ඔහුගේ සේවය යළි අත්හිටවූ බව ආණ්ඩුකාර විලී ගමගේ සඳහන් කළේය.

නමුත්  සිදුව ඇත්තේ මෙවැනි දෙයකි. එය පියවරෙන් පියවර මෙසේය.

  1. විනය නියෝගයක් මත 2019-09-04 දිනැති ලිපියකින් ඉඳුනිල් වීරසිංහ සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට මාරු කිරීම
  2. 2019-09-12 එම විනය නියෝගය නීති විරෝධී බව කියමින් ඉඳුනිල් වීරසිංහ පළාත් රාජ්‍ය සේවා කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීම
  3. අභියාචනය සැළකිල්ලට ගනිමින් 2019-09-18 පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් ඉහත විනය නියෝගය අත්හිටුවීම
  4. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය කමල් කොඩිකාර විසින් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකරට හා රාජ්‍ය සේවා කොමිසමට පිටු දෙකක ලිපියක් යොමුකරමින් ඉඳුනිල් වීරසිංහ නිසි නිල මාර්ගයන් ඔස්සේ අභියාචනය එවා නැතැයි කරුණු දැක්වීම
  5. 2019-10-08 පළාත් රාජ්‍ය සේවා කොමිසම නිකුත් කළ විනය නියෝගය අත්හිටුවිම අවලංගු කිරීම. එසේ වුව ද අභියාචනය සළකා බැලීම නතර කර තිබුණේ නැත.
  6. ඉඳුනිල් වීරසිංහ විසින් යළි නිසි නිල මාර්ගයන් ඔස්සේ දෙවැනි අභියාචනයක් ද පළාත් රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කිරීම හා නිවාඩු ඉල්ලුම් කිරීම
  7. රාජ්‍ය සේවා කොමිසම අභියාචනා දෙකක් සළකා බලමින් තිබිය දී හා ඉඳුනිල් වීරසිංහ විසින් නිවාඩු ඉල්ලුම්ම කර තිබිය දී ඔහු සේවය හැරගියා සේ සළකන බවට 2019/10/31 ලිපියක් නිකුත් කිරීම
  8. ඉඳුනිල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සළකා බැලූ පළාත් රාජ්‍ය සේවා ක‍ොමිෂන් සභාව 2020-09-11 වැනි දින ඔහු හිඟ වැටපු රහිතව යළි සේවයේ පිහිටුවීම
  9. මෙලෙස සේවයේ පිහිටවූ ඉඳුනිල් වීරසිංහට වැලිගම ප්‍රාදේශීය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස වැඩ භාරගන්නා ලෙස දැනුම් දී දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් වරයා වෙත රාජකාරී වාර්තා කරන ලෙස ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එවකට කටයුතු කළ සමන් දර්ශන පාඬිකෝරාළ විසින් උපදෙස් දීම. (2020-09-16)
  10. 2020-09-16 දින ඉඳුනිල් වීරසිංහ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කාර්යාලයෙන් නික්ම පළාත් පාලන කොමසාරිස්වරයාගේ කාර්යාලයට යන කාලය අතරතුර ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ෆැක්ස් පණිවිඩයක් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත යොමුකරමින් වීරසිංහගේ සේවය යළි ආණ්ඩුකාරවරයා විසින් අත්හිටුවා ඇතැයි දැනුම් දී තිබීම. මේ හේතුවෙන් ඉඳුනිල් වීරසිංහට සේවයට වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවැනි නියෝගයක් සහිත ෆැක්ස් පණිවිඩයක් දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස යොමුකර තිබුණ ද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් ලිපියක පිටපතක් හෝ යොමුකර තිබුණේ නැත. එවැනි ලිපියකක් මෙතෙක් ඉඳුනිල් වීරසිංහ වෙත ලැබී නොමැති අතර පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් සේවයේ පිහිටවූ නියෝගයට පරිබාහිරව යමින් ආණ්ඩුකාරවරයා එවැනි නියෝගයක් නිකුත් කළ බවට හෝ මෙතෙක් රාජ්‍ය සේවා කොමිසම ද දැනුම්වත් කර නැත.

මේ පිළිබඳ රාජ්‍ය සේවා කොමිසමෙන් විමසූ විට එම කොමිසම අප සමඟ කියා සිටියේ ඉඳුනිල් වීරසිංහ නමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අභියාචනය ඉදිරිපත් කිරීමේ දී දින ඉක්වීමක් හෙවත් කාලාවරෝධයක් නොවූ බවයි. එබැවින් ආණ්ඩුකාරවරයා පවසන හේතුව අසත්‍යයකි.

ආණ්ඩුකාරවරයාගෙන් ඊයේ (17) එම කරුණු පිළිබව ද අපි විමසූවෙමු. එහි දී ද ඔහු කියා සිටියේ එවැනි ලිඛිත නියෝගයක් තමන් නොදුන් බවයි. නමුත් පසුව එම ස්ථානයේ සිටි ආණ්ඩුකාර ලේකම් දිලේඛා කුඩච්චි විසින් ආණ්ඩුකාරවරයාට යම් පැහැදිලි කිරීමක් කළ පසු ආණ්ඩුකාරවරයා කීවේ ආණ්ඩුකාර ලේකම්වරයා විසින් එවැනි ලිපියක් යොමුකර ඇති බවයි. නමුත් අප දන්නා තරමින් එවැනි ලිපියක් පළාත් සභාවේ මෙයට අදාල කිසිදු ලිපිගොනුවක තිබුණේ නැත. පසුව පැරණි දිනයක් සහිතව එවැනි ලිපියක් ලිපිගොනුවලට ඇතුළත් වීමටනම් ඉඩ තිබෙන බව අප දන්නා කරුණකි.

කාලාවරෝධයක් සිදුව නැතැයි පළාත් රාජ්‍ය සේවා කොමිසම පවසන බව ආණ්ඩුකාරවරයාට පැවසූ විට ඔහු කිවේ මෙවැනි කතාවකි.

“මම ලිඛිතව දැනුම්දුන්නේ නැහැ. උපදෙසක් දුන්නා සේවය අත්හිටුවන්න කියලා. අපි දන්නවා ඇතැම් වෘත්තීය සමිති තිබෙනවා ඉතාමත් ප්‍රබලයි. වෛද්‍ය වෘත්තිය ඉතාම සුවිශේෂීයි. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය රටේ තිබෙන ඉතා ප්‍රබල වෘත්තීය සමිතියක්. අපිට ඔවුන්ගේ හඬට කන්දෙන්න සිදුවෙනවා. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඇතැම් කටයුතු පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් චෝදනා එල්ල වී තිබුණා. යළි සේවයේ පිහිටවූ විටත් වෛද්‍යවරු මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගැන ප්‍රශ්න කළා. ඒ නිසා තමයි ඔහුගේ සේවය අත්හිටවූයේ. මට ලැබෙන බලතල අනුව එය සිදුකළා. ඒ ගැන ආණ්ඩුකාර ලේකම්වරයා ලිපියක් යවා තිබෙනවා.”

මෙරට කිසිදු වෘත්තියක් සුවි‍ශේෂී වෘත්තීන් ලෙස වර්ගීකරණය කර නැතැයි ආණ්ඩුකාරවරයා නොදැනීම පුදුමයට කරුණකි.

එම ප්‍රකාශය අනුව ආණ්ඩුකාරවරයා පවසන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමෙන් පසු ඔහු කරන ලද අභියාචනයක් සැළකිල්ලට ගත් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම ඔහුගේ සේවය යළි පිහිටුවා තිබිය දී වෛද්‍ය වෘත්තීය සංගමයක් විසින් කරන ලද බලපෑමක් අනුව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බවයි. දකුණු පළාත් ආණ්ඩුකාරවයා වෛද්‍ය සංගමයේ අවශ්‍යතාව ඉටුකර ඇත. මෙය පැහැදිලිවම පුද්ගලික පළිගැනීමක් බව පෙනී යයි. ආණ්ඩුකාරවරයා පළාත් රාජ්‍ය සේවා කොමිසමේ තීන්දුව සැළකිල්ලට නොගෙන අහිමි කරන්නේ තවත් පුද්ගලයකුගේ වෘත්තීය අයිතිවාසිකමකි.

මෙයට පසුබිම් කතාවක් තිබේ.

අදාල ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරද්දී ඔහුගේ ප්‍රධානියා වූ එවකට ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි කරන ලද කාර්යයන් කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් විරෝධය දක්වා තිබිණි. එවකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සංගමයේ සභාපතිවරයා වූයේ ඉඳුනිල් වීරසිංහය. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත්කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් සම්බන්ධයෙන් ඊට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විරෝධතා දැක්වූහ. එදා පටන් අද දක්වාම වෛද්‍ය වෙනුර සිංගාරච්චි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තනතුරු හොබවන්නෙකි. මෙම විරෝධයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැක්වූ ප්‍රතිචාරය වූයේ මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සභාපතිවරයා මානසික රෝගියකු බව සඳහන් කරමින් ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කිරීමයි. මේ ලිපිය තම මූලික අයිතිවාසිකම් කඩ වීමක් බව සඳහන් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉඳුනිල් වීරසිංහ අධිකරණයේ නඩුවක් ද පවරා තිබේ.

එම නඩුව පැවරීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඳුනිල් වීරසිංහගේ රැකියාව අහිමිකිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසන පරිදිම ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම ආණ්ඩුකාරවරයා විසින් ඉටුකර ඇත්තේ රටේ නොමැති නීතියක් සැළකිල්ලට ගනිමිනි.

මේ සම්බන්ධව දැනට ගාල්ල දස්ත්‍රික් වසංගත රෝග වේදඥ ලෙස කටයුතු කරන වෛද්‍ය වෙනුර සිංගාරච්චිගෙන් විමසීමට අප උත්සාහ ගත්ත ද ඔහු අප වෙත කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාට තවමත් මේ කරුණු නිවැරදි කීමට හැකියාව ඇති බව අපි සිහිපත් කරන්නෙමු. දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා යනු වෛද්‍යවෘත්තීය සමිතියක අතකොළුවක් විය යුතු පුද්ගලයකු නොවේ.

rata.lk අපි මහජන ගැටලු ගැන අවධානය යොමුකර හඬක් නැති මිනිසුන්ට හඬක්වන වෙබ් අවකාශයකි. ඔබේ ගැටලු ද අප වෙත යොමුකරන්න. [email protected]

Related articles

Recent articles

spot_img