රූමස්සල අභයභූමි ප්‍රේරණ කලාපයේ මාර්ගයක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ස්ථානයෙන් ශ්‍රී ලංකාවට ආවේණික හා වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බවට රතු දත්ත පොතට ඇතුළත්ව සිටින උඩහඳයා නැතිනම් ඉරිහඳයා නමැති මිරිදිය මත්ස්‍ය විශේෂය හමුවී ඇතැයි පරිසරවේදීහු කියති.
එම මත්ස්‍ය විශේෂය සත්ත්ව විද්‍යාත්මකව Aplocheilus werneri ලෙස හඳුන්වයි. සෙන්ටි මීටර 07ක් පමණ දික්ව වර්ධනය වන මොවුන්ගේ ස්වභාවික වාසස්ථාන වන්නේ කුඩා, නොගැඹුුරු, සෙමෙන් ජලය ගලාබසින් ඇළ මාර්ග සහ තද සෙවණ සහිත රොන්මඩ හෝ මැටි උපස්ථරයක් සහිත කුඩා ජලාශ වෙයි.
රූමස්සල ආන්දෝලනාත්මක මාර්ගය ඉදිකරන බව පැවසෙන ස්ථානය හරහා ගලා බසින කුඩා ඇළ මාර්ගයේ සහ එම ජලය ගොස් එකතුවන පීල්ල නමින් හඳුන්වන දිය වළෙහි මේ මත්ස්‍ය විශේෂය දක්නට ලැබෙයි.
මෙම පරිසර පද්ධතිය වඩාත් සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනය ලක්ව ඇති උඩහඳයන් මුහුද ආසන්නයෙන් ම වාර්තාවන ස්ථානය මෙම ස්ථානය වීමයි. එම දියවළ රූමස්සල අභයභූමි සීමාව ඇතුළත පිහිටා ඇති අතර ඊට මීටර කිහිපයක් ඈතින් අභයභූමියේ ගොඩබිම් මායිම පිහිටයි. මෙම මායිමේ සිට වනජීවී ප්‍රේරණ කලාපය මීටර 100ක් දක්වා තිබිය යුතු වුව ද මායිම ආසන්නයෙන් ම මාර්ගය ඉදිකිරීමට යෝජිතය.
එම මාර්ගය ඉදිකළ හොත් මාර්ගය ගමන් ගන්නේ උඩ හඳයන් ජීවත්වන එම දියවළට ජලය සපයන කුඩා ඇළ මාර්ගය හරහා බැවින් උඩහඳයාගේ මුහුද ආසන්නයෙන්ම ඇති සුවිශේෂී වාසස්ථානය විනාශ වී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

