පුද්ගලික වාහනයක් නොමැති නිවැසියන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී තිබේ. සෞඛ්‍ය අංශවල සැළසුමක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇත.
මේ සම්බන්ධ හොඳම සාක්ෂියක් ලැබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. මිදිගම කර්මාන්තශාලාවක සේවය කරන තරුණයකු පීසීආර් පරීක්ෂණකින් ආසාදිත බව තහවරු වීම හේතුවෙන් ඔහු පසුගිය 15 වැනි දා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති අතර අහංගම්ගොඩ පදිංචි ඔහුගේ පවුලේ අයට නිවසේම නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබිණි. ඔවුන්ට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (22) දිනයේ දී ය.
පීසීආර් පරීක්ෂණය ඊයේ 9.30 ට සිදුකරන බවත් ඒ සඳහා තම පුද්ගලික වාහනයකින් ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණෙන ලෙසත් ඔවුන්ට දැනුම් දී තිබිණි. ඔවුන්ගේ නිවසේ ඇත්තේ යතුරුපැදියක් පමණි. එම යතුරුපැදිය ධාවනය කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇත. නිවැසියන් තමන් දන්නා හඳුනන පුද්ගලයන්ට සහ ත්‍රී රෝද රථ ධාවකයන්ට පවා කතා කළ ද මේ නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත.
එබැවින් ඔවුන්ට ඊයේ දිනයේ දී නියමිතව තිබූ පීසීආර් පරීක්ෂණයට ද මුහුණ දීමට සිදුවූයේ නැත. මේ පිළිබඳ විමසූවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඔවුන්ට පවසා ඇත්තේ පුද්ගලික වාහනයකින් පැමිණිය නොහැකිනම් නිවසට වී සිටින ලෙසයි.
අප මේ පිළිබඳ ගාල්ලේ සෞඛ්‍ය බලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකින් ම විශාල වශයෙන් රෝගීන් සහ ආසාදිතයන් වාර්තාවන බැවින් ඔවුන් නිරෝධායනයට යොමු කිරීම සහ පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි. එසේ වුව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව එක් වාහනයක් පමණක් තිබීම මේ සඳහා ගැටලුවක් වූ බවත් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට ම කුලී පදනම යටතේ වාහනයක් ගන්නා ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එලෙස වාහනයක් නොගැනීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.