spot_img
spot_imgspot_img

අමරදේවගේ බිරිඳ ‘විමලා අමරදේව’ දැයෙන් සමුගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකීය සංගීත ‍ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව ශූරීන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව අද (08) සවස කොළඹ ජාතික රෝහ‍ලේ දී අභාවප්‍රාප්ත වූවාය.  ඇය දින කිහිපයක් රෝහල්ගතව සිටි බව පවුලේ ඥාතීන් පවසයි.

අමරදේවගේ සංගීත කටයුතුවලට මහත් රුකුලක් වූ ඇය අමරදේව හා විවාහ වූයේ 1963 දී ය. මේ යුවළට දරුවන් තිදෙනෙකි.

ඔවුන්‍ දෙදෙනාගේ හමුවීම පිළිබඳ විමලා අමරදේව වරක් මෙසේ කීවාය.

“ඒ කාලේ ඩබ්ලිව්.ඩී.ඇල්බට් පෙරේරා කියල හඳුන්වපු මගේ මහත්තයා සංගීත ශිල්පියෙක්  විදියට ප්‍රසිද්ධයි. මම එතකෙට මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. මමත් නැටුම්වලට, ජනගී ගායනය හරිම දක්ෂයි.”

මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය ඉස්කෝලේ තිබුනු උථ්සවයකට නැටුම් අංගයක් ඉදිරිපත් කරන්න මියුසියස් විද්‍යාලයටත් ආරාධනා ලැබී තිබිණි. මේ කණ්ඩායමේ විමලා සාමාජිකාවක වූවාය. එය සංවිධානය කර තිබුණේ ප්‍රේමකුරාම එපිටවල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඇතුළු පිරිසක් විසිනි. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාට  වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යාමට අවස්ථාවක් ලැබී තිබුණු අතර ඒ වෙනුවෙන් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබිණි. ඇල්බට් පෙරේරා සංගීතවේදියා උත්සවයට එනවිට මල්මාලාව දැමීමට යුවතියක් තෝරා ගැණිනි. ඒ අවස්ථාව හිමිවූයේ විමලාටය. එදා විමලා මල්මාලාව දමා ඇල්බට් පිළිගත් අතර ඔවුන් වචනයක් දෙකක් ද කතා කළහ. පසුව ඔහුගේ රසිකාවියක වී ගුවන්විදුලියෙන් ඔහුගේ ගීත රසවින්ද විමලා වඩාත්ම ආසා කළ ගීතය වූයේ ශාන්ත මේ රෑ යාමේ ගීතයයි.

ඇල්බට් පෙරේරා ඉන්දියාවේ සිටි අතර විමලා ටවර්හෝල් නාට්‍යවල රඟපෑවාය. නැටුම් හා සංගීතය ද ඇය හැදෑරුවාය. ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවට පැමිණි ඇල්බට් පෙරේරා ජනගී අසුරින් නිර්මාණ කිහිපයක් කළ අතර ජන ගී ගායනයට ගිය විමලා සහ ඇල්බට් පෙරේරා අතර පැරණි හැඳුනුම්කම අලුත්වන්නට විය. ඒ එදා උත්සවයේ දී මල් මාලාව පැළඳි සිද්ධියේ දිගුවක් විය.

අවසානයේ මේ මිතුදම ප්‍රේමයක් බවට පත්විය. අවසානයේ දෙදෙනා විවාහ වූහ.

“මට විවාහයෙන් පස්සේ ලොකු ඉබ්බෙක් වැටුණා. මාව එයා ගෙදරම තිව්වා. එයා අම‍රදේව කියලා රට පුරාම ප්‍රසිද්ධ වුණා. මම ඉතින් සංගීතය අතහැරදමා එයා පස්සෙන්ම හිටියා.”

ආචාර්ය පණ්ඩිත් අමරදේව වැනි සංගීතඥයකු දැයට උරුමකරදීමට දරදිය ඇදි විමලා අමරදේව අද දැයෙන් සමුගත්තාය. මේ කතාව ඇය වරක් මෙරට කාන්තා පුවත්පතකට පැවසූ කතාවකි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!