spot_img
spot_imgspot_img

දොළොස්බාගේ කඳු අතර මියැදුන “පුංචි කොළඹ”

පුවත්

විදෙස්

අතීතයේ මේ නගරය අතිශය ජනාකීර්ණය. රටේ නන් දෙසින් පැමිණි වෙළෙන්දෝ තමන් ගෙන ආ භාණ්ඩ විකුණන්නේ තරඟයට මෙනි. තොරොම්බල් කාරයෝ ද සාරවිට විකුණන වෙළෙන්දෝ ද පමණක් නොව රත්තරන් හා මුතු මැණික් වෙළෙන්දෝ ද ඒ අතර වූහ. රටේ නන් දෙසින් පැමිණෙන බස් රථ ද ගමනාන්තයක් වූ මේ නගරයේ මහා රාත්‍රියේ ගාල් කළ ද නගරය නින්දට යන්නේ නැත. ඒ තරමට ම ජනාකීර්ණය.

පාළුවට ගොස් ඇති දේදුගල නගරයේ කඩ වීදිය

නමුත් අද මේ නගරයට කිසිදු බස් රථයක් පැමිණෙන්නේ නැත. එදා අතීතයේ කොළඹ ප්‍රධාන බස් නැවතුමේ සිට දේදුගල දක්වා ධාවනය වූ බසය පවා දැන් නැවතී ගොසිනි. අමුත්තකු මෙහි එන්නේ නම් ඒ මාස කිහිපයකට එක්කෙනෙක් දෙන්නෙක් පමණි. සමස්ත නගරයම පාළුවට ගොසිනි. කඩ සාප්පු තිබූ ගොඩනැගිලි ගරා වැටී ඇති අතර ඉතිරිව ඇත්තේ සිල්ලර කඩ දෙක තුනක් පමණි. රජයේ ගොඩනැගිල්ලකට ඇත්තේ තැපැල් කාර්යාලය පමණි.

අධිරාජ්‍යවාදී යුගයේ ඉදිවූ පැරණි දෙමහල් කඩයක්

මේ මියගිය නගරයක් වන ”දේදුගල” නගරයයි. තේ ආර්ථිකයේ වර්ධනයත් සමග සංවර්ධනය වී ගොඩනැගුණු දේදුගල එහි බිඳවැටීමත් සමග විනාශ මුඛයට ගොස් ඇත. දේදුගල රටටම අමතකව ඇති සෙයකි.

දේදුගල නගරය හමුවන්නේ බුලත්කොහුපිටියේ සිට දොළොස්බාගේ දක්වා යන ගමනේ දීය. අතීතයේ ගමනාන්තයක් වූ මේ නගරය අද ගමනාන්තයක් නොවන බැවින් මේ මාර්ගයේ යන අයකුට දේදුගල නගරය නොපෙනෙන පරිදි සැඟව තිබෙන්නේ එහි යාමට අතුරු පාරකින් හැරි යා යුතු බැවිනි.

පැරණි කඩයක් අතහැර දමා ඇති අයුරු

බුලත්කොහුපිටියේ සිට දොළොස්බාගේ දක්වා යන කිලෝ මීටර 12.5කින් යුතු මාර්ගය අතිශය සුන්දරය. විටෙක හිටි හැටියේ මිහිදුම් සළුවෙන් වැසී ගොස් ඈතින් පෙනෙන කඳු නිදා සිටින යෝධයන් මෙන් දිස්වේ. තවත් තැනක ඇති වන ගොමුවල සැරිසරන සියොතුන් ගීතවත් අත්දැකීමක් එහි යන සැමට ලබාදෙයි. අතීතයේ මේ මාර්ගය තැන තැන කැඩී ගමනා ගමනය අපහසුව තිබුණ ද දැන් එහි කාර්පට් අතුරා ඇති බැවින් ගමන දුෂ්කර නැත.

දොලොස්බාගේ කඳු

සොබා දහමට ඇලුම් කරන පරිසරයේ සුන්දරත්වය අත්විඳින්නට කැමති අයට මේ මාර්ගයේ යාමට හැකිනම් එය ජීවිතයේ මෙතෙක් නොදුටු සුන්දරත්වයක් අත්විඳින්නට ලැබෙන අපූරු අවස්ථාවක් වනු ඇත. බුලත්කොහුපිටියේ සිට දොළොස්බාගේ දක්වා යන්නේ නම් දිගටම කඳු තරණයක් පවතින අතර එහි ඇති අසීරු වංගු කිහිපය ද නවමු අත්දැකීමක් එක්කරයි. මේ සෑම වංගුවකම පැති බිත්තියේ ඇත්තේ බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කරද්දී වතු හිමිකරුවන් විසින් සැකසූ ගල් තාප්පයයි. සමෘද්ධිමත් තේ ආර්ථිකයක නෂ්ඨාවශේෂ ඉන් විද්‍යාමාන වෙයි. ඉහළට යාමේ දී තමන් මෙතෙක් ආ මාර්ගය සර්පයකුගේ ගමනක් මෙන් දිස්වනු දැකගත හැකිය.

දේදුගල මාර්ගය
කඳු අතරින් සර්ප‍යකු මෙන් දිවෙන මාර්ගය

බුලත්කොහුපිටියේ සිට දේදුගල දෙසට යන විට පළමුවෙන් ම ”රිකිලි ඇල්ල” හමුවෙයි. එය පසුකර මද දුරක් යන විට තෙවැනි වැලමිට වංගුවෙන් වමට හැරී ගියවිට ”නලඟන ඇල්ල” දක්නට ලැබෙයි. මේ ඇල්ලේ විදුලි බලාගාරයක් ඉදිකර ඇති බැවින් එය දැන් අදින් දශක දෙකකට පමණ පෙර දක්නට ලැබුණාට වඩා කෙසඟ වී ගොසිනි. එම ඇල්ල පසුකර මද දුරක් යන  විට මාර්ගය අයිනේම දක්නට ලැබෙන්නේ ”රුක්මල් ඇල්ලයි” ඇල්ලේ උපරිම උස මීටර 20-25ක් පමණ වේ. සුදු සේලයක් කඩා හැලුවාක් මෙන් ඇද හැලෙන ඇල්ල අතිශය සුන්දරය.

රිකිල්ල ඇල්ල
නලඟන ඇල්ල අසළ ප්‍රදේශය
රුක්මල් ඇල්ල

රුක්මල් ඇල්ල පසුකර මද දුරක් යනවිට හමුවන තුං මං හන්දියකින් දකුණට හැරුණු විට අතිතයේ ශ්‍රී විභූතියෙන් තේජමානව තිබී දැනට නටඹුන් නගරයක් බවට පත්වූ දේදුගල නගරය හමුවෙයි. මෙය අතීතයේ හැඳින්වූයේ ”පුංචි කොළඹ” යනුවෙනි.

දේදුගල යනු මෙරට අධිරාජ්‍යවාදී පාලන සමයේ දී ඔවුන්ගේ සුදු වතු පාලකයන්ගේ අණසකට යටත් වූ ප්‍රදේශයකි දොළොස්බාගේ සිට බුලත්කොහුපිටිය දක්වාම වැවුණු සශ්‍රීක බෝග කොළඹ දක්වා ගෙන යන්නට වතු වැවිළිකරුවන්, ඒවායේ සේවකයන් සහ ගැමියන් පැමිණ අළෙවි කටයුතු කළ ස්ථානය දේදුගලයි. එහි මුළින්ම අශ්ව කරත්ත නැවැත්වූ අතර පසුව ලොරි රථ නවත්වන තැනක් බවට පත්ව කාලයාගේ ඇවෑමෙන් බස් රථ නවත්වන නගරයක් බවට පත්ව තිබිණි.

පැරණි ගොඩනැගිලි ජරාජීර්ණව කඩා වැටී ඇති අයුරු

කොළඹින් ගෙනෙන සරුව පිත්තල තොරොම්බල් විකුණූ කඩපිලත්, අවට තේ වගාවන්හි සේවය කළ සියලු දෙනාගේ අවශ්‍යතා සපයන තැනත් වූ මේ දේදුගල නගරය එදා හඳුන්වා ඇත්තේ ”පුංචි කොළඹ” යනුවෙන් බව එහි පදිංචි කරුවෝ කියන්නේ අතීතය ගැන අභිමානයෙන් සේම අවිනිශ්චිත අනාගතය ගැන වේදනාවෙනි. 

කොළඹ, රත්නපුරය, නුවරඑළිය වැනි ප්‍රදේශවලින් පැමිණෙන බස් රථ තුන හතරක් සහ ලොරි කිහිපයක් මහ රෑ ගාල් කර තබන නගරයේ කඩපිල දැන් පාලුවට ගොසිනි. එදා නොනිදපු රෑ කඩය දැන් දක්නට නැත. සුද්දාගේ පාලන කාලයෙ ඉදිකළ පැරණි ගොඩනැගිලි ගරා වැටී පොළොවටම සමතලා වී ගොසිනි. එවැනි ඇතැම් ගොඩනැගිලි කිහිපයක් තමන්ට හැකි ආකාරයෙන් අලුත්වැඩියා කරමින් තවමත් ඒවායේ ජීවත් වන පවුල් කිහිපයක් ද සිටිති. ඒවා ද වෙනස් කර ඇත්තේ අක්‍රමවත් ලෙසිනි.

ඒ.එම්.රණසිංහ බණ්ඩා දේදුගල ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහු මෙසේ කියයි.

ඒ.එම්.රණසිංහ බණ්ඩා

“ඒ කාලේ සෑහෙන කඩ තිබුණා. කඩ 150ක් විතර තිබුණා මතකයි. රෙදි කඩ ගොඩක් තිබුණා. බාබර් සාප්පු තුනක් තිබුණා. දැන් කිසිම දෙයක් නැහැ. අවට ගම්මාන නෙළුඅක්කන, නාංගල, ගඟවැරළිය කියන ප්‍රදේශවලින් හැමෝම එන්නේ දේදුගල නගරයට. ඒ කාලේ දේදුගලට කිව්වේ පුංචි කොළඹ කියලා. කොළඹ වීදියක ඇවිදිනවා වගේ තමයි මේ නගරයේ ඇවිදින එකත්. ඒ කාලේ කවදාවත් කොළඹ නොගිය අය මේ ගමේ හිටියා. නමුත් හැමෝටම කොළඹ තියෙන සියලු දේ තිබුණා. ගොඩක් දියුණු නගරයක්. නමුත් අද මේ සියල්ල විනාශ වෙලා. තේ වතු බිඳ වැටීමත් එක්ක හැමදේම නැතිවුණා. අද කිසිම දෙයක් නැහැ. අද කිසිමදෙයක් නැහැ. කඩ පහක් විතර තමයි ඔක්කොම තියෙන්නේ. ගොඩනැගිලි ටික විතරයි ඒවත් නටඹුන් වෙලා තියෙන්නේ. කඩවල ගෙවල් හදාගෙන පවුල් කීපයක් ජීවත් වෙනවා. මේවා ගොඩගන්න බැහැ. මේක මැරුණු නගරයක් බවට පත්වෙලා. ආපහු ඉතින් මේ නගර නිර්මාණය වෙයි ද කියා කියන්න බැහැ. අපේ ගම හුඟක් බංකොලොත් වෙලා තියෙන්නේ. ගමේ හිටපු පරණ අයත් අඩුයි. හුඟක් අය ගම හැර ගිහිල්ලා. ඉගෙන ගන්න ගමෙන් පිටතට යනවා. ඉගෙන ගත්තු අය ආපහු එන්නේ නැහැ. පහළට ගිහින් පදිංචි වෙනවා. දැන් පවුල් 50ක් විතර තමයි දේදුගලටම ඉන්නේ ඒ කාලේ තනි ඉස්කෝලයක් තිබුණේ හොඳ අධ්‍යාපනයක් තිබුණා. අපි අකුරු ඉගෙන ගත්තේ මේ ඉස්කෝලෙන්. ඉස්සර බස් ගොඩක් දේදුගලට ආවට දැන් ඉතින් අර ඉස්සරහ පාරෙන් යන පැලන්පිටිය බස් එක විතරයි මේ පැත්තටම එන්නේ. ඒකත් දේදුගල නගරයට එන්නේ නැහැ. දැන් නගරයක් නැහැනේ.”

සුනේත්‍රා චන්ද්‍රකාන්ති දේදුගල නගරයේ වර්තමානයේ කඩයක් පවත්වාගෙන යන්නීය ඇය පවසන්නේ මෙවන් කතාවකි.

සුනේත්‍රා චන්ද්‍රකාන්ති

“මම විවාහ වෙලා ගමට පදිංචියට ආවා. මම එනකොට මෙතැන නගරයක් තිබුණේ නැහැ. නමුත් ඉස්සර දේදුගල කියන්නේ ලොකු නගරයක් කියලා හැමෝම කියනවා. නමුත් ඒක හරියට කවදාවත් දැක්කෙ නැති හීනයක් වගේ. දැන් තියෙන්නේ ගරා වැටුණු ගොඩනැගිලි විතරයි. මෙහේ වතු වැඩ කරලා මිනිස්සු හවසට කඩපිලට එනවා. අපේ කඩෙනුත් ඉතින් අවශ්‍ය කළමනා අරගෙන යනවා. අපිට ඒ ආදායම ඇති. හැමෝම කියන්නේ මේ නගරය විනාශ වුණා කියලා. ඉස්සර තිබුණු විදිය කොහොමද කියලා දන්නේ නැති නිසා දැන්නම් කියන්න තියෙන්නේ මේ විදිය අපිට හොඳයි කියලා.”

මේ නගරයේ ඇති එකම රජයේ කාර්යාලය දේදුගල තැපැල් කාර්යාලය පමණි. දේදුගල ආසන්නයේ ඇත්තේ පැලැම්පිටිය ගම්මානයයි. දැන් බුලත්කොහුපිටියේ සිට පැලැම්පිටිය දක්වා බස් රථයක් ධාවනය වෙයි. එය දේදුගල නගරය ආසන්නයෙන් ගිය ද නගරයට එන්නේ නැත.

දේදුගල තැපැල් කාර්යාලය

මළවුන්ගේ නගරයක් වැනි දේදුගල නගරය පසුකර තවදුරටත් ඉදිරියට යන විට පරිසරය නුවරඑළියේ ඇති දේශගුණයට සමාන දේශගුණයකින් යුතුවෙයි. ඒ කඳුකරයේ සීතල සිරුරේ හිරගඬු නංවයි. පැලැම්පිටිය ගම්මානය දක්වා මාර්ගය හොඳින් සකසා තිබුණ ද එතැන් පටන් දොළොස්බාගේ දක්වා මාර්ගය කැඩී ගොසිනි. ගල් මතින් රථයක් ධාවනය කිරීමට සිදුවෙයි. දොළොස්බාගේ සිට බඩු මුට්ටු හිස තබාගෙන හෝ මළුවල දමා එල්ලාගෙන පා ගමණින් පැමිණෙන ගැහැනු පිරිමි වරින් වර දක්නට ලැබෙති.
වයස්ගත මහල්ලන්ද මේ පාරේ යන්නේ වෙහෙස පමණක් නොව තම වයස ගැන ද තැකීමක් නැතිවය.

ලැයින්කාමරවල හා කුඩා නිවාස සාදාගෙන දිවි ගෙවන මේ මිනිසුන් ශ්‍රී විභූතියෙන් යුතු අතීතයක් ගැන මෙනෙහි කළ ද අනාගතය ගැන ඇත්තේ අවිනිශ්චිත සිතුවිලි සමුදායකි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!