spot_img
spot_imgspot_img

දකුණේ කොරෝනා හැමතැනම. සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

පුවත්

විදෙස්

දකුණේ එක් එක් ප්‍රදේශවල පොකුරු වශයෙන් කේන්ද්‍රගත වී තිබූ කොරෝනා වසංගතය දැන් දකුණු පළාතේ සෑම ගම් දනව්වක් පුරාම පැතිර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ මහනගර සභා සීමාවේ මිලිද්දුව, තලාපිටිය වැනි ප්‍රදේශවලත්, ඉඳුරුව සහ ගිංතොට ප්‍රදේශවලත්, බලපිටිය හා කරන්දෙණිය ප්‍රදේශවලත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට කොරෝනා වසංගතය කේන්ද්‍රගත වී තිබූ අතර මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, දික්වැල්ල, වැලිපිටිය වැනි ප්‍රදේශවල කේන්ද්‍රගත වී තිබිණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අගුණුකොළපැලැස්ස, තංගල්ල, අම්බලන්තොට ග්‍රාම නිලධාරී වසම් කිහිපයක කොරෝනා වසංගතය පැතිරුණ ද මේ වනවිට දකුණු පළාතේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක ම ග්‍රමා නිලධාරී වසම් රැසකින් රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.

එයින් පෙනී යන්නේ දකුණු පළාතේ සෑම ස්ථානයක ම කොරෝන ව්‍යාප්තිය සිදුව ඇති බවයි. ඉදිරි සති කිහිපයේ දී මෙය වඩාත් භයානක තත්ත්වයක් බවට පත්වන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (10) උදෑන වනවිට 3284ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඉන් 2331ක් සුවය ලබා යළි නිවෙස්වෙත පැමිණ ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1730කි. මෙම පිරිස අතරින් 1251 දෙනකු මේ වනවිට සුවය ලබා ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1184ක් වාර්තා වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 834 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 370ක් මෙතෙක් වාර්තා වී ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246කි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වාර්තාවන්නේ ගාල්ල මහ නගර සභා සීමාවෙන් වන අතර ඊයේ වනවිට වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 314 කි. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 146ක් වාර්තාවන අතර බො‍පේ පෝද්දලින් ආසාදිතයන් 134ක් සහ බලපිටියෙන් ආසාදිතයන් 117ක් මේ දක්වා වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 240කි. මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 164ක් වාර්තාවන අතර අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද ආසාදිතන් 101ක් වාර්තා වී ඇත.

හම්න්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වාර්තාවන්නේ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 95කි. හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 58ක් හා තංගල්ලෙන් ආසාදිතයන් 55ක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට දකුණු පළාත පුරා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකින් ම ආසාදිතයන් වාර්තාවන බවයි. මීට ඉහත දී ආසාදිතයන් වාර්තා වූයේ එක් එක් ප්‍රදේශවලට කේන්ද්‍රගත වූ පොකුරු වශයෙන් වුව ද මේ වනවිට ආසාදිතයන් සෑම ගම්මානයකම විසුරුණු ආකාරයක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. එයින් පෙනී යන්නේ මේ වනවිට කොරෝනා වසංගතය දකුණු පළාතේ සෑම ගම් ප්‍රදේශයක් පුරාම පැතිරී ඇති බවයි. තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් ආරක්ෂාකාරී නොවුණහොත් තත්ත්වය වඩාත් භයානක විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!