අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර තවත් සිසුවන් පිරිසකගේ පහරදීමකට ලක්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිසුවාට පසුගිය 08 වැනි දා විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එම විද්‍යාලයේ ම තවත් සිසුන් කණ්ඩායමක් විසින් පොළුවලින් පහර දී ඇති බවත් පහර කෑමෙන් පසු විභාග ශාලාවේ වාඩිවී ප්‍රශ්න පත්‍ර බලාපොරොත්තුවෙන් සිටිය දී නැවත පැමිණි සිසුන් තිදෙනකු විසින් පහරදුන් බවත් ප්‍රහාරයට ලක්වූ සිසුවා සහ ඔහුගේ දෙමාපියන් විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිළි කර ඇත. විභාග ශාලාවේ සිටි ගුරුවරුන් සහ අනෙක් සිසුන් ද මෙම සිද්ධිය දැක තිබේ.
1968 අංක 25 දරණ විභාග පනත අනුව විභාග මධ්‍යස්ථානයේ දී හෝ එම පරිශ්‍රයේ දී කලහකාරී ලෙස හැසිරීම, අන් සිසුන්ට බාධාකාරී ලෙස කටයුතු කිරීම හා පොදු දේපලවලට හානි කිරීම යන කාර්යයන්හි විභාග අපේක්ෂකයන් නිරත වන්නේ නම් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගුකිරීමට කටයුතු කරන්න යැයි විභාග ශාලාධිපතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. එසේ වුව ද මෙලෙස සිසුවකුට පහර දුන් අනෙක් සිසුන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුව නැති බව ද සනාථ වී ඇත.
එදින විභාගය අවසන් වී නිවසට ගොස් විභාගයේ ඉතිරි විෂයයන්ට ද මේ සිසුවා අපහසුවෙන් පෙනී සිටිය ද දිගින් දිගටම කනේ ඇතිවන වේදනාවක් හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේ දී එම වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ වහාම රෝහල්ගතවන ලෙසයි. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය එම සිසුවා හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර ඇත.
මේ පිළිබඳ පොලිසියෙන් කළ විමසීමක දී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි. මහින්ද විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් ගැසී අනෙක් සිසුන්ට පහර දීමේ යෙදෙන බවට දිගින් දිගටම චෝදනා එල්ලවන අතර මෙලෙස සිසුවාට පහර දී ඇත්තේ 09 කණ්ඩායම යනුවෙන් හඳුන්වාගන්නා සිසු කණ්ඩායමක් බවත් ඔවුන් පාසලේ දී විනය විරෝධී කටයුතු රැසකට චෝදනා ලැබ සිටින බවත් පාසලේ ගුරු භවතුන්ම චෝදනා කරති. මීට පෙර ද Black cats, 13 කල්ලිය වැනි කණ්ඩායම් ද පාසල තුළ විනය විරෝධීව හැසිරෙන බවට චෝදනා තිබේ.