ගමන් බෑගයක දැමූ හිස නැති කාන්තා මළ සිරුරක් ලක්ෂ ගණනක් මිනිසුන් ගැවසෙන කොළඹ නගරයට ගෙනවිත් දැමූ පුද්ගලයා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව කියන පුවත මේ වනවිට සියලු දෙනා දන්නා කරුණකි. මේ සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනකු විවිධ මත පළ කරති.
කාන්තාවක් ඝාතනය කර සියදිවි නසාගත් බව කියන පොලිස් නිලධාරියා ගැන මෙන්ම විවාහක ඔහු සමඟ පෙම් සම්බන්ධතාවක් පැවැත්වූ මියගිය කාන්තාව ගැන ද ලියවෙන හා කියැවෙන කතා බොහොමයකි.
rata.lk අප උත්සාහ ගන්නේ මේ කතාන්තරවලට පොහොර දැමීමට හෝ ඒවා ප්‍රචාරය කිරීමට නොව මෙවැනි සිදුවීම්වලට හේතුවන කරුණු කාරණා පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමයි.
ඊට පෙර අප කරුණු දෙකක් කෙරෙහි පාඨක ඔබේ අවධානය යොමු කරන්නෙමු. තම පෙම්වතියට ත්‍යාගයක් රැගෙන දීමට ඉඩ නොදුන් බැවින් මව ඝාතනය කළා යැයි සැකකරපු පුත්‍රයකු සමාජය විසින් වරදකරු කළේය. ටික කාලයකින් හෙළි වූයේ මේ මවගේ ඝාතකයා ඒ පුත්‍රාය නොවන බවයි. පුතා හඬා වැළපෙමින් තමන් අම්මා මැරුවේ නැතැයි කීව ද කිසිවෙකු එදා එය පිළිගත්තේ නැත. පුතා වරදකරු කළේය.
සේයා ඝාතනය ද පාඨක ඔබට අමතක නොවී ඇතැයි අපි සිතන්නෙමු. සේයා ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවකුගේ පරිඝනකයේ අසභ්‍ය දර්ශන තිබූ බවත් ඔහු සේයා මරා දැමූ බවට පාපොච්ඡාරණය කළ බවත් කියමින් ඔහු සමස්ත සමාජයක් හමුවේ වරදකරු විය. පසුව ඒ සිසුවා නිවැරදිකරු කියා කොණ්ඩයෙක් අල්ලා ගත්තේය. ටික දිනකින් කොණ්ඩයාද සේයා දැරිය ඝාතනය නොකළා යැයි කියැවිණි. නමුත් කොණ්ඩයා ද වරදකරු යැයි සමාජයේ බොහෝ දෙනකු අදට ද කියති.
මේ නිසා අපි බෑගයේ තිබූ කාන්තා මළ සිරුර හෝ එහි ඝාතකයා ගැන හෝ එල්ලී මියගොස් සිටිය දී සොයාගත් පොලිස් නිලධාරීයා ගැන හෝ කතාන්තර කියන්නට යන්නේ නැත. එය අනාගතයේ සිදුවන වැඩිදුර පරීක්ෂණ හා අධිකරණ ක්රියාදාමයකින් තීරණය කළ යුතු කාර්යයකි. එය අපේ කාර්යයක් නොවේ.
නමුත් මෙවැනි ඝාතකයන් බිහිවන්නේ ඇයි. එවැනි ඝාතකයන් බිහිවිය හැකි ද ? එවැනි අය හැසිරෙන්නේ හා ඔවුන්ගේ ජීවිතය පොලිස් නිලධාරියාගේ ජීවිතය කෙළවර වූ ආකාරයෙන් කෙළවර විය හැකි ද ? යන්න අපි විග්රහ කළ යුතුය.
මේ සම්බන්ධයෙන් rata.lk සමඟ අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ කීවේය.
“ඇතැම් පිරිමි තම ආදරවන්තියන් මරා දැමීමට පෙළඹෙනවා. මේ සඳහා මානසික කාරණා විශාල ගණනක් බලපානවා ඇතැම් විට ඒ හේතු අතරින් කිහිපයක්, නැතිනම් දෙක තුනක් හෝ එක් හේතුවක් පමණක් නිසා ඝාතනය සිදුකරන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් ම මෙහි දී බලපාන්නේ පුරුෂාධිපත්‍යය. පිරිමියා සිතනවා තමන් තමයි ආධිපත්‍යය පතුරුවන පුද්ගලයා කියා. ඔහු කාන්තාව මත තම බලය පතුරුවනවා. සියලුම කාරණාවල දී කාන්තාව යටපත්කරගෙන ඉන්න අතර කාන්තාවට කිසිම අවස්ථාවකදී මතුවන්නට ඉඩ දෙන්නේ නැහැ. නැතිනම් ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. පිරිමියා සිතන්නේ සියලු ගෞරවය තමන්ට හිමිවිය යුතුයි කියලා. කාන්තාවට සළකන්නේ මෙහෙකාරියකට වගේ. කාන්තාව මීට එරෙහි වන ඕනෑම සුළු කාරණාවක දි වුවත් තරහ සහ වෛරය ඇතිකරගන්නවා. මේ තරහ සහ වෛරය ඝාතනයක් දක්වා දුරදිග යා හැකියි. ඒ වගේ ම ලිංගික ඊර්ෂ්‍යාවත් බලපානවා. තමන් ආදරය කරන විශේෂයේන ම තමන්ගේ බිරිඳ නොවූ වෙනත් කාන්තාවන්ට ආදරය කරන පිරිමි නිතරම ඒ කාන්තාවන් වෙනත් අය සමඟ සම්බන්ධතා පවත්වනවා යැයි නිතර සැකයෙන් සිටිනවා. ඒ වගේම සම්බන්ධතා පවත්වනවාට කැමති නැහැ. මේ ලිංගික ඊර්ෂ්‍යාව වගේ ම අධික මත්පැන් භාවිතයත් මීට හේතුවනවා.
ඒ වගේ ම අපි දන්නවා ඇතැම් පිරිමි තුළ ස්වභාවයෙන් ම දරදඬු හා කලහකාරී අදහස් තිබෙනවා. එවැනි අයත් ඕනෑම මොහොතක ඝාතනයකට යොමුවිය හැකියි. ඇතැම් අය ආදරය කරනවා කියා ඕනෑම දරුණු ක්‍රියාවක් මේ ආදරය කියන අකුරු හතරට ලඝු කරලා ඒක සාධාරණය කරන්න උත්සාහ ගන්නවා. මෙය ගැටලුකාරී මානසික තත්ත්වයක්.
මේ වගේ පිරිමි විවිධ සමාජ විරෝධී පෞරුෂත්ව ලක්ෂණ තිබෙන අය. ඇතැම් පුද්ගලයන් තම ශරීරය හා එහි මාංශ පේෂී හැඩය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම ඇතැම් අය අසාමාන්‍ය හා විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙනවා. එවැනි අය තමන් ශක්තිමත් යැයි පෙන්වීමට උත්සාහ ගත්ත්ත කාන්තාවන් මත යැපෙන දුර්වල පෞරුෂයක් සහිත පුද්ගලයන් විය හැකියි. ඒ වගේ අය හිතන්නේ තමන් ආදරය කරන නැතිනම් තමන් සමීපව ඇසුරු කරන කාන්තාව තමන් හැර ගියොත් තමන්ට ජීවිතයක් නැහැ කියා. ඒ නිසා එවැනි කාන්තාවක් තමන්ට අහිමිවීමට පෙර මරා දැමිය යුතුයි කියා එවැනි පිරිමි අය සිතනවා.”
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ සැබෑ ආදරය තුළ කිසිම හේතුවක් නිසා හිංසාව නොතිබිය යුතු බවයි. එවැනි යුවළක් එකිනෙකා හා නොගැලපේනම් වෙන්වීම හැර එකිනෙකාට වද දෙමින් වෛර කරමින්, ගහ බැන ගනිමින් ජීවත් වීම සුදුසු නැති බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි. වද දීම අවසානයේ සියල්ල විනාශ කරමින් ජීවිත පවා විනාශ වී යා හැකි බවත් නීත්‍යානුකූල විවාහයට පරිභාහිර සම්බන්ධතාවලට මඟ පෑදෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍ය රූබන් වැඩිදුරටත් කියා සිටියේ මහ මඟ දමා ගිය බෑගයේ තිබූ හිස නොමැති කාන්තාවගේ සැබෑ ඝාතකයා ගෙල වැළලාගෙන මියගිය පොලිස් නිලධාරියා නම් ඔහු මනසින් දුර්වලව සිටි පුද්ගලයකු බවයි.
මාංශ පේෂි හොඳින් වර්ධනය කරගත් ශක්තිමත් සිරුරකින් හෙඹි ඡායාරූප ඔහු විසින් සමාජ මාධ්‍යවල පවා පළකර තිබුණ ද ඔහු ඉහත විග්රහ කළ ආකාරයේ මනසින් දුර්වල පුද්ගලයකු බව මේ ඝාතනයෙන් සහ සියදිවි නසාගැනීනේ තහවුරු වී ඇත.
වෛද්‍යවරයා පවසන්නේ එවැනි පුද්ගලයන් සිතන්නේ තමන්ට මේ ලෝකයේ සිටින්නේ ඇය විතරක් බවයි. එවැනි පුද්ගලයකුගේ සුළු වෙනස්වීමෙන් ජීවිතයට මුහුණ දීමට පවා ශක්තියක් නොමැති අයකු සියල්ල අහිමිවූවා යන ඉච්ඡාභංගත්වයට පත්වීමත් සමඟම ප්රචණ්ඩත්වය මුදා හැර තම මනසේ ඇති දුර්වලතාව හේතුවෙන් ම සියදිවි නසාගන්නා බවත් මනෝ විද්‍යාවේ දී මනාව පැහැදිලි කර තිබේ.
විශේෂඥ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි පුද්ගලන්ගේ හැසිරීම් අනුව ඔවුන් හඳුනාගත හැකි බවයි. එලෙස හඳුනාගෙන මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා උපදේශන සේවා ලබාදීමෙන් වෙනත් පුද්ගලයන් ඝාතනයට ඔවුන් පෙළඹවීමෙන් වළක්වාගැනීම හා සියදිවි නසාගැනීමෙන් වළක්වාගැනීමට හැකි බවයි.
නමුත් අවාසනාව වන්නේ අප ශ්‍රී ලාංකීය සමාජය තුළ එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාදාමයන් හෝ සමාජයේ අනෙක් පුද්ගලයන්ට ඒ පිළිබඳ දැනුම්වත් භාවයක් හෝ නොමැති වීමයි. එබැවින් මෙවැනි ඝාතන සිදුකරන හා එසේ ඝාතනය කර තමන් ද සියදිවි නසාගන්නා පුද්ගලයන් සමාජයේ කොතෙකුත් සිටිය හැකි බවත් එවැනි පුද්ගලයන්ට නොදැන ආදරය කරමින් සිටින අය දැඩි අවධානමක පසුවන බවත් මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති.
ආදරය ඇත්තේ මසෙහි නොව මනසේ බව සමස්ත සමාජය ම තේරුම්ගත යුතු කරුණකි.