පළාත් සභා මැතිවරණය මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට අවකාශයක් නොලැබෙනු ඇතැයි නීතිවේදීහු ප්‍රකාශ කරති.
1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් 2017 වර්ෂයේ දී ගෙන ආ මිශ්‍ර නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විමට නම් යළලි සීමා නිර්ණය කටයුතු සිදුකර වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බැවින් මේ වසරේ ජුනි වන විට පලාත් සභා මැතිවරණය පැවැත්විම අවිනිශ්චිත බව නීතිවේදීහු පෙන්වා දෙති.
පසුගිය රජය ගෙනා ආදළ සංශෝධිත පනත ප්‍රකාරව සීමා නිර්ණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයවීමෙන් පසු එම කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත්කළ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු සමාලෝචන කමිටුව සිය වාර්තාව ඉදිරිපත් නොකිරීමත් නිසා නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණනය පැවැත්වීම නම් මෙලෙස නැවත සීමා නිර්ණය කිරීමට සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ මේ නීතිමය ගැටලුව විසඳාගැනීම සඳහා රජයට විකල්ප දෙකක් ඇති බවයි. අදාළ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධිත පන ඉවත්කර ගැනීමට කටයුතු කළහොත් පැරණි මැතිවරණ නීතිය යළි බලාත්මක වන බවත් නැත්නම් එම නව පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විධිවිධාන සකස් කරන තෙක් පැරණි මැතිවරණ නීතිය තාවකාලිකව බලාත්මක කළ හැකි බවත් හෙතෙම පවසයි.
පළාත් සභා ඡන්ද විමසීම් පනතට 2017 වර්ෂයේ දී ගෙනා සංශෝධිත පනත අනුව පළාත් සභා සඳහා සමානුපාතික හා කොට්ඨාස ක්‍රම දෙකෙන් සමන්විත මිශ්‍ර නියෝජන ක්‍රමයක් හඳුන්වාදුන් අතර ඒ අනුව සියයට පනහ බැගින් එම නියෝජන ක්‍රම දෙක යටතේ මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට විධිවිධාන සළසා ඇත.