“මම ජනාධිපතිවුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙවෙයි. වැඩ කරලා. කවුරු මොන විවේචන කළත් මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රමා නිලධාරී වසමේ අද (06) පැවැති ‘ගම සමඟ පිළිසදර’ වැඩසටහනට එක්වෙමින් කීවේය.
එහි දී ජනාධිපතිවරයා ජනතාව අමතමින් මෙසේ ද කීවේය.
“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නෑ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු හතරක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා. කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.”
අනතුරුව ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණි.