spot_img
spot_imgspot_img

හදවත් සැත්කම් කරන මෙරට එකම වෛද්‍යවරිය. එක්ම‍ෝ ප්‍රතිකාර හඳුන්වාදුන්නේත් ඇයයි.

පුවත්

විදෙස්

මනෝ වෛද්‍යවරයකු වූ හෙතෙම බුදු දහම පිළිබඳ අප්‍රමාණ වූ දැනුමකින් යුතු මහා විද්වතකු වූවේය.

මෙරට දහස් ගණනක් ජීවිත යහපත් කරන්නට වෙහෙසුණු ඔහු ගැටලුවකට මැදිව සිටියේය.

ඒ තම බිරිඳ දෙවැනි දරුවා බිහිකළ අවස්ථාවේ ඇයට නමක් තැබීමයි. වේලපත්කඩය සැකසූ අය කියා සිටියේ “ටෝ” අකුරෙන් ආරම්භවන නමක් දීර්ඝ අක්ෂර තුනක් සහිතව තැබිය යුතු බවයි.

දකුණු ඇමෙරිකාවේ කොලොම්බියා, පේරු සහ වෙනිසියුවේලා ප්‍රදේශවල දැකිය හැකි ටෝළූ නම් අලංකාර පුෂ්පයක් ඇති බව ඔහුට දැනගන්නට ලබුණේ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයෙනි. එම පුෂ්පය ලෝකයේ ඉතා මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයටත් ඖෂධ නිෂ්පාදනයටත් යොදාගන්නා බව දැනගත් මේ වෛද්‍යවරයා “ටෝළූ” මල වැනි යැයි අර්ථය ඇතිව “ටෝළූෂා” යනුවෙන් තම කුඩා දියණියට නම් තැබුවේය.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර

ඇය දැන් තම පියාණන් අපේක්ෂා කළ ආකාරයෙන් ම දසත සුවඳ විහිදුවන පුෂ්පයක් වී මෙරට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කරන කාන්තාවක බවට පත්ව සිටින්නීය. ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරිය ලෙස සේවය කරන ටෝළූෂා හරිශ්චන්ද්‍ර මහත්මියයි.

ඇය ශ්‍රී ලංකාවේ එකම හෘද ශල්‍ය වෛද්‍යවරිය ද වෙයි. හෘද ශල්‍ය වෛද්‍යවරුන් මෙරට සිටිය ද ඇය හැර වෙනත් කිසිදු කාන්තාවක් හදවත් සැත්කම් කරන්නේ නැත.

ඇගේ පියා අන් කවරකුවත් නොව මෙරට ජන හදවත් දිනාගත් මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට මහඟු සේවයක් කරමින්, බුදු දහමේ ගැඹුරු අර්ථය ජන විඥානය තුළට කාවැද්දවීමටත් කටයුතු කළ විශේෂඡ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතාය.

“මගේ තාත්තා වෛද්‍යවරයකු වීම මට මේ වෘත්තියට පිවිසෙන්න පළමු හේතුව වුණා. තාත්තා මනෝ වෛද්‍යවරයෙක් වුණාට මට අවශ්‍ය වුණේ ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න. තාත්තත් නිතරම කියපු දෙයක් තමයි ශල්‍යකර්ම කරනවා කියන එක ඉතාමත් සියුම් සහ ඉවසිල්ලෙන් කරන්න අවශ්‍ය දෙයක් නිසා මට ශල්‍යකර්ම කිරීමේ හැකියාව තියෙනවා කියලා. මම පොඩි කාලේ ඉදලාම සියුම් වැඩ කරන්න කැමැත්තක් සහ දක්ෂතාවක් දැක්වූවා. නමුත් මා ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න තීරණය කළේ මනෝ විද්‍යාවට වඩා ශල්‍යකර්මවලට වැඩි කැමැත්තක් තිබූ නිසා.”

ඇය තම ඉලක්කය අතිශය සාර්ථක ලෙස ජයගෙන තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතාට දාව පද්මා හරිශ්චන්ද්‍ර මහත්මියගේ කුසින් මෙළොව එළිය දුටු දියණියන් තිදෙනෙකි. ඒ අතරින් මද්දුමයා ටෝළූෂා ය. වැඩිමහල් සොයුරිය රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීස භාෂව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්ය නේෂාන්තා හරිශ්චන්ද්‍රයි. නැගණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන්නීය. නවෝදා හරිශ්චන්ද්‍ර නම් වන  ඇය තම පියාගේ අඩිපාරේ ගමන් කරමින් විශේෂඥ මෙනෝ වෛද්‍යවරියක බවට පත්වීමේ අපේක්ෂාවෙන් සිටී.

කුඩා කාලයේ දී තම පියා සමඟ

ටෝළූෂා උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු වූ රංජිත් ජයවීර මහතා සමඟ විවාහ වී මේ වනවිට ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටියි.

“මම මුලින්ම පාසල් ගියේ ස්කොට්ලන්තයේ. තාත්තා විදේශගතව සිටි නිසා වසර තුනක් එහි පාසල් ගිහිල්ලා පසුව තුන්වැනි ශේණියේ සිට උසස් පෙළ දක්වා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. 1987 දී සංඝමිත්තා විද්‍යාලයෙන් ජීව විද්‍ය අංශයෙන් ඒ සමාර්ථ හතරක් සහිතව උසස් පෙළ සමත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ගාල්ලේ සිසුවියක් ජීව විද්‍යා අංශයෙන් ඒ හතරක් ගත්තු පළමු වතාව. නමුත් රටේ තිබූ කලබලකාරී වාතාවරණය නිසා මට මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ රැකියාව කරන්න අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භවන තුරු. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා යටතේ සේවය කළ ඒ කාලයේ දී පර්යේෂණ කටයුතුවලට දායක වෙන්න ලැබීම මගේ ජීවිතයට ඉතා විශාල ශක්තියක් ලෙස මම අදටත් සළකනවා.” යැයි විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ටෝළූෂා හරිශ්චන්ද්‍ර සිය මව සමඟ

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවිද්‍යාව හදාරා ගාල්ලට පැමිණෙන ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේද අංශයට එක්වන්න් ශල්‍යකර්ම සිදුකිරීමට තමන්ට තිබූ ආශාව හේතුවෙනි. ඇගේ සැමියා රංජිත් ජයවීරද මේ කණ්ඩායමේ සිටියේය. දෙදෙනාම සැත්කම් සඳහා අවශ්‍ය පුහුණුව ලැබූ අතර ක්‍රමයෙන් ටෝළූෂා හෘද සැත්කම් ක්ෂේත්‍රයටත් රංජිත් උගුර, කන හා නාසය පිළිබඳ සැත්කම් අංශයටත් යොමු වූහ. දැන් ඔවුන් දෙදෙනා එක් වහළක් යටට වී සිටින්නේ තම තමන් විසින් තෝරාගත් ක්ෂේත්‍රයන්හි ඉදිරියට ගමන් කරමිනි.

වෛද්‍ය ටෝළූෂා තම සැමියා සමඟ 2004 වර්ෂයේ දී පශ්චාත් උපාධිය අවසන් කර

ටෝළූෂා ශල්‍ය වෛද්‍යවරියක බවට පත්වන්නේ සැත්කම් සිදුකිරීමේ පුහුණුව ලැබීමේ දී රන් සම්මානයක් පවා දිනා ගනිමිනි. එලෙස සුවිශේෂී දස්කම් දක්වමින් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුව හෘද ශල්‍ය වෛද්‍යවරියක ලෙස පුහුණුව ලැබුවාය. මේ පුහුණුව ලබන කාලයේ දී ගාල්ල, කොළඹ, මහනුවර හා බදුල්ල රෝහල්වල ඇය සේවය කළාය.

විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරියක වීම සඳහා දැඩි කැපවීමකින් යුතුව පුහුණුවූ  ඇය විදෙස් පුහුණුව සඳහා තෝරගාත්තේ එංගලන්තයේ ග්ලෙන්‍ෆීල්ඩ් ශික්ෂණ රෝහලයි. එහි දී ඇගේ ගුරුවරයා වූ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය රිචර්ඩ් ෆර්මින් මහතා බ්‍රිතාන්‍යයේ ඇති විශාලතම හා වඩාත් දියුණුතම එක්මෝ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූයේය. හෘද සැත්කම් පිළිබඳ පුහුණුවට අමතරව වෛද්‍ය ටෝළූෂාට එක්මෝ යන්ත්‍ර භාවිතයෙන් කරනු ලබන සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ද පුහුණුවක් ලැබිණි. ඉන් නොනැවතුණු ඇය එක්මෝ ප්‍රතිකාර කිරීමට සිදුවන රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පවත්වා එය ප්‍රකාශ්‍යට පත්කළාය.

“මම එක්මෝ සම්බන්ධයෙන් කළ පර්යේෂණය දැකපු මහාචාර්ය ෆර්මින් මහතා මට කිව්වා එය පශ්චාත් උපාධි පර්යේෂණයක් බවට පත්කරන්න කියලා. මා පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවෙලා මගේ එම්ෆිල් එක විදියට කළේ එක්මෝ සම්බන්ධ පර්යේෂණයක්.”

පසුගිය දා එක්මෝ ප්‍රතිකාරය මෙරට ප්‍රසිද්ධ වූයේ කොරෝනා ආසාදිත වෛද්‍ය ගයාන් දන්තනාරායනට එමගින් ප්‍රතිකාර ලබාදීම හේතුවෙනි.

වෛද්‍ය ගයා් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීම සඳහා දැඩි උත්සායක නිරත වෙමින් එක්මෝ ප්‍රතිකාර කරන අවස්ථාවක්

“මම විදේශ පුහුණුව අවසන් කරලා ශ්‍රී ලංකාවට ආවට පස්සේ කරාපිටිය රෝහලේ දී දරුවන්ගේ හෘද සැත්කම් සිදුකිරීම ගැන වැඩි අවධානක් යොමුකළා. මේ සඳහා අවස්ථා කිහිපයක දී ම මට මහාචාර්ය ෆර්මින් මහතා ද සහයෝගය ලබාදුන්නා. එක් දරුවකුට හෘද සැත්කම කිරීම සඳහා එක්මෝ යන්ත්‍රයක අවශ්‍යතාව තිබුණා. මේ වනවිට ශ්‍රී ලංකාවේ එක්මෝ යන්ත්‍රයක් තිබුණේ නැහැ. මහාචාර්ය ෆර්මින් මහතා එම යන්ත්‍රය නිෂ්පාදන සමාගමට කතා කරලා අපේ යන්ත්‍රය යළි ලබා දෙන පදනම යටතේ මෙරටට ගෙන්වාගත්තා. ඒ යන්ත්‍රය අපි නැවත භාවිතා කිරීම නිසා මානුෂීය හේතූන් ලෙස සළකා අදාල සමාගම අපට එම යන්ත්‍රය කරාපිටිය රෝහලේ භාවිතා කරන්න ඉඩ දුන්නා. තවමත් තිබෙන්නේ මේ එක්මෝ යන්ත්‍රය.   සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් පිළිගෙන තිබෙනවා කරාපිටිය ශික්ෂණ රෝහලේ අපේප ඒකකය මෙරට ජාතික එක්මෝ මධ්‍යස්ථානය ලෙස. අපි එමගින් සුවිශේෂී ජයග්‍රහණ රැසක් ලබාගත්තා. දැනට මී උණ සෑදුණු අයගේ ජීවිත බේරාගැනීම සඳහා සාර්ථක එක්මෝ ප්‍රතිකාර වැඩිම ගණනක් කරපු රට බවට පත්වෙලා තියෙනවා.”

ඇය පවසන්නේ සෑම රෝහලකටම එක්මෝ ප්‍රතිකාර යන්ත්‍ර ලබාදීම සාර්ථක නැති බවයි. යුරෝපයේ රටවල පවා ඇත්තේ එක්මෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් පමණක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති ජාතික එක්මෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පහසුකම් සපයා දීමට අමතරව තව එක් මධ්‍යස්ථානයක් හෝ දෙකක් අප රටට ප්‍රමාණවත් බව ඇගේ අදහසයි.

විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරියක ලෙස තමන් පැමිණි ගමන ඉතා විචිත්‍ර බව ඇය කියයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී වෛද්‍ය සිසු සිසුවියන් සමඟ

“කාන්තාවක් වුණාම කොතන වුණත් වෙනස්කම්වලට භාජනය වෙන්න වෙනවා. මටත් ඒ දේ වුණා. කාන්තාවකට සැත්කම් විශේෂයෙන් ම හෘද සැත්කම් ක්ෂේත්‍රය ගැලපෙන්නේ නෑ කියලා හිතන අය හිටියා. යම් කාන්තාවක් කියනවානම් තමන්ට කාන්තාව්ක වීම නිසා වෙනස්කම් සහ විවිධ ආකාරයේ පීඩන එල්ල වුණේ නැහැ කියලා එහෙමනම් එයාගේ පරිසරය පුදුමාකාර විදියට සුරක්ෂිත පරිසරයක් වෙන්න ඕනෑ. ඒ වගේ අවස්ථාවක් කෙනෙකුට පහසුවෙන් ලැබෙන්නේ නැහැ. පාරම්පරිකව පිරිමි කරපු දේවල් තවමත් කරන්නේ පිරිමි අය විසින්මයි. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ද එය දක්නට ලැබෙනවා. කාන්තාවන් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් සිදුවිය යුතු ගැහැනු පිරිමි සෑම කෙනෙක්ම මේ සඳහා ඉදිරිපත් වියු යුතුයි. කාන්තාවන් ද පිරිමි ද කියලා ප්‍රශ්නයක් නැහැ.  .”

ඇය පවසන්නේ තම පියා වෛද්‍යවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ කාන්තාවන් වෛද්‍යවිද්‍යාලයට යන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවයි. තමන් ඉගෙනුම ලබන කාලයේ දී එම ප්‍රමාණය සියයට 50කට ආසන්න වී තිබූ බවත් දැන් කොළඹ වෛද්‍යවිද්‍යාලය සැළකූ විට සියයට 70කට ආසන්නව කාන්තාවන් සිටින බවත් ඇය පවසයි.

“මේ තත්ත්වය ගැටලුවක් නෙවෙයි නමුත් අපේ ක්ෂේත්‍රයට ගැටලුවක් තියෙනවා. කාන්තාවන් වෛද්‍ය විද්‍යාව හදාරනවා. නමුත් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට එන්නේ වැඩිපුරම පිරිමි. දැන් බැලුවාම අපිට පෙනෙන්න තිබෙන දෙයක් තමයි හෘද සැත්කම් ක්ෂේත්‍රයේ පුහුණුව ලබන්න එන සංඛ්‍යාව ඉතාමත් අඩු වෙලා. හේතුව හැටියට මම දකින්නේ වෛද්‍යවිද්‍යාලයට ඇතුළුවන බහුතර කාන්තාවන් මේ ක්ෂේත්‍රය තෝරා නොගැනීම. ඉන්න පිරිමි සුළු පිරිස වෙනත් ක්ෂේත්‍රවලට යොමුවුණාම හෘද සැත්කම් පැත්තට වෛද්‍යවරු සංඛ්‍යාත්මකව වැඩි වෙන්නේ නැහැ. දැන් ඉන්න අය විශ්‍රාම යනවා. පුරප්පාඩුවටල හෘද ශල්‍ය වෛදවරු නැති ගැටලුවක් එනවා.”

වෛද්‍ය ටොළූෂා පවසන්නේ හෘද සැත්කමක් දීර්ඝ කාලයක් ගත වුව ද එම කාලයේ දී ඉතා වේගයෙන් සැත්කම කිරීමට සිදුවීම හා වඩාත් සංකීර්ණ ක්‍රියාවලියක් හේතුවෙන් මෙලෙස එම ක්ෂේත්‍රයට එක්වන ප්‍රමාණය අඩුවන බවයි. ඇය පවසන්නේ මුදල් ඉපයීමටනම් හෘද සැත්කම් ක්ෂේත්‍රයට වෛද්‍යවරු යොමු නොවිය යුතු බවයි.

“අපි කරන්නේ කෙනෙකුට ජීවිත දීම. හැමදාම අභය දානය දීමක්. මම වැඩකරන දවස් පහෙන් තුනක්ම සැත්කම් කරනවා. මේ මිනිස්සුන්ගේ ජීවිතය තියෙන්නේ අපේ අතේ. හදවත නවත්තලා ගොඩක් වෙලා ඉන්න බැහැ. ඉක්මනට නිවැරදිව සැත්කම් කළ යුතුයි. ගතවූ වසරේ දී අපි බයිපාස් සැත්කම් 100ක් පමණ කරලා 100%ක් ම සාර්ථක වුණා. මෙය විශේෂ තත්ත්වයක්. මෙය ශල්‍ය වෛද්‍යවරයාගේ දක්ෂතාව නෙවෙයි. සමස්ත කණ්ඩායමේ මම දක්ෂතාව. මේක ඇත්තටම කණ්ඩායම් වැඩක්.”

හෘද සැත්කම් වැනි සංකීර්ණ ශල්‍යකර්මවල යෙදී සිටින ‍විශේෂඥ වෛද්‍ය ටෝළූෂා හරිශ්චන්ද්‍ර මහත්මිය තම විවේක කාලය ‍ගත කරන්නේ අකුරු අතරය. ඒ ඇය පොත් කියවමින් සහ ලියමිනි.

තමන් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකව සිටිය දී ලියන ලද A Journey to Moon නමැති ළමා කතාව ඇය ප්‍රකාශයට පත්කරන්නේ ශල්‍ය වෛද්‍යවරියක ද වීමෙන් අනතුරුවය. එම කතාව එවකට සන්ඩේ ඔබ්සවර්ව පුවත්පතේ පැවැති තරඟයක දී පළමු ස්ථානය ද හිමිකරගත්තේය. එමෙන්ම A Million Sparks සහ Bloodless නමින් නවකතා දෙකක් ද ලියා ප්‍රකාශයට පත්කළ ඇය ඇය තම පියා විසින් රචනා කර තිබූ “නංගී” නම් ග්‍රන්ථයක් ද, Seven Steps to Examination Success නමැති ග්‍රන්ථයක් ද සංස්කරණය කර ප්‍රකාශයට පත්කළාය.

burst

 තම ජීවිතයේ කරන ලද විශිෂ්ඨතම සේවාව ලෙස ඇය සඳහන් කරන්නේ තම පියා විසින් ලියා පළකර තිබූ Psychiatric Aspects of Jataka Stories ග්‍රන්ථය යළි සංස්කරණය කර නැවත මුද්‍රණය කිරීමයි. එම ග්‍රන්ථය මේ වනවිට මනෝ වෛද්‍යවරුන් සඳහා සහ බෞද්ධ භික්ෂූන් සඳහා විශ්වවිද්‍යාලයන් හි නිර්දේශිත ග්‍රන්ථයක් බවට පත්ව ඇත. වෛද්‍ය ටොළූෂා පවසන්නේ තම ජීවිතය නිමා කිරීමට පෙර එහි සිංහල පරිවර්ථනක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි

ඇය පවසන්නේ එම පොත සංස්කරණය කිරීමට හැකිවීම තම ජීවිතයේ දී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයටත් බුද්ධ ධර්මයට හා බෞද්ධ සාහිත්‍යයට ලබාදුන් ඉහළම දායකත්වය බවයි.

burst

“තාත්ත ලියපු මේ පොතට 2000 වර්ෂයේ දී රාජ්‍ය සම්මාන ලැබුණා. ගොඩක් අය තාත්තගෙන් මේ පොත ඉල්ලුවා සිංහල භාෂාවට පරිවර්ථනය කරන්න. ඒ හැමෝටම තාත්තා කිව්වේ ඒක කවදා හරි ටෝළූෂා කරාවි කියලා. මම දන්නේ නෑ ඇයි එහෙම කිව්වේ කියලා. අක්කා ඉංග්‍රීසි භාෂා ආචාර්ය. නංගී මනෝ වෛද්‍ය. නමුත් තාත්තා මම ඒ පොත සිංහලයට පරිවර්ථනය කරාවි කියා බලාපොරොත්තු වුණා. කවදා හෝ මම ඒ බලාපොරොත්තුව ඉටු කරන්න ඕනෑ.”

burst

කො‍රෝනා වසංගතයත් සමඟ විශාල සාකච්ඡාවකට බඳුන් වූ එක්මෝ යන්ත්‍ර මෙරටට හඳුන්වා දී එම ප්‍රතිකාර පවත්වාගෙන යාමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු තැනැත්තිය වූ වෛද්‍ය ටෝළූෂා හරිශ්චන්ද්‍ර මහත්මිය මෙ‍රට සිටින එකම විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරිය පමණක් නොවේ. ඇය අපූරු සාහිත්‍යවේදිනියක ද ලෙස හැඳින්විය හැක. ඇගේ පියා අපේකෂා කළ පරිදිම ඇය දසත සුවඳ විහිඳුවන “ටෝළූ” පුෂ්පයක් වී සිටින්නීය.

(සජීව විජේවීර)

විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ටෝළූෂා හරිශ්චන්ද්‍ර සිය සැමියා විශේෂඥ උගුර, කන හා නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය රංජිත් ජයවීර සමඟ

7 COMMENTS

  1. Tolu. How close we were at Medical Faculty.
    But was not aware about your enthusiasm in writing books and all.
    Very proud of you. And happy about you.
    Wish you all success in your future endeavors.
    Loretta

  2. We listened to Dr. Harischandra when we were schooling. He has done his job by giving three great daughters to the nation. Thank you for your great service.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!