spot_img
spot_imgspot_img

සීගිරියේ ඉඩම් ගනුදෙනුවේ වැඩි විස්තර

පුවත්

විදෙස්

මෙරට රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස මහජනතාවත් රාජ්‍ය නිලධාරිනුත් ඉඩම් ගැනුම්කරුවනුත් ඉඩම් විකුණුම්කරුවන් මං මුළා කරමින් සිදු කරගෙන යන මහා පරිමාණ ජාවාරම හෙළිදරව් කිරීම පසුගිය සතියේ අප සිදු කළේ පුද්ගල අරභයා කළ ගවේෂණයක් ලෙස නොව ජනතා සුබසෙත පිණිසය.

දිගටම සීගිරිය ප්‍රදේශයේ රජයේ ඉඩම් වන සංරක්ෂණ ඉඩම් වනජීවී ඉඩම් මෙන්ම පාරම්පරික ඉඩම් ද ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීම සිදු කරමින් පවත්වාගෙන යන මේ හේතුව නිසාවෙන්ම කාලයක් තිස්සේ මෙම ඉඩම් ජාවාරම් සිදු කරන්නේ කෙසේදැයි අධ්‍යයනයක නිරත වූයෙමු.

ඒ අතර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයකු ඉඩම් පැවරීමක් හේතුවෙන් වැඩ තහනමට ලක්විය. ඊට හේතුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අප සිදු කළේ තොරතුරු දැනගැනීමේ පනත හරහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම ලිපි ලේඛන සැකසූ ආකාරය පිළිබඳව තොරතුරු ලබාගැනීමය. එම ලිපි ලේඛන අප සතු වීමත් සමඟ මෙය ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන පුද්ගලයන් සඳහා යොදා සාදා ගෙන ඉඩම් පැවරීම සිදුවෙන බව හෙළිදරව් විය.

මේ සිද්ධීන් නිසා අසාධාරණයට පත් වන ජනතාව බොහෝය. එම නිසාම මෙම ඉඩම් ගනුදෙනුවේ සිදු වූ බව කියන සෑම අයකුම හමුවී එම සිදුවීම ගැන කරුණු විමසන්නට තීරණය කළෙමු.

ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් අයකුට පැවරූ ඉඩමේ හිමිකාරිය බවට පත්ව සිටියේ ඇතුගල් පේඩිගේ පද්මිණි යන මවයි. මෙම ඉඩම් ගනුදෙනුව සිදු වූ ආකාරය ඇය මෙසේ විස්තර කළාය.

“අපේ ඉඩමට අල්ලපු ඉඩම බලාගන්න මහත්තයා අපට උදවු කළා. මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන් ඉන්නේ. අපිට බෙහෙත් ගන්න උදවු කළා ආහාරපාන ලබා දුන්නා. අපි නුවර අරන් ගිහිල්ලා බෙහෙත් අරන් දුන්නා ඒ හැමදේටම මුදල් වියදම් කළේ ඉඩම බලාගන්න මහත්තයා.”

ඉඩම පැවරූ පද්මිණී

“අපිට ඒ මහත්තයට දෙන්න දෙයක් නැහැ. සල්ලි නෑ. ඒ නිසා තමයි අපි ඉන්න මේ ඉඩම ඒ මහත්තයට පවරලා දෙන්න මමයි අපේ මහත්තයයි තීරණය කළේ. මේ ඉඩමේ ලියකියවිලි අපි ඒ මහත්තයට දුන්නා. අපි කැමැත්තෙන් තමයි ඒ මහත්තයට ඉඩම දෙන්න පොරොන්දු වුණේ. ඒ මහත්තයා අපිට කිව්වේ මැරෙනකං සලකන්නම් කියලා. ඒ වගේම මැරෙනකම් අපේ ගෙදර ඉන්න කියලත් කිව්වා. අපි ඒක විශ්වාස කළා. ඒ වගේම අපිට සැකයක් තිබුණෙත් නැහැ ඒ මහත්තයා අපිට කරපු උදවු නිසා. අපේ දරුවෙක්වත් නොකරන විදිහට තමයි අපිට සැලකුවේ. මේ ඉඩම ඒ මහත්තයගෙන් හැර වෙනත් කෙනකුට පවරනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මට එහෙම කිව්වෙත් නෑ. මේ ඉඩමට ඔප්පු හතරක් තියෙනවා. ඒ හතරම ඒ මහත්තයට පවරලා දෙන්න තීරණය කළා”.

“මම එක දවසක් තමයි අල්ලපු ඉඩමේ අයිතිකාර සංගක්කාර මහත්තයව දැකලා තියෙන්නේ. ඒත් ඉඩමට ආපු දවසක. ඒ නෝනා මහත්තයා දැකලා තියෙන්නේ එක දවසයි. ළමයි එක්ක ඇවිල්ලා මේ හරියේ මම දැක්කා එළුවෝ අතගගා ඉන්නවා.

අපි දෙන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දඹුල්ලේ ගිහිල්ලා කොළ වගේකට අත්සන් කරලා දීලා බෙහෙත් ගෙන්න ගිය‍ා. ඇත්තටම ඒ මහත්තයා අපට උදවු කරපු නිසා තමයි අදටත් අපි කාලා ඉන්නේ. නැත්තං මෙලහට මැරිල.”

“අපි පස්සේ කතා කළා බෙහෙත් ගෙනියන්න මුදල් ටිකක් දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ ඉඩමේ සිද්ධිය පත්තරවල ටීවීවල ගිහිල්ලා තියෙන නිසා දෙන්න බෑ කියලා.

අපේ ඉඩම ඒ මහත්තය වෙන කෙනකුට පවරලා කියලා අපි දැනගත්තේ පත්තර ටීවීවල යනකොට. එතකල් දන්නේ නැහැ.”

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් වූ පියල් ජයසූරියගෙන් අප මේ පිළිබඳව ප්‍රශ්න කළේ මේ තවත් පැති ඇත්දැයි දැනගැනීම සඳහාය.

ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය

ප්‍රශ්නය – අපට දැනගන්න පුළුවන්ද මේ ලේඛන හදලා තියෙන ඉඩමේ සිදුකරන පරීක්ෂණවල තත්ත්වය?

පිළිතුර – ඔබ මගෙන් විමසන්නේ ඇතුගල් පේඩිගේ පද්මිණී කියන මයිලත්තාව ප්‍රදේශයේ තියෙන ඉඩමට අයිතිවාසිකම් කියන දීමනා පත්‍ර ඉඩම පැවරීම සම්බන්ධයෙන් වෙන්න ඕන”.

“මට මේක අනාවරණය වුණේ මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම මත පැවරීමක් සිදු වෙලා තියනවා කියලා. ඒ සම්බන්ධයෙන් තුන්වැනි දිනම අපි ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන දිස්ත්‍රික් ලේකම්තුමා දැනුම්වත් කළා. දිස්ත්‍රික් ලේකම්තුමා පරීක්ෂණයක් ආරම්භ කරලා අදාළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන ලද ග්‍රාම නිලධාරී වැඩ තහනමකට ලක් කළා. ජනවාරි එකොළොස් වැනිදා. ඒ වගේම ලිපි ලේඛන හදලා සිදු කරලා තියෙන පැවරීම මම අවලංගු කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාට ඉල්ලීමක් ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා ජනවාරි මාසේ පස්වැනිදා ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාට දන්වා යැව්වා. ජනවාරි මාසේ ම අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා පළාත් ඉඩම් කොමසාරිස් තුමාට උපදෙස් ලබා දීලා තියෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා සපයා තියෙන වාර්තා පිළිබඳව සහ ඔහුගේ විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාජ ලේඛන සකස් කරලා මේ සිදු කරල තියෙන බව තහවුරු වෙනවා නම් පැවරීම අවලංගු කරන්න 2014 චක්‍රලේඛය අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමා සූදානමින් සිටිනවා.

ප්‍රශ්නය – ඉඩම් ජෙනරාල්තුමා මෙම ඉඩම නැවත පැවරුම්කරුවන්ට ලබා දෙන්න කියලා ඔබතුමාට ලිඛිතව ලිපියක් එවල තියෙනව කියන ආරංචිය ඇත්තක් ද?

පිළිතුරු – ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමා සඳහන් කරලා තියෙන්නෙ මේ පරීක්ෂණ කටයුතු අවසන් වුණාට පසු මේ සම්බන්ධයෙන් සොයා බලා නැවත මෙම ඉඩම යම්කිසි පුද්ගලයෙක් පවරා ගැනීමට ගිහින් තියෙනවා නං ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරන්න වාර්තාවක් තමයි මගෙන් ඉල්ලලා තියෙන්නේ.

ප්‍රශ්නය – එම ලිපියේ මෙම පැවරුම්කරුටම පවරලා දෙන්න කියලා සඳහන් වෙලා තියෙනවද?

පිළිතුර – අපි දන්නෑ තාම පරීක්ෂණය සිදු වෙනවා. පැවරුම්ලාභියා සහ පැවරුම්කරු අතර යම්කිසි මුදල් ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවද කියලා තාම පැහැදිලි නැහැ. පරීක්ෂණයේදී තමයි අනාවරණය වෙන්නේ. අපට ප්‍රකාශ ලබා දීලා තියෙන්නෙ ඉඩමේ අයිතිකාරියම එයා කැමැත්තෙන් තමයි පවරාදීම කළා කියලා සනාථ වෙන්නේ. අපට තියෙන තොරතුරුත් එක්ක ඒක පරීක්ෂණයෙන් පස්සේ තමා තීරණය වෙන්නේ.

ප්‍රශ්නය – නැහැ මම අහන්නෙ ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්යාලය ඔබතුමාට දැනුම් දීලා තියනවද මේ ඉඩම පැවරුම්ලාභියාට නැවත ලබා දෙන්න කියලා?

පිළිතුර – නැහැ. එතුමා අපිට සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරන්න කියන කාරණයයි.

වැඩිදුරටත් අප කළ විමසීම්වලදී ඔහු මෙසේ ද පැවසීය.

“මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි මට දැනගන්න ලැබුණේ මේ ව්‍යාජ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් කූට ලේඛන සකසලා තියෙනවා කියලා. සංගක්කාර මහත්තයා දුරකථනය හරහා මට ජනවාරි 02 දින ඇමතුමක් ලබා දුන්නා. එතුමා කියා සිටියේ තමන් සතු සීගිරි ප්‍රදේශයේ ඉඩමේ ආයෝජකයෙක් හඳුනාගෙන සිටින බවත් එම ආයෝජකයා හරහා ආයෝජන වැඩසටහන ආරම්භ කිරීමට මගේ අනුමැතිය අවැසි බව. මම එතුමාට පෙරළා කියා සිටියා මගේ අනුමැතියක් මේ සඳහා අවශ්‍ය නැහැ කියලා.”

“මම දන්නවා එතුමාට සීගිරියේ පෞද්ගලික ඉඩමක් තිබෙන විත්තිය. පෞද්ගලික ඉඩම්වලට අපේ අවසරයක් අනුමැතියක් අවශ්‍ය නැති විත්තිය දැනුම් දුන්නා. පසුව එම අවස්ථාවේම කුමාර සංගක්කාර මහත්තයා සංජීව කියලා කෙනෙක්ව එම දුරකථනයටම සම්බන්ධ කළා. ඒ අනුව අපි තුන් දෙනාම දුරකථනයට සවන් දෙමින් කතා කිරීම සිදුකළා .”

“සංජීව කියන අය තමයි කිව්වේ ඉඩම කුමාර් සංගක්කාර මහත්තයාගේ පෞද්ගලික ඉඩම නෙවෙයි පසුගියදා පැවරූ ඉඩමක් සම්බන්ධයෙන් තමයි අනුමැතිය අවශ්‍ය වෙන්නේ කියලා. පසුව මම ඒ අයට කිව්වා මම කිසිම ආකාරයෙන් ඉඩමක් මෙවැනි අයට ලබා දී නැති විත්තිය. කෙසේ වෙතත් මම එදිනම ලේඛන පරීක්ෂා කරද්දී තමයි මම දැක්කේ ව්‍යාජ ලේඛන හැඳුනුම්පත් ආදී සියල්ල ලබා දීලා මගේ අනුමැතිය අරගෙන තියෙන විත්තිය.”

මෙම ඉඩමේ මීට පෙර හිමිකම් පැවරී තිබූ පද්මිණිට කතා කිරීම සඳහා වෛද්‍ය උපදෙස් මත සීමා කොට තිබිණි. එම නිසා සැමියා වූ එච්.එම්. විමලසිරි අප සමඟ මෙසේ පැවසීය.

“මේ ඉඩම මගේ බිරිය නමින් තමයි පැවරිලා තියෙන්නෙ. ඔක්කොම පර්චස් අනුවක් තියෙනවා. අපිට කවුරුත් සලකන්නේ නෑ. ඒ වගේම අපි දෙන්නම රෝගීන්. සංගක්කාර මහත්තයාගේ ඉඩම තියෙන්නේ අපේ ඉඩමට අල්ලපු ඉඩම වැවත් එක්ක. අපේ බිරිය හැම තිස්සේම අසනීප වෙනවා. සංගක්කාර මහත්තයාගේ ඉඩම බලාගන්න සංජීව මහත්තයා අපට උදවු කළා. කන්න බොන්න ගෙනත් දුන්නා. ලෙඩ දුකට බැලුවා. බෙහෙත් ගේන්න වාහන දුන්නා. එයා ගොඩක් උදවු කළා. ඒ උදවු කරපු නිසා තමයි ඉඩම පවරලා දෙන්න අපි දෙන්නා කල්පනා කළේ .”

අපි ලියකියවිලි ඔක්කොම ඒ මහත්තයට දුන්නා. ඒ මහත්තයා කිව්වා අපි දෙන්නාට මැරෙනකල් ජීවත් වෙන්න සලකන්නම් කියලා. ඒ වගේම බෙහෙත් ටික අරගෙන දෙන්නං කිව්වා අපිට වෙන මොනවත් ඕන නැති නිසා අපි කැමති වුණා.”

“හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ මේ ඉඩම වෙනත් කාන්තාවකට පවරනවා කියලා. අපිට ඒ බවක් කිව්වෙත් නෑ. සංගක්කාර මහත්තයාගේ බිරිය අපි දැකලා නෑ කවදාවත්. සමහර දවස්වලට ඉඩමට ඇවිල්ල යනවා ඈතින් දැකලා තියෙනවා. අන්තිමට අපිට වුණේ සීගිරි ගල අපේ ඉඩමට දර්ශනය වෙන නිසා අපේ කරුමෙට අසනීප වුණු නිසාත් දැන් මෙලෝ දෙයක් නැතිව හූල්ල වැටෙන්න විතරයි. අපි අසරණ වුණා.”

මෙම අසරණව සිටි සහ අසාධාරණයට පත්ව ඇති යුවළ දැක බලා ගැනීමත් මෙම ඉඩම පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ඉඩමට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත එම ඉඩමේ සිට මෙසේ පැවසීය‍.

“බොහෝ දෙනෙක් මේ සිද්ධිය සමඟ දේශපාලනය කරන අපිට අපේ ඇමතිතුමාට චෝදනා කරන්න පටන් ගත්තා. මේ සිද්ධිය ආරංචිවීමත් සමඟ වහාම ජනක බණ්ඩාර තෙන්නකෝන් අපේ ඇමතිතුමා ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවලා දිස්ත්‍රික්කයේ ඉඩම් විකුණන එක වහාම නවත්වන්න කියලා උපදෙස් දුන්නා. මේකේ කිසිම දේශපාලන ප්‍රශ්නයක් සම්බන්ධයක් නැහැ. විශාලම ප්‍රශ්නය තියෙන්නේ මේ අසරණ පුද්ගලයන් දෙදෙනා ජීවත් වෙලා ඉන්න ඉඩම සීගිරිය දර්ශනය වෙනවා අලංකාර ලෙස.”

“සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ඕන හෝටල් ඉදිවෙන්න ඕනේ. හැබැයි මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලි දීලා නෙවෙයි. 

ජනමාධ්‍යට ස්තුතිවන්ත වෙනවා මේ ගැන හෙළිදරව් කළාට. වර්තමානයේ අම්මා තාත්තා පවා එළියට දාන යුගයක්. හැබැයි මේ අසරණ අම්මට තාත්තට ජීවත්වීමේ බලාපොරොත්තුව පමණක්ම ලබා දීලා ඉතා සූක්ෂම ලෙස මේ ඉඩම් පවරාගෙන තියෙනවා. ඒක මහා අපරාධයක්. හැබැයි ලියුම් කඩදාසියක්වත් ඒ දෙපළ ළඟ නැහැ. අපි හරියටම දන්නේ නැහැ මේකේ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහත්තයා ඉන්නවද නැද්ද කියලා. හැබැයි එතුමාගේ බිරියගේ නමට තමයි මේ පැවරුම් සියල්ල සිද්ධ වෙලා තියෙන්නෙ. මේක ඉතා කූට ලෙස කරපු වැඩක් ද කියලත් සැකයක් පවතිනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සොයා බලන ලෙස මම ආණ්ඩුකාරතුමාටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමාටත් දැනුම් දී සිටිනවා.”

මෙම අරුම පුදුම ඉඩම් පැවරීමේ සිද්ධිය සහ ලක්ෂ ගණනක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය කුමක්දැයි මෙම ඉඩම් පැවරීමේදී ලිපි ලේඛන පරික්ෂා කිරීම අනුමත කිරීම දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය පවරා තිබූ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරි ශානක වර්ණසූරියගෙන් විමසීමක් කළෙමු.

“මට පැවරුණු රාජකාරිය හරියටම ඉටු කරලා තියෙනවා. මේ ඉඩම් පවරා ගන්න කාන්තාව ඉදිරිපත් කොට තියෙන හැඳුනුම්පත අනුව එවැනිම රූපයකට සමාන කෙනෙක් මගේ ඉදිරියට පැමිණිලා සිටියා. ඒ අනුව හැඳුනුම්පත සහ ඇයව සජීවී දර්ශනය වීමේ දී ලොකු වෙනසක් මට පෙනුණෙ නෑ. ඒ නිසා මම අනුමත කිරීම් සිද්ධ කළා.” ඔහු කීය.

දැනට වැඩ තහනමට ලක්ව ඇති දඹුල්ල ඉහළ ඇරෑවුල ග්‍රාම සේවා වසමේ සේවය කළ ග්‍රාම නිලධාරී ලක්ෂ්මන් ප්‍රේමරත්න හමුවීමට ද අප අමතක නොකළෙමු.

ග්‍රාම නිලධාරීවරයා

ප්‍රශ්නය – මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ.

පිළිතුර – මම නීත්‍යනුකූලව රස්සාව කරල තියෙන්නෙ.

ප්‍රශ්නය – එතකොට ඔබ පදිංචි සහතිකය ලබා දුන්නු යෙහෙළි පීරිස් කියන කාන්තාව පදිංචිය කොහෙද?

පිළිතුර – මට පදිංචිය පෙන්නුවේ එහේ පදිංචිය තියෙනවා කියලා.

ප්‍රශ්නය – ඔබතුමා ඇය පදිංචි නිවසට ගිහිල්ලා තියෙනවද?

පිළිතුර – ගිහිල්ලා නෑ. මම මේ වසමට වැඩ බාර අරගෙන මාසයක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. වසම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මට හැඳුනුම්පත බැලුවම ඒකෙ ලිපිනය තියෙනව නම් වෙන ගැටලුවක් මම දැක්කෙ නෑ.

ප්‍රශ්නය – එතකොට ඔබතුමා මේ කාන්තාව සොයා බලන්නේ නැතුව ආදායම් වාර්තා කොහොමද දුන්නෙ? මහත්තයාගේ නම පවා දාලා තිබුණා.

පිළිතුර – ඔව්. ඇත්ත ඡන්ද නාම ලේඛනයේ ඒ මේ වගේ නමක් තිබුණෙ නැහැ මම කිව්වා පදිංචිය හැර යෑමේ ලියුමක් ගේන්න කියලා. ඒ ලියුමේ තිබුණ දේ ලිව්වේ.

ප්‍රශ්නය – පදිංචිය හැර යෑමේ ලියුම කොහෙන්ද ගෙනාවේ?

පිළිතුර – මට ඒක දැනට මතක නැහැ. මුල් පරීක්ෂණයේදී මට ඒක පෙන්නන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය – පදිංචිය හැර යෑමේ ලේඛන ටික රැගෙන ආවේ ඔය කියන යෙහෙළි පීරිස් මහත්මිය ද?

පිළිතුර – නැහැ, මේ ලේඛන ටික අරගෙන ආවේ මං අඳුරන කෙනෙක්. මම මේ ලේඛනවල සඳහන් කරලා තියෙනවා එතුමිය ස්ථිර පදිංචි නෑ තාවකාලික පදිංචි කියලා.

ප්‍රශ්නය – හරි මෙන්න එම ලියවිලි මට පෙන්නන්න ඔබතුමා එහෙම ලියලා තියෙන තැනක්

(තොරතුරු දැනගැනීමේ පනත හරහා අප ලබාගත් ලේඛන ග්‍රාමසේවක පරීක්ෂා කරයි)

පිළිතුර – ආ මෙච්චර ද ලියකියවිලි තිබුණේ මේකෙ නම් සඳහන් වෙලා නෑ තමයි.

ප්‍රශ්නය – ජනපද නිලධාරී තුමා කිව්වා මේ වගේම කාන්තාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැන්දන් ආවා කියලා.

පිළිතුර – ඒක මම දන්නේ නැහැ. මට කොහේවත් දැනුම් දීල නෑ එතුමා අභිමුවේ කෙනෙක්ව ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය – එතකොට යෙහෙළි පීරිස් කියන කෙනා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර කියන අය හමුවෙලා දැකලා තියෙනවද?

පිළිතුර – නැහැ. මම එතුමාව දැකලා තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. ළඟට හමුවෙලා කතා කරලා දැකලා නැහැ.

ප්‍රශ්නය – මෙම ලේඛන ලබාදුන් පුද්ගලයා හඳුනනවාද?

පිළිතුර – ඔව්. මම එයාව දන්නවා. අපේ ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්න කෙනෙක්. මං විශාල කාලයක් තිස්සේ එයාව හොඳට අඳුරනවා.

ප්‍රශ්නය – එතුමාගේ ඉල්ලීම් මත ද මේක කළේ.

පිළිතුර – මට එතුමා විශ්වාසයක් තිබුණ නිසා තමයි අත්සන් කරලා දුන්නෙ.

ප්‍රශ්නය – ග්‍රාම සේවක මහත්තයා පදිංචි සහතිකයක් ආදායම් සහතිකයක් ලබාදෙන කොට අඩුම තරමේ තමන් ග්‍රාම නිලධාරිවරයා හැටියට සොයා බලන්නේ නැතුව නිකුත් කරනවද කෙනෙක් ලේඛනයක් ඉදිරිපත් කරලා ඉල්ලීමක් කළ පමණින්.

පිළිතුර – ලිඛිත සාක්ෂි තිබුණනෙ පදිංචිය හැර යාමේ කඩදාසිවල. ඒකෙ තමයි ආදායම රැකියාව ගොවිතැන කියලා සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා තමයි මම එක ලිව්වේ .

ප්‍රශ්නය – හොඳයි මට පුළුවන්ද එම ලිපිය ලබාදෙන්න.

පිළිතුර – ඒක මං පරීක්ෂණයකට ඉදිරිපත් කරන්නම්.

ප්‍රශ්නය – මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා චෝදනා කරලා තිබුණා ඔබගේ ළමයෙක් ප්‍රසිද්ධ පාසලකට ලබාදීම ඇතුළත් කර ගැනීමේ සිද්ධියක්. මොකක්ද එක?

පිළිතුර – නැහැ. මගේ ළමයි කිසිම කෙනෙක් මහනුවර ප්‍රදේශයේ පාසල්වල යන්නේ නැහැ. ඒක බොරුවක්. මොකද, මගේ එක දුවක් විතරයි දැනට අධ්‍යාපන කටයුතු කරන්නේ. එවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ.

මෙහිදී අප දුරකථනය හරහා එම ඉඩම රැක බලා ගැනීම සිදු කරන මෙන් ම ඉහත ඉඩම පවරාදුන් දෙපළට උදවු කිරීම සඳහා පොරොන්දු වී සිටි දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය මුදියන්සේලාගේ ඉහළගෙදර සංජීව අසේල වර්ණකුලසූරිය ගෙන් විමසීමක් කළෙමු. මෙම ඉඩම් පැවරීමේ දී සාක්ෂිකරුවන් ලෙස ඔහු අස්සන් තබා තිබීම ද විශේෂත්වයකි.

“මේ අසරණ පවුලට මම උදවු කළා. ඒ අය මට වැඳ වැටිලා කිවුවා ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්න උදවු කරන්න කියලා. ඒ නිසා තමයි මම උදවු කළේ. ඒ වගේම මට කිව්වා මේ ඉඩම අරගෙන සල්ලි දෙන්න කියලා. ඒ අනුව තමයි මම ඒ අයට උදවුවක් වශයෙන් මේක කළේ. මම තවත් කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා තමයි අමාරුවෙ වැටිල තියෙන්නෙ. මේ මැඩම් මම අවුරුදු 10 ක කාලයක් තිස්සේ අඳුරනවා. ඒ නිසා තමයි ඉඩම එතුමියට පවරලා දෙන්න තීරණය කළේ. මේ අසරණ යුවළට උදවු කරන්න ඒ මැඩම් තමයි මට මිල මුදල් දුන්නේ. ඒ නිසා එතුමිය ගේ නමට මේ ඉඩම පවරලා දෙන්න කියලා කණ්ඩලම ප්‍රදේශයේ ඉන්න වර්ණසූරිය කියන අයටයි සෙනවි කියන කෙනෙකුටයි බාර දුන්නා මම මේකට මැදිහත් නොවී. ඒ අය තමයි සියල්ල පවරලා ලියවිලි හදලා අපිට ලබා දුන්නේ. මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.”

ප්‍රශ්නය – “මෙම ඉඩම පවරන යෙහෙළි පීරිස් කියන කෙනා සංගක්කාරගෙ බිරිය කියල ඔබ දැනගෙන හිටියද?

පිළිතුර – “නැහැ, මම දැනගෙන හිටියේ නෑ. ඇසුරු කළාට එයාගේ ස්වාමිපුරුෂයා කවුද කියලා මම දන්නේ නෑ.”

ප්‍රශ්නය – එතකොට ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කළා ජංගම දුරකථනය හරහා ඔබත් කුමාර් සංගක්කාරත් එක්ක බහුසම්බන්ධතා ඇමතුමක් ලබා ගත්තා කියලා. ඒකත් බොරුවක්ද?

පිළිතුර – “ඒක නම් ඇත්ත. අපි කතා කළා. මොකද, ඉඩමේ ලියකියවිලි තියෙන කඩදාසි වැරදි නිසා තමයි අපි එතුමා සමඟ කතා කළේ. අපි කතා කරපු නිසා තමයි එතුමා දන්නෙ මේවා වැරදි කියලා.”

ප්‍රශ්නය – එතකොට ඔබ මීට පෙර කිව්වා සංගක්කාර හෝ මේ යෙහෙළි පීරිස් පෞද්ගලිකව දන්නෙ නැහැ කියලා. ඒක බොරුවක් ද?”

පිළිතුර – මඳ සිනහවක් පා නිහඬව තප්පර කිහිපයක් සිටිමින් පිළිතුරු දුන් අසේල සංජීව, “ඒවා එකපාරටම කියන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.”

පසුව අප මෙම ලියකියවිලි සඳහා දෙවැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත්ව සිටි මෙන්ම සංජීව අසේල ලිපි ලේඛන සියල්ල බාර දුන් බව කියන වර්ණසූරිය මුදියන්සේලාගේ අලුත්ගෙදර වර්ණසූරියගෙන් මේ බව දුරකථනය හරහා විමසුවෙමු.

“මට එහෙම ලියකියවිලි බාරදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක තනිකර බොරුවක්. මොකද මමත් තව කෙනෙකුත් ඉඩම් බෝකර් වැඩ කරනවා. ඒ නිසා අපේ ගමේ අහල පහල අය නිසා අඳුරනවා. මට කිව්වේ මේ කඩදාසියට සාක්කි අත්සන් කරන්න කියල විතරයි. මට කිසිම ආකාරයෙකින් ලියවිල්ලක් මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ මැදිහත් වීමක් නෑ. මම අක්කර සිය ගණන් වලට පවා අස්සන් කරලා තියෙනවා. අපි ඉඩමක් විකුණලා කීයක් හරි හොයා ගන්නවා. එහෙම නැතුව මේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ.

කෙසේ වෙතත් මේ තොරතුරු දැනගැනීම පනත හරහා සීගිරි ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමඟ මෙම ඉඩම් ගනුදෙනුවකට ගෑවී ඇති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගෙන් අප විමසීමේදී ඔහු මෙම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් 2021 ජනවාරි විසි එක් වැනි දින ඉඩම් කොමසාරිස් ලක්මාලි ජයසිංහගේ අස්සනින් යුතුව ලිපියක් අප වෙත එවා තිබිණි.

එහි මෙසේ සඳහන්ව තිබේ. උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කරන ලද 2021. 01. 05 දිනැති ලිපිය හා බැ‍ඳේ. ඒ අනුව වගකිවයුතු පුරවැසියකු ලෙස මෙහි කර ඇති අවංක ප්‍රකාශ පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරන අතර යථා කාලයේ දී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කර ගැනීමට කටයුතු කරන බවත් කාරුණිකව දන්වමි. යනුවෙන් එහි සඳහන්ව තිබේ. ලිපිය යොමු කොට ඇත්තේ කුමාර සංගක්කාර, යෙහළි සංගක්කාර යන දෙදෙනා වෙතය.

කුමාර සංගක්කාරගේ පැහැදිලි කිරීම්

* මේ වැඩවලට රජයේ ඇතැම් නිලධාරීනුත් සම්බන්ධ බව පේනවා
* කිසිම විදියකින් පවරා නැති වෙනත් අය භුක්ති විඳින ඉඩම් 250ක් තිබෙනවා
* දුප්පත් අය බලපත්‍රය තියාගෙන; පෝසත් අය ඒ ඉඩම්වල ගෙවල් හදලා
* අයථා විදියට ලබාදුන් ඉඩම් බලරහිත කරන්න තියෙනවා

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති රජයේ ඉඩම් කූඨ ලේඛන සකස් කර වෙනත් අයට පවරා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේට යොමු කළ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු දුන්නේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ

සීගිරිය හොඳින් දිස්වන ස්ථානයක ඇති රජයේ ඉඩමක් නීත්‍යානුකූල නොවන අයුරින් ක්‍රිකට් ක්‍රීඩකයකුට පවරා දී තිබෙන බවට පැතිර යන සිද්ධිය සම්බන්ධයෙන් ඔබ මේවන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

මේ සිද්ධිය සැළවූ වහා විශේෂ පරීක්ෂණයක් කරන්න මට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මාතලේ දිසාපතිවරයාට උපදෙස් ලබා දුන්නා. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ සිද්ධිය කතා බහට ලක්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඒ වනවිටත් ග්‍රාම නිලධාරිවරයෙකු වැඩ තහනම් කර තිබුණා. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු නම ගෑවුණු නිසා බොහෝ දෙනෙකුගේ අවධානය මේ සඳහා යොමු වුණා. පුද්ගලයන්ගේ තරාතිරම නොබලා සාධාරණ පරීක්ෂණයක් කරනවා. මුලින්ම අයථා විදිහට ලබාදී තිබෙන ඔප්පු කැන්සල් කරන්න කියලා උපදෙස් දුන්නා.

අයථා විදිහට ලබාගෙන තිබෙන ඉඩම් බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය අවසන් වෙයි කියලා ඇතැම් අය පවසනවා?

නැහැ, එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඉඩම් බලපත්‍ර අවලංගු කිරීම එක් පියවරක්. මම දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා කැඳවා අදාළ ඉඩම් පිළිබඳ ලිපිගොනු පරීක්ෂා කළා. මේවා ලබාගෙන තිබෙන්නේ කූඨ ලේඛන සකස් කරලා කියලා තමයි මේවන විට නිරීක්ෂණය වෙන්නේ. අපිට බැහැ ඒවා කූඨ ලේඛනද නැද්ද කියලා මතුපිටින් බලලා කියන්න. ඒ නිසා මම ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මාතලේ දිසාපතිවරයාට උපදෙස් දුන්නා කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කරන්න කියලා. ඒ අනුව අදාළ පැමිණිල්ල කරලා තිබෙනවා. කූඨ ලේඛන සැකසීම කියන්නේ අපරාධ චෝදනාවක්. ඒකට අදාළ අනුග්‍රහය දැක්වූ සියලු දෙනා පරීක්ෂණ වලදී අනාවරණය වෙයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඇති රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට ඇතිහැකි මුදල් තිබෙන අය බුක්ති විඳිනවා නේද?

දඹුල්ල ප්‍රදේශයේ මේ විදිහට අනියම් ආකාරයට බලපත්‍ර ලාභියාගෙන් නීත්‍යනුකූලව පවරා ගැනීමක් සිදු නොකර වෙනත් පුද්ගලයන් බුක්ති විඳින රජයේ ඉඩම් 250 ක් විතර තිබෙන බව දැනට වාර්තා වී තිබෙනවා. මේ සියලු ඉඩම් පිළිබඳ අපි විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. බලපත්‍ර හිමි අඩු ආදායම් ලාභි පුද්ගලයන් කොළඹ ආදි විවිධ ප්‍රදේශ වල ධනවතුන් ගෙන් අතයට මුදල් ලබාගෙන තමන්ගේ ඉඩම බුක්ති විඳින්න ඒ අයට දෙනවා.දුප්පත් අහිංසක මිනිස්සු බලපත්‍රය තියාගෙන ඉන්නවා සල්ලිකාරයෝ ඒ ඉඩම් වල ගෙවල් හදාගෙන ඉන්නවා.මේ රජයේ ඉඩම් වලින් පළාත් පාලන ආයතනයකටවත්, පළාත් සභාවට හෝ මධ්‍යම රජයටවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල ලොකු හෝටල් හදලත් තියෙනවා. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට වගකීමක් තිබෙනවා ඒ ප්‍රදේශයේ සියලුම ගොඩනැගිලි පරීක්ෂා කරලා බලලා කාටද බලපත්‍රය තිබෙන්නේ කවුද බුක්ති විඳින්නේ කියලා හොයලා බලන්න.

මෙච්චර දේවල් වෙනකල් නිලධාරීන් බලාගෙන ඉඳලද?

ඒක තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය. මේ අයථා වැඩවලට සමහර රජයේ නිලධාරීන් සම්බන්ධයි. එහෙම නැතුව මේවා කරන්න බැහැ. අඩු ආදායම් ලාභි, ඉඩම් නොමැති අයෙකුට බලපත්‍රයකින් ලබාදෙන ඉඩමක හෝටලයක් හැදෙනවා නම් ඒක බලන්න ඕනනේ. නමුත් ඒක වෙලා නැහැ. එහෙම නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. මේ සීගිරිය ආසන්නයේ ඉඩම සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රශ්නයත් එක්ක දැන් තවත් සිද්ධි ඇදි ඇදී එනවා.

බලපත්‍ර ලාභියාට මේ ඉඩම් පවරාදීමක් කරන්න බැරිද?

පෞද්ගලිකව අපි ඉඩමක් ගන්නකොට නොතාරිස් මහත්තයෙක් හරි නීතීඥ මහත්තයෙකුට හරි කියලා ඔප්පුව ලියා ගන්න පුළුවන්. ඒ වෙලාවෙම නොතාරිස් මහත්තයා ඉදිරිපිට ගනුදෙනුව වෙනවා.ඕක තමයි සාමාන්‍ය පෞද්ගලික ඉඩම් විකුණන ක්‍රමය. නමුත් රජයේ ඉඩමකදී ඒ තත්ත්වය වෙනස්. බලපත්‍රයක් හෝ ප්‍රදානයක් යටතේ ලබාදී තිබෙන ඉඩම් ප්‍රාදේශීය ලේකම් හෝ දිසාපතිවරයාගේ අනුදැනුම නොමැතිව හිතුමතේ වෙනත් අයට පවරා දෙන්න බැහැ. මොකද මේවා රජයේ ඉඩම්. ඒවා වෙනත් කෙනෙකට පවරාදීමක් කරනවා නම් ඒකට නිසි ක්‍රමවේදයක් තිබෙනවා.

මේ වගේ ඉඩමක් දෙන්න බලය තිබෙන්නේ ප්‍රදේශිය ලේකම්වරයාටද?

අවසන් වශයෙන් අත්සන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්. නමුත් පල්ලෙහා මට්ටමේ ඉඳලා උඩට එන්න ඕන. ග්‍රාම සේවක වාර්තා, ජනපද නිලධාරී වාර්තා, බුක්තියේ ඉන්නේ කවුද, ලේ ඥාතිකමක් තියෙන කෙනෙකුට ඒක දෙන්නේ කියන කාරනා ඔක්කොම සොයා බලනවා. මේ තොරතුරු සත්‍ය බවට දිව්රුම් පෙත්සම් මඟින් ලබා දිය යුතුයි. අවසාන වශයෙන් ලිපි ගොනුව ප්‍රාදේශීය ලේකම්වයාට එනවා අනුමැතිය සඳහා. බලපත්‍ර හිමියට අඩු ආදායම් ලාභි තමන්ගේ ලේ ඥාතියෙකුට ඉඩම පවරන්න ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පුළුවන්. මේ ඉඩම් වල ලොකු ව්‍යාපෘතිය හදන්න බැහැනේ අඩු ආදායම් ලාභියෙකුට. එහෙම කරන්න යත්දී තමයි මේ ඉඩම සම්බන්ධව හොයන්න ගත්තේ.

සටහන : තමාගේ අනුදැනුමකින් තොරව සිද්ධිය සිදුවී ඇති බව ‘සිළුමිණ‘ කතුවරයාට දැන්වූ කුමාර සංගක්කාර නිවැරැදි කිරීමේ ප්‍රකාශයක් පුවත්පතට යොමුකරන බව පැවසුවද, මාර්තු 12 වැනිදා සිකුරාදා පස්වරු 9.00 ට පුවත්පත මුද්‍රණයට යනතෙක් එය නොලැබිණි. පිළිතුරු දීමේ අයිතිය යටතේ එවැනි යමක් සිළුමිණ වෙත යොමු කළහොත් එය පළ කිරීමට කටයුතු කරනු ඇත.

සිද්ධි මාලාවේ පෙළ ගැස්ම

2021-03-14 දින “සිළුමිණ” පුවත්පතේ පළ වූ ලිපිය

සාකච්ඡා කළේ – අසේල කුරුළුවංශ 
සීගිරිය විශේෂ වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!