තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
“මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා,” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවද ජනාධිපතිවරයා පැවසීය.
එම මහා අපරාධය සැලසුම්කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.”