spot_img
spot_imgspot_img

වැල්ලේ දේවාලෙට යන්න, මාළු බාන්න යන්න රූමස්සල මැදින් පාරක් ඉල්ලා උද්ඝෝෂණ

පුවත්

විදෙස්

රූමස්සල ජපන් සාම චෛත්‍යය අසළ සිට යද්දෙහිමුල්ල දක්වා දැනට අඩි පාරක් ලෙස ඇති පීල්ල පාර සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා රූමස්සල සුරැකීමේ එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (16) උණවටුන බොනවිස්ටා හන්දියේ දී පැවැත්විණි.

උද්ඝෝෂණය සංවධානය කළ රූමස්සල සුරැකීමේ එකමුතුව සංවිධානයේ සභාපති එල්.ආර්.කමල් ප්‍රියංක පවසන්නේ වැල්ලේ දේවාලයේ වාර්ෂික පූජෝත්සවය කාලයේ දී රූමස්සල ගමේ පදිංචිකරුවන්ට එම දේවාලයට යාමටත්, රූමස්සල පදිංචි ධීවරයන්ට උණවටුන වෙරළට යාමටත් මෙම මාර්ගය කොන්ක්‍රීට් හෝ තාර යොදා සංවර්ධනය කළ යුතු බවයි. එමෙන්ම යද්දෙහිමුල්ලේ පදිංචි ධීවරයන්ට මාළු බෑමට රූමස්සලට පැමිණීම සඳහා මෙම මාර්ගය අවශ්‍ය බව ද ඔහු පවසයි.

“ අපි මේ මාර්ගයේ දෙපැත්තෙන්ම සංවර්ධනය කරලා තියෙන්නේ. දැන් ඉතිරිව තියෙන්නේ මීටර 180ක් ප්‍රමාණයක්. මේ පාර ගමේ අයට අත්‍යාවශ්‍යයයි. ගමේ අයට යද්දෙහිමුල්ලට යාමට ඉන් විශාල පහසුවක් වෙනවා. අපි මේ පාර ඉල්ලන්නේ වාහනයක් යා හැකි විදියට පළල් කරලා දෙන්න කියලා.”

රූමස්සල ගමේ පදිංචිකරුවන් යද්දෙහිමුල්ලට යන්නේ ධීවර කර්මාන්තය සඳහා සහ වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවයට බවත් ඔහු පවසයි. නමුත් ඒ සඳහා කුළුණු කන්ද හරහා වැටී ඇති මාර්ගය පහසුවෙන් භාවිතා කළ හැකි නොවේදැයි විමසූ විට රූමස්සල සුරැකීමේ එකමුතුවේ සභාපතිවරයා අපට කියා සිටියේ එම මාර්ගය කිලෝ මීටර 4.5ක් දුර බවයි. නමුත් වැල්ලේ දේවාලයට යන අයෙකුට කිලෝ මීටරයකට අඩු දුරකින් මේ මාර්ගය ලැබුණු විට යා හැකි බව ඔහු පවසයි. වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවය පවත්වන්නේ අවුරුද්දකට දින 07ක් පමණි. මෙම මාර්ගය 1971 දී පමණ ප්‍රාදේශීය සභාවෙන් ගැසට් කර ඇති බවත් එම මාර්ගය ධීවර කටයුතු සඳහා වෙරළ පිවිසුම් මාර්ගයක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නම් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඔවුන් ඉල්ලා සිටින මාර්ගය පිහිටා ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේය. රූමස්සල සුරැකීමේ එකමුතුවේ සභාපතිවරයා එම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. හබරාදුව ප්‍රාදේශීය සභාවේ මෙතෙක් ගැසට් කර ඇති මාර්ගවල මෙම මාර්ගය සඳහන්ව නැති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට පවසන්නේ රූමස්සල කන්දේ කිසිදු ස්ථානයක වෙරළ පිවිසුම් මාර්ග වෙන් කර නොමැති බවයි.

රූමස්සල සුරැකීමේ එකමුතුව සංවිධානය විසින් උද්ඝෝෂණ පවත්වමින් ඉල්ලා සිටින මාර්ගය වැටී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති රූමස්සල අභයභූමියේ මායිම් ගල් ආසන්නයෙනි. අභයභූමියක මායිමේ සිට මීටර 100ක් ප්‍රේරණ කලාපයක් වන බැවින් එම කලාපයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට නීතිමය අවසරයක් නැත. මොවුන් මාර්ගය ඉල්ලා සිටින්නේ එම ප්‍රේරණ කලාපයෙනි.

1 COMMENT

  1. පාරක් මොකටද , මුලු රූමස්සලම සුද්ද කරල දුන්න නම්, කැමති කැමති තැන්වලින් නැගල බහින්න බැරුවයැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!