spot_img
spot_imgspot_img

මහනුවර මාතෘ ඒකකයේ කොරෝනා ගැටලුවක්?

පුවත්

විදෙස්

මහනුවර ජාතික ‍රෝහලේ මාතෘ හා නාරිවේද වාට්ටුවල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් ගැටලු රැසක් මතු වී තිබේ. එහි කාර්ය මණ්ඩලය චෝදනා කරන්නේ තමන් අතරින් ආසාදිතයන් වාර්තා වී තිබිය දී පවා කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීම නිසි පරිදි සිදුනොවීම හා ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් නොලැබීම බරපතල ගැටලුවක් බවයි.

රෝහලේ අංක 05,06 ස 07 වාට්ටු මාථෘ හා නාරිවේද වාට්ටුලෙස භාවිතා වෙයි. මෙහි කාර්ය මණ්ඩලය පසුගිය දිනවල එක දිගට ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් මේ වනවිට ප්‍රමාණවත් ‍හෙදියන් රාජකාරී සඳහා නොමැතිවීම ද ගැටලුවක් වී ඇත. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල පවා ප්‍රමාණවත් පරිදි නොලැබේ. සෞඛ්‍ය නිර්දේශය අනුව ආසාදිත අයකු වාර්තා වූ විට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ සියලුම දෙනා තමන් විසින් ඇඳ සිටි ආරක්ෂිත ඇඳුම් විනාශ කළ යුතු වුව ද මේ වනවිට ඒවා සෝදා යළි භාවිතයට ගන්නා ලෙස රෝහලේ පාලන අධිකාරියෙන් උපදෙස් ලැබී තිබේ.

ගැබිණි මව්වරුන් සමඟ කටයුතු කරන මෙම වාට්ටුවල හෙඳියන්ට මින් ඉහත විෂබීජ නාශක දියර අත් සේදීම් සඳහා ලැබුණ ද දැන් එම දියර ද ප්‍රමාණත් තරම් ලැබෙන්නේ නැත. කොරෝනා ආරම්භක අවදියේ දී රෝහලේ මල්ගස් පවා විෂබීජ නාශක දියරවලින් පිරිසිදු කිරීම් සිදුකරනු මාධ්‍ය ඔස්සේ පවා ප්‍රචාරය කළ ද දැන් මාතෘ වාට්ටුවල කාර්ය මණ්ඩලය ආසාදනය වුවත් වාට්ටුව විෂබීජහරණය නොකරන බව එහි හෙදියෝ චෝදනා කරති. ආසාදන පාලන ඒකකය එම වාට්ටු තුනට දැනුම් දී ඇත්තේ වාට්ටුවේ ආරක්ෂාව හා පිරිසිදුබව වාට්ටුව විසින් ම පවත්වාගෙන යා යුතු බවයි.

පසුගිය දිනවල කාර්ය මණ්ඩලයේ හෙදියකගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලේ ම රසායනාගාරයට යවා එහි ප්‍රතිඵල ලැබීමට දින 05ක් ගත වී තිබිණි. නමුත් එම දින 05 ඇය අඩු අවදානම් යැයි කියමින් සේවයට කැඳවා තිබූ අතර ප්‍රතිඵල පරීක්ෂණය දින 05කින් එම හෙදියට දැනුම් දී තිබුණ ද පීසීආර් වාර්තාව නිරීක්ෂණය කරනවිට පෙනී ගොස් තිබුණේ එම වාර්තාව නිකුත් කර ඇත්තේ ඊට දින දෙකකට පමණ පෙර බවයි. එනම් ජෛව සාම්පලය රැගෙන දින තුනක දී බවයි. රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාව දින දෙකක් අමතරව තිබී ඇත. හෙදියන් පවසන්නේ තම කාර්ය මණ්ඩලය කෙරෙහි පවා මෙවන් අඩු සැළකිල්ලක් දක්වන්නේ නම් අනෙකුත් බාහිර රෝගීන් පිළිබඳ ඔවුන් දක්වන උනන්දුව හා සැළකීම ගැන තර්ක කිරීම අනවශ්‍ය කාර්යයක් බවයි.

වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ අයකු රෝගියකුගේ ආශ්‍රිතකු වී විට රෝහලේ කොරෝනා කමිටුව ඇතුළු විවිධ බලධාරන් විසින් දුරකථනයෙන් ඔවුන්ගෙන් තො‍රතුරු විමසන බවත් එක් විමසීමක දී අඩු අවදානම් යැයි කියා නිර්දේශය ලබාදෙන පුද්ගලයාටම වෙනත් අයකු විසින් අධි අවදානම් යැයි කියා පවසන බවත් මේ අනුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ බරපතල ගැටලුවක් තිබෙන බවත් රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

මෙම වාට්ටුවල දැඩි කොරෝනා අවදානමක් ඇතත් හෙද හෙදියන්ට රැකියාව සඳහා පැමිණීමට සිදුව ඇත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමිනි. ඇතැම් විට පීසීආර් පරීක්ෂණ පවා සිදුකර එහි ප්‍රතිඵල පැමිණෙන තුරු මෙම කාර්ය මණ්ඩලයට පැමිණීමට සිදුවන්නේ ද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමිනි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන් 95 මුඛ ආවරණ පළඳින ලෙස දැනුම් දී ඇතත් එම මුඛ ආවරණ ද රෝහලෙන් සපයන්නේ නැත. මේ හේතුවෙන් ඔවුන්ට මුඛ ආවරණ මිලදී ගැනීමට සිදුව ඇති බවට ද රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආසාදිතයන් වාර්තා වූ විට විෂබීජහරණය කිරීම, කාර්ය මණ්ඩලයේ  පීසීආර් පරීක්ෂණ කඩිනමින් ලබා දීම වැනි කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුව ඇති බවයි. එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොලැබීම ද කොරෝනා පාලනයේ දී ගැටලුවක් බව රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

මේ පිළිබඳ අප රෝහල් අධ්‍යක්ෂකගෙන් විමසීමට උත්සාහ කළ විට රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ වනවිට කොරෝනා එන්නත ලබා දී අවසන් බැවින් කාර්ය මණ්ඩලය අතර කොරෝනා පැතිරීමේ අවදානමක් නොමැති බවයි. එමෙන් ම ඔවුන්ට අවශ්‍යතමරම් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබා දී ඇති බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!