spot_img
spot_imgspot_img

ගාල්ලේ අසුන්දර එන්නත් ජාවාරමේ විදුහල්පතිවරු ගණන තවත් ඉහළට

පුවත්

විදෙස්

ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරම සිදුකරන උණවටුන රෝහලේ අසුන්දර වෛද්‍යවරයකු විසින් සිය හිතවත් විදුහල්පතිවරුන්ට, මත්පැන් සාද පවත්වන මිතුරන්ට එන්නත ලබාගැනීම සඳහා දිගින් දිගටම ආරාධනා කරමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට ගාල්ලේ කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක විදුහල්පතිවරයා ද එන්නත ලබාගෙන ඇත. ඒ අනුව දැනට එන්නත ලබාගත් ගාල්ලේ විදුහල්පතිවරු සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඔහු ඊයේ (03) තමන් එන්නත ලබාගැනීමට යන බව එම විදුහලේ ම නියෝජ්‍ය විදුහල්පතීවරයාට පවා පවසා එන්නත ලබාගැනීම සඳහා ගොස් ඇතැයි විද්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය.

අනෙක් විදුහල්පතිනියට එන්නත ලබාගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ එම විදුහල්පතිනිය උගන්වන පාසලේම ගුරුවරියක විසිනි. ඇගේ සැමියා උණවටුන රෝහලේ වෛද්‍යවරයා සමඟ සම්බන්ධ බැවින් එම කාර්යය වඩාත් පහසුවක් වී තිබේ. විදුහලේ එම ගුරුවරියගේ සැමියා එන්නත ලබාගත් තවත් විදුහල්පතිවරයකුගේ හිතවතෙකි. එම ගුරුවරිය තම ගුරු මිතුරියන්ට පවසා ඇත්තේ අදාල විදුහල්පතිවරයා තම පුතු පාසලට ඇතුළත් කිරීමට පොරොන්දුවක් දී පාසල ආසන්නයේ ලිපිනයක් ද සකසා දී ඇති බවයි. එයට අල්ලසක් ලෙස මේ එන්නත ලබාගැනීම සම්න්ධීකරණය කරන්නට ඇතැයි තතු දන්නෝ කියති.

මේ අතර උණවටුනේ ම පිහිටි තවත් පාසලක විදුහල්පතිවරයකුට කොරෝනා එන්නත ලබාගන්න යැයි වෛද්‍යවරයාගෙන් ආරාධනයක් ලැබුණ ද එම විදුහල්පතිවරයා තම ආචාර්ය මණ්ඩලයට එන්නත ලැබෙන තුරු තමන් එන්නත ලබා නොගන්නේ යැයි පැවසූ බව එහි ගුරුවරු කියති.

සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනකුට මේ වනවිට එන්නත් ලබා දී ඇතත් තවමත් එන්නත් නොලැබුණු හෙද හෙදියෝ පවා සිටිති. කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුවම සම්බන්ධවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද තවමත් එන්නත් ලබා දී නැත. ආරක්ෂක අංශවල ද තත්ත්වය එවැනිය. කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධවන පොලිස් නිලධාරීන්ට ද එන්නත් දීම ආරම්භ වූයේ අද (04) වැනි දා ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයකු වාර්තා වූ විට ඔවුන් කොරෝනා මධ්‍යස්ථාන වෙත රැගෙන යන බළකාය පිහටුවා තිබේ. එහි සාමාජික පිරිස 100ක් වන අතර අද (04) වැනි දා සවස්වන විට එම කණ්ඩායම අතරින් තෝරාගත් 10 දෙනෙකුට පමණක් එන්නත් ලබා දී තිබුණේ ලැබී ඇති එන්නත් ප්‍රමාණවත් නැතැයි පවසමිනි.

විදුහලක විදුහල්පතිවරයා යනු ළමුන් සමඟ අවම සම්බන්ධයක් ඇති පුද්ගලයාය. ප්‍රාථමික අංශයේ ගුරුවර ගුරුරවරියෝ දරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බැවින් ඔවුන් වඩාත් අවදානම්ය. මීට හොඳම උදාහරණය ඇත්තේ ද ගාල්ල දිස්ත්‍රික්ක‍යෙනි. ඇල්පිටියේ පාසලක සිසුවකු කොරෝනා ආසාදිත වී දින කිහිපයකට පසු ඒ සිසුවාගේ පන්තිභාර ගුරුවරිය ආසාදිත බව තහවුරු විය. ගුරුවරියට වයිරසය පැමිණියේ එම සිසුවාගෙනි. එවන් අවදානමක සිටින ගුරුවරු ගැන තුට්ටුවකට හෝ මායිම් නොකරන විදුහල්පතිවරු පාසලට ළමුන් ඇතුළත් කිරීමේ අල්ලස් ව්‍යාපාරයේ තවත් එක් කොටසක් ලෙස මෙලසෙ එන්නත් ලබාගැනීම පිළිබඳ සැබැවින් ම විමර්ශනයක් කළ යුතුය.

එන්නත් ලබාගැනීම සඳහා අසුන්දර වෛද්‍යවරයකුගේ මෙහෙයවීම මත රෝහල් කම්කරුවන්, සනීපාරක්ෂක සේවකයන් ලෙස තනතුරු සඳහන් කළ මේ විදුහල්පතිවරු එසේනම් එම වෘත්තිය සඳහා පිටත්කර යැවිය යුතුය. යම් දිනයක කොරෝනා එන්නත්කරණයට විදුහල්පතිවරු ද සුදුසුකම් ලබනු ඇත. එදින මේ විදුහල්පතිවරු තිදෙනා එන්නත් විද ගන්නේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

දැන් ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් තුනක විදුහල්පතිවරු කොරෝනාවලින් සුරක්ෂිත වී ඇති බැවින් ඔවුන් සෞඛ්‍ය අංශවල සේවකයන් ලෙස කොරෝනා එන්නත් වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් කොරෝනා රෝගීන් සම්බන්ධ සෘජු කටයුතු සඳහා ඔවුන් යෙදවීමට ද සෞඛ්‍ය බලධාරීන්ට අවස්ථාව තිබේ.

විදුහල්පතිවරුන්ට පෙර තවත් දින කිහිපයකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින සිසු දරු දැරියන් එන්නත් කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ට සිහිපත් කරමු.  

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!