spot_img
spot_imgspot_img

මරාගෙන මැරෙන සහරාන් කල්ලියේ තරුණියන් 15න් මියගියේ 05 දෙනයි

පුවත්

විදෙස්

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකිරීම සඳහා පුහුණුව ලැබූ තරුණියන් 15 දෙනකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම තරුණියන් පුහුණුකර ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නැමැත්තා විසින් යැයි ද අනාවරණය වී තිබේ. ඔවුන් තම පහුණුව අවසන්කිරීමෙන් පසු මරාගෙන මැරෙන්නට සූදානම් බවට වූ “බයියත්” නමැති ප්‍රතිඥාවක් ද සහරාන් ඉදිරියේ ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ අන්තවාදී දේශනවලට සහභාගී වීමේ චෝදනාව යටතේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී පෙරේදා (20) අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ෂනීවා නමැති 24 හැවිරිදි තරුණියකගෙන් ප්‍රශ්න කිරීමේ දී ය. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ සිට හිඟුල ප්‍රදේශයට ගිය ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් පිරිසක් විසිනි.

පොලිසිය පවසන්නේ මෙම තරුණිය ද එලෙස මරාගෙන මැරෙන පුහුණුව ලැබූ 15 දෙනාගෙන් එක් අයකු බවයි.

ඔවන් 15 දෙනාම සහරාන් විසින් මාවනැල්ලේ දී පැවැත්වූ දේශනවලට සහභාගී වී ඇතැයි ද අනාවරණය වී තිබේ. එම තරුණියන් අතරින් 05 දෙනකු 2019 අප්‍රේල් මස 25 වැනි දා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති බවත් අනෙක් දස දෙනාගෙන් 05 දෙනකු රැඳවුම් නියෝග යටතේ ද තිදෙනකු රිමාන්ඩ් භාරයේ ද පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිදරව් වී ඇති තොරතුරු මත ඊබ්‍රාහිම් ෂහීඩා නැමැත්තිය මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවසයි. අත්අඩංගුවට ගත් එම තරුණියගේ පියා වන 50 හැවිරිදි රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ද මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන සහෝදරයන් දෙදෙනා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙති.

තරුණියගේ පියා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී 2019 වර්ෂයේ ජනවාරි 22 දා අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. හිඟුල ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් දෙමහල් ගොඩනැගිල්ලක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය පණිවුඩ හුවමාරු යන්ත්‍ර සූත්‍ර සහ වායු රයිෆලයක් ඇතුළු බාණ්ඩ තොගයක් සොයා ගැනීමෙන් පසු ඒ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු සහරාන් සමඟ අන්තවාදී දේශන පැවැත්වූ අයකු යැයි පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. තරුණියගේ එක් සහෝදරයකු වන සාකික් අබ්දුල් හක් නමැති සැකකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය ලබා ගම්පොළ ප්‍රදේශයේ විදුහලක ස්වේච්ඡා ගුරුවරයකු වශයේන සේවය කළ අයකු වන අතර අනෙක් සහෝදරයා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු බව පොලිසිය පවසයි.

මෙම සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මෙම තරුණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබිණි. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!