මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බව තහවරු වූ පුද්ගලයකුගේ මෘතදේහයක් යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණකර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දෙනු ලැබීය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.
ඊයේ (18) සළකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා එම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස විරෝධතාවක් මතු කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ, මරණකරු මියයාමෙන් පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව දෝෂ සහගත බවට තහවුරු කළ හැකි සාධක හා සාක්ෂි කිසිවක් පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවයි. එසේ තිබියදී යළි පීසීආර් පරීක්ෂණයක් පවත්වන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව ඔහු සඳහන් කළේය.
මරණකරුගේ මරණය සිදුවීමට හේතු වූ කරුණු අනාවරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වගඋත්තරකරුවන් සූදානම් වූවද ඊට මරණකරුගේ පියා හෝ ඥාතීන් මේ දක්වා සහයෝගය ලබාදී නොමැති බවද කියා සිටියේය. ඒ අනුව එම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ සඳහන් කළේ, පීසීආර් පරීක්ෂණවල දෝෂ පැවැත්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිගෙන තිබෙන බැවින් මරණකරු නිශ්චිතවම මියගියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද යන්න තහවුරු කරගැනීම සඳහා තම සේවාදායකයින්ට දෙවන පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන බවයි.
පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි. ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසයි.
ඔහුගේ මෘත ශරීරය ඊයේ (18) දිනය දක්වාම කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළේ.