ශ්‍රී ලංකාවේ ශෛලමය කලා කෘති අතර අපූර්වතම කලා නිර්මාණයක් ලෙස හැඳින්වෙන ඉසුරුමුණි පෙම් යුවළ හමුවන්නේ අනුරාධපුරයේ රන්මසු උයන භූමියෙනි. මේ කැටයම අද ඇත්තේ එය තිබූ තැන නොවේ.
මෙහි දැක්වෙන පළමු ඡායාරූපයේ ඇත්තේ එම කැටයම රන්මසු උයනේ තිබී හමු වූ පසු ඉසුරුමුණි විහාරයේ බැම්මකට පසුකාලීන සවිකර තිබූ ආකාරයයි. එය සැබැවින්ම තිබුණේ මෙතැන නොවේ.
රන්මසු උයන පසෙකින් ඇති ඉස්සරමුණි විහාරය ලෙස හඳුනාගෙන ඇති වර්තමාන ව්‍යවහාරයට අනුව ඉසුරුමුණි විහාරයේ පසෙකින් සාදා ඇති කෞතුකාගාර ගොඩනැගිල්ලක දැන් ඒ කැටයම තැන්පත් කර තිබේ.
ඉසුරුමුණි පෙම් යුවළ පමණක් නොව ඉසුරුමුණියත් එදා ඒ ස්ථානය සොයාගන්නා විට තිබූ ආකාරයට වඩා අද වනවිට බොහෝ සෙයින් වෙනස් වී ඇත.
පැරණි ඡායාරූප අනුව මේ කුඩා ගල් පර්වතය කේනද්‍ර කරගනිමින් පැරණි සිද්ධස්ථානයක් තිබී ඇති අතර පියගැට පෙළ නැග ගිය විට හමුවන කුඩා පිළිමගෙය වටා බිත්ති තිබුණ ද එයට වහළක් තිබී නැත. පසෙකින් ඇති මිහිදු ගුහාව ලෙස හඳුන්වන ස්ථානයේ ගොඩනැගිල්ලක් තිබූ බවට සළකුණු ඇතත් එවැන්නක් තිබී නැත. ඡායාරූප අනුව පැහැදිලිවන්නේ එ් ස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක් තිබූ බවට ඇති අවශේෂ පමණි.
පසුව පියගැටපෙළ ප්‍රතිසංස්කරණය කර ඒ මස්තකයේ කුඩා පිළිමගෙය ද කොටස් ගලවා ප්‍රතිසංස්කරණය කළ බවත් මිහිඳු ගුහාව ලෙස හැඳින්වෙන කොටසේ කුඩා පියස්සක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකර තිබූ බවත් පෙනෙන්නට තිබේ. මේ අතර පර්වතය මස්ථකයේ කුඩා දාගැබ ඉදිවෙමින් තිබෙන ආකාරය සහ ඝණ්ඨා කුළුණක් සාදා ඇති ආකාරයත් දිස්වේ.
පසුව මිහිඳු ගුහාව ඉදිරිපිට ගොඩනැගිල්ල වඩාත් විශාල කර ඉදිකර තිබේ. පර්වතය මුදුණේ ඇති දාගැබ ඉදිකිරීම් නිමවා කාලයකට පසු ඊට පසෙකින් තිබූ ඝණ්ඨා කුළුන අද වනවිට ඉවත් කර තිබේ.
ඉසුරුමුණි පෙම් යුවල උද්‍යානයෙන් පැන ගොස් ගෘහස්ථ ගතකර ඇත
මේ ඓතිහාසික ඉසුරුමුණියේ සිදුවූ වෙනස්කම් කිහිපයකි.