ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග ශාලාවේ දී තවත් සිසුන් පිරිසකගෙන් පහර කෑ සිසුවාගේ කර්ණ පටහ පටලයට හානි සිදුව ඇතැයි විශේෂ වෛද්‍යවරුන් විසින් නිර්දේශයක් ලබා දී ඇත.
පෙරේදා (10) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම සිසුවා අද (12) සවස නිවසට යවා තිබිණි. රෝහලේ දී එම සිසුවා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරී බුද්ධික ඩයස් සටහන් කර තිබුණේ එම දරුවාගේ කර්ණ පටහ පටලය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට සායනික වාර්තාවක් අවශ්‍ය බවයි. මෙම සායනික පරීක්ෂණය සදහා රෝහලෙන් ලබන 15 වැනි දිනය ලබා දී තිබිණි.
එසේ වුව ද දරුවාගේ කනේ වේදනාව දිගින් දිගටම පැවතීම හා කන් ඇසීමේ තිබූ දුර්වලතාව හේතුවෙන් ගාල්ල සමූපකාර රෝහලේ දී අද (12) සවස විශේෂඥ උගුර, කන නාසය පිළිබඳ වෛද්‍යවරයකුට දරුවා යොමුකළ විට එම වෛද්‍යවරයා විසින් ලබාගත් වාර්තාව අනුව මෙම දරුවාගේ එක් කනක කර්ණ පටහ පටලයට හානි සිදුව ඇති බව තහවුරු කර ඇත. (එම වෛද්‍ය වාර්තා අප සතුව තිබේ)
කෙසේ වෙතත් මෙම පහරදීම දුටු සිසුන්ගේ සාක්ෂි ලබාගැනීම අද සවස ගාල්ල මූලස්ථාන පොලිසියේ දී සිදුකෙරුණු අතර පහර දීම සිදුකළ බවට සැකකරන සිසුන්ගෙන් ද සාක්ෂි සටහන් කරමින් සිටින බව ගාල්ල පොලිසිය පවසයි.
1968 අංක 25 දරණ විභාග පනත අනුව විභාග ශාලාධිපතිවරුන්ට මෙවැනි පහරදීමක් සිදුකළ සිසුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇතත් මෙතෙක් එවැන්නක් සිදුව නැත. අධිකරණ වෛද්‍යවරුන් පවසන්නේ පුද්ගලයකුගේ කර්ණ පටහ පටලයට හානි සිදුකිරීම බරපතල තුවාල ගණයට වැටෙන බවයි. කර්ණ පටහ පටලයේ සිදුවන තුවාලයක් දින 21ක කාලයක දී සුව නොවන්නේ නම් සුව කිරීම අපහසු බව ද සදාකාලි ආබාධිත තත්ත්වයට පත්විය හැකි බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.
එවැනි බරපතල තුවාල ලබා පහරකෑමට ලක්වූ සිසුවා දින 02ක් කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුව ද පහරදුන් සිසුන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පහර කෑමට ලක්වූ සිසුවාගේ දෙමාපියෝ චෝදනා කරති.