වල් බිහිවී නටඹුන් වී තිබූ රුවන්වැලි මහා දාගැබ කැණීම් සිදුකිරීමේ දී පස් ගොඩකට යටවී තිබූ බුදු මැදුර 1874 ජුනි මාසයේ දී යළි මතුකරගෙන තිබූ ආකාරයයි මේ. රුවන්වැලි සෑයේ ගිනිකොණ දෙසින් මේ ශෛලමය ප්‍රථිමා සහිත පිළිමගෙය පිහිටා තිබිණි.
මෙරට ඇති බෞද්ධ ස්තූප අතර වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ දාගැබ ලෙස හැඳින්වෙන්නේ අනුරාධපුරයේ රුවන්වැලි මහා දාගැබියි. ශ්‍රී මහා බෝධියට උතුරු දෙසින් පිහිටි මෙම දාගැබ දුටුගැමුණු රජ විසින් ඉදිකරවන ලද බව මහා වංශයේ දැක්වේ.
රත්නමාලී මහා සෑය, ස්වර්ණමාලී හා රුවන්වැලි යන විවිධ නම්වලින් හැඳින්වෙන මෙහි සර්වඥධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කර ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මෙරට දාගැබ් කර්මාන්තයේ විශාල දාගැබ් ඉදිකිරීම ආරම්භ කරමින් ගොඩනගන ලද පළමු දාගැබ ලෙස ද සළකන්නේ රුවන්වැලි චෛත්‍යයයි.
අනුරාධපුර රාජධානිය අතහැර දැමීමෙන් පසු වල්බිහි වී තිබූ අනුරාධපුරයේ ගරාවැටී තිබූ රුවන්වැලි සෑය හඳුනාගන්නා විට එය දිස්වූයේ කුඩා කඳු ගැටයක් මෙනි.
කැණීම් සිදුකළ පුරාවිද්‍යාඥයෝ එය තම සටහන්වල තබා තිබුණේ “පොළොවේ පස් කන්ද කැණීම් කරන විට ගල් බුදු පිළිමයක් හමුවුණා” යනුවෙනි.
1885 දී අනුරාධපුරයේ රජයේ ඒජන්තවරයා වූ එස්.එම්.බරෝස් සටහන් කර ඇත්තේ “ගස්වලින් වැසී තිබූ රුවන්වැලි සෑය මතුකර ගත්තා. දැන් එය මෙතැන් සිට ප්‍රතිිසංස්කරණය කළ යුතුයි. එහි උස අඩි 150ක් වන අතර විශ්කම්භය අඩි 739ක් වනවා. වන්දනාගරුවන්ගේ දායකත්වයත් භික්ෂූණ් වහන්සේලාගේ උත්සායක් නිසා දැන් දාගැබ යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. දාගැබේ වේදිකා දෙකක් තිබෙනවා. මායිම් තාප්පයෙන් පිටත පැත්තේ වටේට ම අලි රවුමක් පිහිටා තිබුණු බව පැහැදිලියි. ගඩොලින් බැඳ සුදු පිරියම් කර තිබූ බව පෙනෙනවා.”
මේ වනවිට රුවන්වැලි සෑය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර අලුත් දාගැබක් සේ දිස්වේ. මේ අතීතය බොහෝ දෙනකුට අමතකව ඇත.