නිදහස් දින පෙළ පාළියට සහභාගී වීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹ ආ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ නිලධාරින් අතර කොරෝනා ආසාදිතයන් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිට පැමිණි සිවිල් ආරක්ෂක නිලධාරීන් මිහින්තලේ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ රැඳී සිටිමින් දිවා කාලයේ දී රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ නිදහස් දින උළෙල සඳහා පුහුණුවීම්වල නිරතත වූ බවත් ඔවුන් එකට නතරවී, එක එක්ව කෑම බීම ගනිමින් සිටි බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙය නිරෝධායන නීති කඩකිරීමක් බවට ඔවුන් පුහුණු පාසලේ බලධාරන්ට උපදෙස් දුන්න ද ඒ පිළිබඳ නිසි පියවර ගෙන නැති බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. එලෙස පුහුණු වූ නිලධාරීන් අතර උණ, කැස්ස හා හෙම්බිරිස්සාව තිබෙන බව දැනගැනීමත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය ගොස් අදාල පුහුණු පාසලේ ප්‍රධානීන් ද දැනුම්වත් කර ඇත.
අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග ප්‍රධානී තේජන සෝමතිලක පවසන්නේ අවසන්වරට මෙම කණ්ඩායමේ 40 දෙනකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ විට ඒ අතරින් ආසාදිතයන් 10 දෙනකු හඳුනාගෙන ඇති බවයි. මේ වනවිට එම කණ්ඩායමෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 17කි. මෙම කණ්ඩායම එකම ස්ථානයක නිරෝධායනය කරන ලෙස උපදෙස් ලබා දී තිබිය දී එම උදෙස් නොතකා ඉන් නිලදාරීන් 200ක පමණ පිරිසක් කොළඹ පෙරහුරු සඳහා දැනටමත් යවා ඇති බව වෛද්‍ය සෝමතිලක පවසයි. මෙය නිරෝධායන නීති උල්ලංඝනය කිරීමකි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිලධාරීන් මේ ස්ථානයට පැමිණ සිටියා. අපි අහඹු පීසීආර් පරීක්ෂණ 40ක් කළ විට ආසාදිතයන් 02 නෙක් හමුවුණා. ඉන්පසු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සුළු ප්‍රමාණයක් කළ විට තවත් ආසාදිතයන් 05ක් හමුවුණා. මේ 07 දෙනාම අනුරාධපුරයට පිටින් පැමිණ සිටි අය. මේ අය ආහාර ගත්තේ එකට. පුහුණු වුණේ නැවතී සිටියේ එකට. ඒ නිසා අපි ඒ සියලු දෙනා නිරෝධායනය කරන්න කීවා. නමුත් එතැනින් 200ක පිරිසක් කොළඹ නිදහස් උත්සවයට යොමුකර තිබෙනවා. උණ හෙම්බිරිස්සාව වගේ රෝග ලක්ෂණ තිබෙන අය මිහින්තලේ නීතියගම ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානක තියලා ගිහින්. ඉන් පසු අපි එම ස්ථානයේ සිටි 40ක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකළා. ඉන් 10 දෙනෙක් ආසාදිතයන් බව හඳුනාගත්තා. මේ අනුව පෙනීයන කරුණක් තමයි එලෙස එකට පුහුණු වූ අය අතර කොරෝනා වසංගතය පැතිර ඇති බව. ඉන් කොළඹ ගිය අය අතරත් ආසාදිතයන් සිටිය හැකියි.”