ශ්‍රී ලංකා බටහිර ඉන්දියා විස්සයි – 20 තරඟාවලියේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් තාවකාලිකව පත්කර ඇත. ඇමෙරිකාව හරහා යාමට වීසා නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි – 20 කණ්ඩායමේ නායක දසුන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඇන්ටිගුවා බලා යාමට හැකිවූයේ නැත. ඔහු තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
දසුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්විය නොහැකි වූ බැවින් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි – 20 තරඟාවලියෙය් දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටියහ.
විස්සයි-20 තරඟවල දී ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යන තිදෙනාම කණ්ඩායමේ සිටි නමුත් දිගින් දිගටම පරාජය වීමේ විශාල ආගාධයකට වැටී සිටින අතරම පවතින අභ්‍යන්තර වියවුල් හේතුවෙන් මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය එකිනෙකා අතර මාරු කිරීමට තේරීම් කමිටු නිලධාරීහු අකමැත්තෙන් සිටියහ.
මේ තත්ත්වය හේතුවේන ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නගේ නම ද සාකච්ඡාවට භාජනය විය. එසේ වුව ද දිමුත් කරුණාරත්න මේ දක්වා එකම විස්සයි-20 අන්තර්ජාතික තරඟයකට හෝ සහභාගී වී නොතිබීම හේතුවෙන් එය ද ගැටලුවක් වී තිබිණි. අවසන් මොහොතේ දී නායකත්වය භාර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් කැමැත්ත පළකිරීම හේතුවෙන් ඔහුට තාවකාලික නායකත්වය භාරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
මැතිව්ස් මේ දක්වා අන්තර්ජාතික විස්සයි – 20 තරඟ 13ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරඟ 05ක් ජයගෙන තරඟ 07ක් පරාජය වී එක් තරඟයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.