රටේ ජාතියේ අනාගත භාර කරුවා වන්න් දරුවාය. මේ දරුවෝ මනා පෞරුෂත්වයකින් හා යහපත් මානසික තත්ත්වයකින් පසුවන්නේ නම් රටේ යහපතට එය ද විශාල රුකුලක් වනු ඇත.
අද දවසේ දරුවෙන් හෙවත් හෙට දවසේ රට කරවන පුරවැසියන්ගේ අනාගත ස්වභාවය තීරණය කරන්නේ ඔවුන් ළදරු වියේ දී ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු රැකවරණය සපයන දෙමාපියන් විසිනි.
මනෝ වෛද්‍යවරුන් පවසන්නේ දරුවන්ට කතා කරන ආකාරය, ඔවුන්ට සවන් දෙන ආකාරය පමණක් නොව ඔවුන් රැකබලා ගන්නා ආකාරයත්, ඔවුන් සමඟ අදහස් බෙදා හදාගන්නා ආකාරයත් දරුවන්ගේ අනාගත පෞරුෂය හා මානසිකත්වය ගොඩනැගීමට බෙහෙවින් බලපාන බවයි.
නමුත් ඇතැම් දෙමාපියෝ මෙවැනි කරුණු නොතකා කටයුතු කරති. පසුගිය දිනවල යාපනයේ පදිංචි මවක් තම 09 හැවිරිදි බිළිඳු දරුවාට කෝටුවකින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එහි ප්‍රතිඵලය වූයේ එම මව අත්අඩංගුවට ගෙන දරුවා පොලිස් භාරයට ගැනීමයි.
මේ පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකරන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ පවසයි.
“මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. දෙමාපියන් දරුවන්ට ඔවුන්ගේ ළදරු කාලයේ සිට දෙමාපිය රැකවරණය මත සිටින කාලයේ දී සළකණ ආකාරය ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය මත ළමා කාලයේ ලැබෙන අත්දැකීම් මත තමයි ඒ දරුවා වැඩිහිටියෙක් වුණාට පස්සේ සතුටින්, ආත්ම විශ්වාසයෙන් ඉන්න කෙනෙක් ද , සමාජ විරෝධී කටයුතු කරන සහ දුක්ඛ දෝමනස්සයෙන් ඉන්න කෙකේද කියා තීරණය වෙන්නේ. මෙහි දී විශේෂයෙන් ම වැදගත් වෙන්නේ අම්මා සහ දරුවා අතර තිබෙන සම්බන්ධය. මොක ද උපතේ පටන්ම ඕනෑම දරුවෙකුට සමීපත ම වැඩිහිටියා වන්නේ අම්මා. මේ සම්බන්ධය දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය වෙනවා.”
වෛද්‍යවරයා පවසන්නේ දෙමාපියන් දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සළකන විට, දරුවන්ගේ ගැටළු නිරාකරණය කිරීමට සහය වන්නේ නම්, ඔවුන් සමඟ ආදරයෙන් කරුණාවෙන් අත්දැකීම් හා අවශ්‍යතා බෙදා හදාගන්නට පුරුදු වන්නේ නම් සහ දරුවන් සමඟ නිරන්තර යහපත් සම්බන්ධයක් තබා ගනිමින් ඔවුන්ට නිසි මඟ පෙන්වීම කරන්නේ නම් එවැනි දරුවන් වැඩිහිටි වියට පත්වූ විට සමාජයය භියක් නොදක්වන බවයි. එමෙන් කලබලයකින් තොරව නොසැළී කටයුතු කරන පිරිසක් බවට ඔවුන් නිරායාසයෙන් ම පත්වන බවත් හොඳ පෞරුෂයකින් හා යහපත් මානසිකත්වයකින් පසුවන බවත් වෛද්‍ය රූමි රූබන් පවසයි.
එසේ වුව ද තවත් දෙමාපියන් පිරිසක් දරුවන්ට කොතරම් ආදරය කරුණාව දැක්වුවත් දරුවන් ගණන් නොගෙන ඔවුන් නොතකාහැර කටයුතු කරන බවත්, දරුවන්ගේ අවශ්‍යතාවන් සොයා බලන්නේ තමන්ට අවශ්‍ය අවස්ථාවක දී පමණක් බවත් වෛද්‍යවරයා පෙන්වාදෙයි. දෙමාපියන් එසේ කරන්නේ තම රැකියාවල කටයුතු හා කාර්යබහුලත්වය නිසා මිස දරුවන්ට අනාදරයෙන් නොවන්නේ වුව ද එවැනි දරුවන්ට ලැබෙන ආදර ස්ථාවර නොවීම දරුවන්ගේ අනාගතයට අහිතරක ලෙස බලපාන බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. එම දරුවන් නිතර දුකින් පසවන බවත් ආදරය අවශ්‍ය අවස්ථාවල දී නොලැබීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට අහිතකර බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
එමෙන්ම තවත් දරුවන් කොටසකට දෙමාපියන්ගේ ආදරය ලැබෙන්නේ ම නැත. ඔවුන් කායික හා මානසික හිරිහැරවලට ලක්වෙයි. එවැනි දරුවන් ද දුර්වල පෞරුෂයක් සහිතව වැඩිහිටියන් බවට පත්වීම දක්නට ලැබෙන්නකි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දෙමාපියන් දරුවන්ට හිරිහැර කිරීමට විවිධ හේතු බලපාන බවයි. ඔහු ඒ ගැන මෙසේ විස්තර කළේය.
“ඇතැම් දෙමාපියන් දරුවන්ව කායික හා මානසිකව පීඩාවට පත්කරනවා. මේ යාපනයේ දී අත්අංගුවට ගත් තරුණ මව තමන්ගේ ම දරුවාට දැඩි ශාරීරික පීඩාවක් එල්ල කරනවා. දෙමාපියන් දරුවන්ට මේ විදියට හිරිහැර කරන්න විවිධ හේතු බලපානවා. ඇතැම් අවස්ථාවල දී දරුවන්ගේ කලහකාරී ස්වභාවය, හිතුවක්කාරී හ ආවේගශීලී බව බලපානවා. ඇතැම් දරුවන් ඉන්නවා මවට පවා දරුවා බලා ගැනීම අමාරුයි. මේ වගේ තත්ත්වයන් වලදීත් දෙමාපියන් පීඩාවට පත්වී එය දරුවන් මත කුරිරු ලෙස මුදාහරිනවා. දරුවා පාලනය කිරීම සඳහා ඇතැම් දෙමාපියන් දරුවාට දඬුවම් කරනවා. කාලයක් ගියාම දරුවාට මෙය සාමාන්‍ය දෙයක් වූ විට දරුවා දිගින් දිගටම කළහකාරී වනවා. දෙමාපියන් ද තවත් දරුණු වෙනවා. නමුත් මේ දරුවා මාස 09 වැනි කුඩා දරුවෙක් නිසා දරුවාගේ හිතුවක්කාරකම හෝ අවේගශීලී බව මෙයට හේතුවූවා යැයි කියන්න බැහැ. මෙම සිද්ධියේ දී නම් අපට පෙනෙන්නේ මේ මව දැඩි පීඩනයකින් සිටීම නිසා එය දරුවාගෙන් පිටකරනවා කියා. මවට ආර්ථික ප්‍රශ්න තිබෙන විට එය දරුවා පිටින් යවනවා. නැතිනම් වෙනත් සම්බන්ධතාවක් ඇති කෙනෙකු දරුවන් වදයක් වෙනවා. තමන්ට ඇති කායික හා මානසික පීඩාව මුදා හරින්නේ කිසිම දෙයක් නොදන්නා දරුවාට. මෙහි දී පොලිසිය කියන තොරතුරු අනුව අනාවරණය වන්නේ මේ මවට දැඩි ආර්ථික ගැටලුවක් තිබෙනවා කියා. ඒ පීඩනය තම දරුවා මතට යොමු කර තිබෙනවා. එවැනි මව්වරුන්ට තම දරුවාගේ අවශ්‍යතා තේරුම්ගත නොහැකි. දරුවාට සවන් දෙන්නේ නැහැ. දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්නේ නැහැ. ඒ වගේම අම්මා දරුවාට පහර දෙන විට තාත්තා එයට එපා කියනවා. නමුත් තාත්තා සමඟ ඇති ආරවුලටත් දරුවාට මව පහර දෙනවා. මේ සියල්ල හෝ මේ එක් දෙයක් හෝ වෙන්න පුළුවන්. මොන දේ වුණත් පීඩාවට පත්වෙන්නේ දරුවන්. ඇතැම් අවස්ථාවල දී දෙමාපියන්ට තිබෙන මානසික රෝග නිසාත් මේ ආකාරයෙන් තමන්ගේම දරුවන්ට අමානුෂික ලෙස සළකනවා.”
විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ දෙමාපියන්ට ඇති විශාදිය වැනි මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් ද මෙවැන්නක් සිදුවිය හැකි බවයි. එවැනි රෝගයක් ඇති විට නිතර කෝපයට පත්වන බවත්, එවැනි මව්වරු තම ජීවිතයට පවා ඇල්මක් නොදක්වන බැවින් දරුවා කරදරයක් ලෙස සැළකීමට පුරුදුන බවත් එවැනි අවස්ථාවක දී දරුවාට අමානුෂික ලෙස පහරදීම එවැනි මව්වරුන් නිරායාසයෙන් ම සිදුකරන දෙයක් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
නිසි ආදරය නොලැබෙන දරුවන් දුර්වල පෞරුෂ ඇති පුද්ගලයන් බවට පත්වන අතරම කුඩා වියේදීම ඇතැම් විට තමන් නොදන්නා වැඩිහිටියන් ඇසුරුකිරීමෙන් ආදරය, රැකවරණය ලබාගැනීමට පෙළෙඹීමෙන් බොහෝ විට මත්ද්‍රව්‍ය වැනි අපචාර ක්‍රියා පමණක් නොව පාතාල ක්‍රියාකාකම්වලට පවා පෙළෙඹෙන තත්ත්වයක් ඇති බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. ගැහැනු ළමයින් ද වෙනත් අයගේ ආදරය සොයා යාමෙන් ජීවිතය අතරමග විනාශ කරගන්නා අවස්ථා ද දක්නට ලැබෙයි.
දරුවන් මේ ආකාරයෙන් පීඩාවට ලක්වීම නිසා දීර්ඝකාලීන අහිතකර ප්‍රතිඵල අත්විය හැකියි. ඔවුන්ටත් විශාදය වැනි රෝග අනාගතයේ දී ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ අයගේ පෞරුෂ ආබාධ, ආවේගශීලී හැඟීම් පාලනය කිරීමට නොහැකි වීම වගේ ගැටලු දිගින් දිගටම තිබිය හැකියි. එමෙන්ම ඔවුන් නිතර නිතර වැඩිහිටියන්ට භියක් දක්වනවා. ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. නින්ද නොයාම, මානසික ගැටලු ආදිය ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ම අධ්‍යාපනය දුර්වල වෙනවා.”
දෙමාපියන් යනු දරුවන්ගේ එකම ලෝකයයි. තම මව පියා තමන්ට ආදරය නොකරන විට මේ දරුවන් පත්වන පීඩාකාරී මානසික්තවය සමස්ත සමාජයම තේරුම්ගත යුතුය. කිසිවක් නොදැන කිසිම වරදක් නොකර මේ ලෝකයට බිහිවන දරුවකු තමන් බිහිකළ මව හෝ පියා හමුවේ ම කෲරත්වයට පත්වන්නේ නම් ඔවුන් කර ඇති වරද කුමක් ද ? කිසිදු වරදක් නොකළ දරුවන් වෙත පීඩනය මුදාහැරීම තුළින් විනාශ වී යන්නේ අනාගත සමාජයයි.
විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙවැනි දෙමාපියන් හඳුනාගත හැකි බවයි. ඔවුන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවාවන් වෙත යොමුකිරීමෙන් සුවපත් කළ හැකි බවත් දරුවන්ට ආදරය කරන දරුවන් යහපත් ලෙස රැකබලාගන්නා දෙමාපියන් බවට පත්කළ හැකි බවත් ඔහු පවසයි.
එසේනම් මෙවැනි දෙමාපියන් පිළිබඳ විමසිලිමත් වී ඔවුන් යහමගට ගැනීම සඳහා කටයුතු කිරීම අප සැමගේ යුතුකම හා වගකීම ද වෙයි.
(සජීව විජේවීර)