ලංකාවේ මුල්ම “පෝර්ට් සිටිය” – ගාල්ල

0
355

සියලු සැප සම්පත් සහ පහසුකම්වලින් සමන්විත තාර්ෂිස් නමැති සුන්දර නගරයක් පිළිබඳ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වේ. ලොව සෑම දෙසින් ම නැව්වලින් පැමිණෙන වෙළෙඳුන් මේ අපූරු නගරයේ දී තමන් ගෙන එන් භාණ්ඩ විකුණා තම රටට අවැසි ද්‍රව්‍ය මිලදී ගෙන ආපසු යන බවත් වරාය නගරයක් වූ මේ පුරවරය ලොව ඇති මනබන්ධනීය දියුණු නගරයක් බවත් එහි දැක්වෙයි.

යෙරුසෙලමේ පාලකයා වූ සොලමන් රජුට ඇතුන් සහ මොණරුන් මෙන්ම මුතු මැණික් ද සැපයුවේ ආසියාවේ පිහිටි මේ තාර්ෂිස් වරායෙන් බව සඳහන්වේ.

පුරාණ අරාබි, පර්සියානු හා චීන වෙළෙඳුන්ගේ පමණක් නොව ඉසුරු සොයා පෙරදිග ආක්‍රමණය කර යුරෝපීය ජාතීන්ගේත් විශ්වාසය වූයේ එලෙස විස්තරකර ඇති ”තාර්ෂිස්” නගරය නම් ගාල්ල බවයි. ජේම්ස් එනර්සන් ටෙනන්ට් පවා පවසන්නේ මේ සමෘද්ධිමත් නගරය ගාල්ල වරාය බවයි. අතීතයේ ගාල්ල මහා වෙළෙඳ නගරයක් විය.

යුරොපීයයන් පැමිණීමට පෙර අපට ගාල්ල පිළිබඳ පැරණිතම තොරතුරු හමුවන්නේ ග්‍රීක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස් ගේ වාර්තා අතරිනි. ක්‍රිස්තු වර්ෂ 545 දී ඔහු ගාල්ල වරාය හා එ් ආශ්‍රිත නගරය පිළිබඳ සටහන් තබා තිබේ. ඔහුගේ සටහන් අනුවව එවකට මෙරට පාලකයන් දෙදෙනකු සිටියේය. මෙරට සෑම දිසාවකම වරාය පිහිටි බවත් එ්වාට විදෙස් නැව් පැමිණි බවත් ඔහු සටහන් කර ඇත. දකුණේ වෙළෙඳ නගරයක් වෙනම රජ කෙනෙකු විසින් පාලනය කළ බවත් ඔහු විස්තර කර තිබේ. ක්‍රිස්තු වර්ෂ 1000 දී අල මසුදි නමැති ග්‍රීක ජාතිකයකු ද ගාල්ල පිළිබඳ සටහන් තබා තිබේ.

ඉන් පසු ගාල්ල ගැන ලිඛිත සාක්ෂි ලැබෙන්නේ මහාවංශයෙනි. පෙ‍ෙ‍ළාන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දී ය. මහාවංශයේ ගිං නදිය පිළිබඳවත් ගාල්ල අවට ගම්මාන පිළිබඳවත් තොරතුරු දැක්වෙයි.   වර්ෂ 1344 දී මෙරටට පැමිණි ඉබන් බතූතා ගාල්ලට ගොඩබැස්ස විදෙස් යාත්‍රිකයෙකි. ගාල්ලේ වරාය පිළිබඳවත් වෙළෙඳ නගරය පිළිබඳවත් අපූරු විස්තරයක් කරන හෙතෙම ගාල්ලේ ඊබ්‍රහිම් නම් මුස්ලිම් ජාතික වෙළෙන්දකුගේ නිවසේ දී ලැබුණු සැළකිලි ගැන පවා සටහන් කර ඇත.

වර්ෂ 1421 දී හෝ ඒ ආසන්න කාලයේ දී විශාල සේනාවක් සමග ගාල්ලට පැමිණි චීන ජාතික චිං හ චෙං හෝ නමැති සෙනෙවියා චීන, පර්සියන්, හා දෙමළ භාෂාවලින් සටහන් තැබූ සෙල්ලිපියක් 1911 දී ගාල්ල නගරයෙන් සොයාගැනීමත් සමග ගාල්ල වරායේ අතීත සම්බන්ධතා පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලැබිණි.

14 වැනි සහ 15 වැනි සියවස්වල ලියැවුණු මයුර, කෝකිල හා පරවි සංදේශවල ද ගාල්ල වෙළෙඳ නගරය පිළිබඳ වර්ණනා කර තිබේ.

සීතාවක රාජධානි කාලයේ මායාදුන්නේ රජුගේ හේවායන් පිරිසක් රැඳවූ බළකොටුවක් ගාල්ලේ තිබූ බවත් ඔවුන් වරාය සහ නගරය පාලනය කළ බවත් වංශකතාවල දැක්වේ.

පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගනිද්දී ගාල්‍ලේ සිටි සීතාවක රජුගේ හේවායන් පළවාහැර ඒ අසළ තිබූ වරායත් ඔවුන්ගේ බලකොටුවත් අල්ලාගත් බව කියවේ. අද දක්නට ඇති ගාල්ල කොටුව නිර්මාණය වන්නේ ඉන් පසුවය.

ගාල්ල බලකොටුව යුද කටයුතු සඳහා හේවායන් රඳවා භාවිතා කර බළකොටුවක් පමණක් නොවේ. එය මහා නගරයකි. මෙරට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් හා ලන්දේසීන් ද රටම නතුකරගත් බ්‍රිතාන්‍යයන් ද ගාල්ල මහා නගරයක් බවට පත්කර මෙරට පාලනය කළේ එම ස්ථානය ප්‍රධානත්වයේ පවත්වාගනිමිනි.

මෙරට පැරණි වරායයන් අතරින් අතිශය වැදගත් හා ප්‍රධාන ස්ථානයක් ගන්නා ගාල්ල වරායේ වෙළෙඳාම ආශ්‍රිතව ගොඩනැගී තිබූ ගාල්ල නගරය වඩාත් සංවිධානාත්මකව ඔවුහු ගොඩනැගූහ. ඔවුහු ගාල්ල මෙරට වරාය නගරයක් බවට පත්කරන ලදී. එහි නෂ්ඨාවශේෂ අද ද ගාල්ලේ දක්නට ලැබේ.

ගාල්ල ස්වභාවික වරාය ආශ්‍රිතව පෘතුගීසීන්විසින් ඉදිකරන ලද පැරණි කොටු පවුර අදටත් සුරක්ෂිතව තිබෙන අතර එම කොටුපවුර ද සහිතව වඩාත් විශාල කර ගාල්ලේ මුහුදට නෙරාගිය තුඩුව වටා ඕලන්ද ජාතිකයන් විසින් ප්‍රාකාරයක් බඳවා නිර්මාණය කළ වරාය නගරයේ පැරණි තේජස අදට ද විරාජමානව දක්නට ලැබේ.

මේ වරායේ ඉතිහාසය තවමත් කිසිවෙකුට නිවැරදිව කිව නොහැකිය. නමුත් ලෝකයේ මුහුදු ගමන් ආරම්භ වූ මුල් වකවානුවේ දී ම ගාල්ල වරාය පෙර අපරදිග යාත්‍රා කළ නාවිකයන්ගේ අපූරු නැවතුම් ස්ථානයක් වූවාට සැකයක් නැත.  

රජු සහ වෙනත් ස්වදේශීය වෙළෙඳුන් විසින් අළෙවිය සඳහා ගෙන එන අලි ඇතුන්, මුතු මැණික්, කුරුඳු ඇතුළු කුළු බඩු වර්ග, පුවක් මෙන්ම කලා නිර්මාණ ද ගාල්ලේ දී විදේශ රටවලට ගෙන යාම සඳහා නැව් ගත කෙරිණි. ඒවා ගබඩා කිරීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ගාල්ල කොටු පවුරේ එක් පැති බැම්මක ඉදිකරන ලද සුවිසල් බඩු ගබඩාව අදට ද ගාල්ලේ වෙළෙඳාම කොතරම් විශාලව පවතින්න ඇත්ද යන්න පිළිබඳ හොඳ සාක්ෂියකි.

මෙවැනි බඩු ගබඩා පමණක් නොව ගාල්ල වරාය නගරයේ පදිංචිකරුවන්ගේ පෞද්ගලික නිවාස, ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස, දේවස්ථාන, පරිපාලන ගොඩනැගිලි, වරාය ඔස්සේ රටට ඇතුළුවන අමුත්තන්ට නවාතැන් ගැනීමට තානායම්, රෝහල්, ආයුධ නිෂ්පාදනාගාර, වෙඩි බෙහෙත් ගබඩා, සිරකුටි, ආරක්ෂක භටයන්ගේ නවාතැන් ස්ථාන, සිරකුටි, අශ්ව ගාල්, දේවස්ථාන, සුසාන භූමි ආදී සියල්ලෙන් මේ නගරය සමන්විත ව තිබිණි.

ගාල්ල කොටුවේ එකිනෙකට සමාන්තරව හා තීර්යක් ලෙස දිවෙන වීදි දෙපස නිවාස ඇතුළු ගොඩනැගිලි ඉදිකර තිබූ අතර ඒ ඒ වීදි විවිධ කර්මාන්ත හා වෘත්තීන්ට අයත් වූවන් සඳහා වෙන්කර තිබුණේ වඩාත් සංවිධානාත්මක නරගයක් නිර්මාණය කරමිනි.

ගාල්ල වරාය හා වරාය නගරය යුරෝපීය පාලන කාලයේ දි කොතරම් වැදගත් වූයේ ද යන්න සනාථ වන්නේ මෙරට මුල්ම ගැස්ට් පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලය පවා ගාල්ලේ කොටුවේ පිහිටුවීමෙනි. යුරෝපයේ සිට පැමිණෙන නැව්වලින් ලැබෙන පණිවිඩ කොළඹට ගෙන යාම සඳහා පරවි තැපැල් සේවයක් මුල් කාලයේ ගාල්ලේ ක්‍රියාත්මක වූ අතර පසුව තැපැල් කෝච්චිය හෙවත් අශ්වයන් බැඳි කරත්තයකින් තැපැල් මලු රැගෙන යාම වැඩිදියුණුවීමත් සමග එම පරෙවි තැපැල් සේවය අවසන් වූයේය. යුරෝපීයයන් විසින් මෙරට ඉදිකළ පළමු විශාලතම හෝටලය ඔරියන්ට් හෝටලය නමින් ගාල්ලේ ඉදිකර ඇත්තේ වරාය නගරයක අවශ්‍යතා සියල්ල ඉටුකරමින්. මහල් කිහිපයකින් යුතු මේ සුවිසල් හෝටලය අද අමාන් ගාල්ල යනුවෙන් හැඳින්වෙයි.

ගාල්ල වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාර රැසක් පැවැතිනි. මෙරට පැරණි සුප්‍රසිද්ධ ව්‍යාපාර අතරින් විශාල ප්‍රමාණයක් ගාල්ලෙන් ආරම්භවීමෙන් ම ඒ බව සනාථ වෙයි.

ලංකාවේ ඉදිකළ පළමු ප්‍රදීපාගාරය ගාල්ල කොටුවේ 1848 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලදී. ලෝහයෙන් නිර්මාණය කරන ලද ප්‍රදීපාගාරයේ ගෑස් සහ ගල් අඟුරු භාවිතයෙන් ආලෝකමත්කරන පහනක් තිබිණි. නැව්වලට මග පෙන්වීමට අත්‍යාවශ්‍ය වූ ප්‍රදිපාගාරයක් මුල්වරට ගාල්ලේ ඉදිකිරීමෙන් ම ගාල්ල වරාය නගරය යුරෝපීයයන්ට කොතරම් වැදගත් ස්ථානයක් වූවේ ද යන්න පැහැදිලිය.

ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලන කාලයේ මෙරටට පැමිණි නැව්වලින් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ගාල්ල වරායට බව ඔවුන්ගේ පැරණි වාර්තා අනුව පෙනී යයි. කුරුඳු වෙළෙඳාමේ පරිහානියත් සමග ගාල්ල වරාය තරමක් පසුබෑමකට ලක්ව තිබුණ ද මධ්‍යධරණීය මුහුදු මර්ගය විවෘතවීමත් සමගම යළිත් ගාල්ල කාර්ය බහුල වරායක් බවට පත්ව තිබේ. එවකට එංගලන්තය, බොම්බාය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් අතර යාත්‍රා කළ දුම් නැව්වලට ගාල්ල ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වී තිබිණි. 1868 දී ගාල්ල වරායට නැව් 34ක් පැමිණ තිබූ අතර 1869 එම සංඛ්‍යාව 58ක් දක්වාත්, 1870 දී 82ක් දක්වාත් 1871 වනවිට එය 110ක් දක්වාත් ඉහළ ගොස් තිබිණි.

මෙලෙස නැව් පැමිණීම වැඩිවීමත් ලෝකයේ නිෂ්පාදනය වන නැව් ප්‍රමාණයෙන් විශාල වන්නට වීමත් හේතුවෙන් ගාල්ල වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් බ්‍රිතාන්‍ය පාලකයන්ට තිබිණි. නමුත් ගල් පරවලින් බහුල ගාල්ල වරාය වඩාත් විශාල කිරීම සුළුපටු කරුණක් වූයේ නැත. මේ නිසා ඔවුන්ගේ තීරණය වූයේ කොළඹ වරායේ දියකඩනයක් ඉදිකර එය වඩාත් පුළුල් කිරීම වැඩි ලාභදායී බවයි. මේ අනුව ගාල්ල වරාය වෙනුවට කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

පසුව කොළඹ වරායේ දියකඩනය ඉදිකිරීමත් එය පුළුල්කිරීමත් හේතුවෙන් අතීතයේ ගාල්ල වරායට තිබූ වැදගත් කම ක්‍රමයෙන් අහිමිව ගියේය. එහෙත් වරාය සමග දියුණු වූ ගාල්ල වරාය නගරය යුරෝපීයයෝ තමන් රට හැරයන තුරුම ප්‍රධාන පෙළේ නගරයක් ලෙස භාවිතා කළේ සියලු කටයුතු ගාල්ල කොටුවේ පිහිටි එම වරාය නගරයේ සිට සිදුකරමිනි.

යුරෝපීය පාලන යුගයේ දී රටේ පාලන මර්මස්ථානයක් වූ ගාල්ල වරාය නගරය අදට ද වරාය නගරයක් ලෙස දැකිය හැකි මෙරට ඇති පැරණිතම වරාය නගරයයි. අතීතයේ මෙරට තිබූ ගොඩවාය වරාය, මන්නාරම මාතොට වරාය වැනි වාරය ආශ්‍රිතව ද නගර ඉදිවී දියුණු වී තිබුණු බව ඉතිහාස කතාන්තර ඇතත් ඒ කිසිවක් අද වනවිට සියැසින් දැකැගනීමට අවස්ථාවක් නැත. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගොසිනි.

නමුත් ගාල්ල වරාය නගරය අදට ද සජීවී නගරයක් ලෙස පවතී. බැලූ බැල්මට යුදමය වශයෙන් වැදගත්වන මහ බලකොටුවක් ලෙස ඉදිවී ඇති ගාල්ල වරාය නගරයේ පෙර පැවැති රජයේ කාර්යාල ආදිය මේ වනවිට ක්‍රමයෙන් ඉවත් කරමින් පවතී. ගාල්ල පැරණි වරාය නගරය දැන් සංචාරක පුරවරයකි. දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් විසින් සංචාරකයන් සඳහාම පහසුකම් සපයන ස්ථාන රැසක් එහි පවත්වාගෙන යයි.

අද කොළඹ ඉදිවන වරාය නගරය නවීන තාක්ෂණය අනුව දියුණු නගරයක් වනු ඇත. එසේ වුව ද අතීතයේ මෙරට තිබූ ගාල්ල වරාය නගරය ද ඒ කාලයේ  ලෝකයේ දියුණුතම වරාය නගරයක් වන්නට ඇත. දැන් ඒ සියල්ල අතීතයට එක්ව ඇතත් තවමත් ගාල්ල වරාය නගරය යනු සජීවී ලෝක උරුමයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here