කොරෝනා වසංගතය නිසා මාස කිහිපයක් රට වසා දමා තිබුණ ද 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 834ක මුදලක් රටතුළ සංසරණය වී ඇතැයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අද (20) ගාල්ලේ දී කීවේය. මහබැංකු අධිපතිවරයා පවසන්නේ ඩිජිටල් මුදල් ක්‍රමය හඳුන්වා දී තිබුණේනම් මීට වඩා මුදලක් සංසරණය වන බවයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ පැවැති මුදල් හෝ කාර්ඩ්පත් භාවිතයෙන් තොරව ජංගම දුරකථනයෙන් ගනු දෙනු කිරිමේ “ලංකා QR” ක්‍රමය ජන සමාජයට හඳුන්වාදීමේ වැඩසහනට එක්වෙමිනි.
මහබැංකු අධිපතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මේ ක්‍රමය ඉතාමත් පහසු ක්‍රමයක්. මුදල් භාවිතය කොරෝනා වසංගතයත් සමඟ ගැටලුකාරී වුණා. ඒ වගේම අපහසු වුණා. කොරෝනා වසංගතය ආරම්භවන විට අපි ශ්‍රී ලංකාවේ “ලංකා QR” ක්‍රමය හඳුන්වාදී තිබුණේ නැහැ. එය හඳුන්වා දී තිබුණානම් පසුගිය වසරේ මීට වඩා මුදල් ප්‍රමාණයක් රටතුළ සංසරණය වනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපිට මුදල් මුද්‍රණය කිරීම සඳහාත් වාර්ෂිකව අතිවිශාල මුදලක් වැය වෙනවා. මේ QR ක්‍රමය භාවිතා කිරීමෙන් අප හැමෝටම වාසියක් අත්වනවා. සමස්තයක් ලෙස රටට වාසියක් වෙනවා මුදල් භාවිතය අඩුවී ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කිරීමෙන් මුදල් මුද්‍රණයට වැයවන මුදල අඩුවෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් හා ගනුදෙනුකරුවන් අතර ඉතා ඉක්මණින් හා පහසුවෙන් වඩාත් සුරක්ෂිතව මේ ඩිජිටල් ගෙවීම් ක්‍රමය භාවිතා කළ හැකියි. ඒ නිසා අපි මුහුණ දෙන අභියෝගවලට මේ ක්‍රමය ඉතාමත් හොඳ විසඳුමක් වෙනවා. ඒ වගේම ගනුදෙනුවල තිබෙන අනාරක්ෂිත බවත් මේ තුළින් අඩු වෙනවා. මෙය ඉතා වේගවත්, සුරක්ෂිත වගේම පහසුයි. අපි ඩිජිටල් තාක්ෂණයේ ලෝකයේ රටවල් අතර ඉදිරිනේ සිටිනවා. ඇතැම් කරුණුවලින් අපිට වඩා බොහෝ ඉදිරියෙන් සිටින රටවල්වලට වඩා ඩිජිටල් තාක්ෂණයේ දී අපි ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා සංවර්ධිත හා සුරක්ෂිත ගමක්, නගරයක් රටක් අපට හිමිකරගන්න පුළුවන්. ඒ නිසා අපි අපේක්ෂා කරනවා තාමත් ඉක්මණින් මෙම ක්‍රමයට අපේ රටේ ජනතාව අනුගත වේවි කියලා.”
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා “ලංකා QR” ක්‍රමය හඳුන්වාදීමේ වැඩසටහන හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානය කර තිබූ අතර අනෙකුත් බැංකු ද ඊට එක්ව තිබිණි. දැනටමත් “ලංකා QR” ක්‍රමය භාවිතාකරන ව්‍යාපාරික ස්ථාන විසින් වෙළෙඳ සල්පිළක් ද අද ගාල්ල කොටුවේ උසාවි චතුරශ්‍රයේ පවත්වන ලදී.

