ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති ඉතා දුර්ලභ ආකාශලතා නමැති ඕකීඩ් විශේෂයේ ශාකයක් රූමස්සලින් හමුවී තිබේ. උද්භිද විද්‍යාත්මකව වැනිලා වෝකරිඒ Vanilla walkeriae ලෙස හඳුන්වන මෙම ශාඛය මීට පෙර හමුවී තිබුණේ වියළි කලාපයෙන් පමණි. මෙම ශාකය තෙත් කලාපයෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව වන්නේ රූමස්සලින් හමුවීම බව ද පරිසරවේදී අජන්ත පලිහවඩන පවසයි.
අජන්ත පලිහවඩන විසින් මේ ශාකය සොයාගෙන ඇති අතර වැනිලා වර්ගයේ උඩවැඩියා විශේෂයක් වන මෙය පත්‍ර රහිත වැලක් ලෙස වැඩෙන් විශේෂයකි. වෙනත් ශාකවල එතෙමින් ඉහළට වැඩෙන ආකාශලතා ඉතා කලාතුරකින් මල් පිපෙන ශාක විශේෂයක් වීම හේතුවෙන් සොයා ගැනීම ද අපහසු බව අජන්ත පලිහවඩන පවසයි.
එක් ශාකයක මල් කිනිත්තක් හටගන්නා අතර ඉන් එක් දිනක දී එක් මලක් බැගින් පීපී පරවී යයි. ඉතා අලංකාර සුදු පැහැති මෙම පුෂ්ප ශාකයේ ඉහළින්ම හටගන්නා බැවින් ආකාශලතා ලෙස හඳුන්වයි. රාත්‍රී දොළහ පසවන විට පිපීම ආරම්භවන මෙම පුෂ්ප උදෑසන 9.00 පමණ වනවිට සම්පූර්ණයෙන් ම පිපී දහවල් 2.00 පමණ වනවිට පරවී යයි.
මෙවන් අතිශය දුර්ලභ පලෑටි සහිත රූමස්සල වනාන්තරය මැදින් අඩි 40ක මාරගයක් තැනීමට හබරාදුව ප්‍රාදේශීය සභාව පිඹුරුපත් සකස් කරමින් සිටින අතර ඒ සඳහා හෝටල් හිමියන්ගේ සංගමයක් විසින් ඉල්ලුම් කර ඇති බව ද පවසයි.