spot_img
spot_imgspot_img

රන්ජන් යනු දේශපාලනයේ ඓතිහාසික අහඹුවකි

පුවත්

විදෙස්

රන්ජන් රාමනායක මගේ සමීප හිතවතෙකි. ඔහු මට ප්‍රථම වරට හමුවූයේ මෙයට දශක දෙකකට පමණ පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් ලියන ලද ‘Democracy under the Executive Presidency in Sri Lanka’ නැමැති කෘතිය දොරට වැඩීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.

කෘතිය පිළිබඳව ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබුනේ මටය. මම දේශනයේදී පෙන්වා දුන්නේ තුවක්කුවෙන් මෙන්ම පෑනෙන්ද මිනිසුන්ට විවෘත සමාජයේ යහ පැවැත්මට බරපතල ලෙස හානි සිදුකළ හැකි බවත්, ජේ. ආර්. ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් මිනිසෙකුට පෑනෙන් කළහැකි ලොකුම හානිය මේ රටට කර තිබෙන බවත් සහ එම හානිය පැහැදිලිව විජේදාස රාජපක්ෂ විසින් කෘතිය තුළින් පෙන්වා දී තිබෙන බවත්ය. පොත ලියූ විජේදාස රාජපක්ෂ (ඒ වනවිට‍) මෙන්ම මමද UNP ක්‍රියාකාරිකයන් විය. උත්සවයට පැමිණ සිටි අති බහුතරය UNP හිතවාදීන් වූ අතර මගේ දේශනය අවසානයේදී පෙනීගියේ දේශනය පිළිබඳව ඔවුන් නොසතුටට පත්ව තිබෙන බවය.

මගේ හිතවතා රනිල් වික්‍රමසිංහ මගේ මූණවත් බැලුවේ නැත. කරූ ජයසූරිය මගෙන් ඇසුවේ ඔබ අපේ කෙනෙක් වෙලා අපිට ගහන්නේ ඇයිද යනුවෙන්ය. තවත් බොහෝ දෙනා බොහෝ දේ කීවේය.

නමුත් මගේ කතාවෙන් උද්දාමයට පත්ව අති මහත් සතුටකින් මා ළඟට පැමිණ ආදරයෙන් මා වැළඳ ගත් එක් පුද්ගලයෙකු විය.

ඔහු රන්ජන් රාමනායක ය. මට මතක විදියට ඔහු ඒ වනවිටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුය. ඔහු මගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමට ඔහුට දැඩි ඕනෑකමක් තිබෙන බවත් ඒ සඳහා ඔහුට උපකාර කරන ලෙසත්ය. මෙයාකාරයට අප දෙදෙනා අතර ආරම්භ වූ හිතවත්කම නොකඩවාම ඉදිරියට ආවේය.

දේශපාලන කරුණු ගැන බොහෝ දේ ඔහු මගෙන් විමසුවේය. මමද ඒ සෑම කරුණක්ම ඔහුට පැහැදිලි කර දුන්නේය. මෙම කාර්යේදී එක් දෙයක් පැහැදිලි විය. කරුණු ඇසීමට මිස කරුණු අවබෝධ කර ගැනීමට ඔහුට උවමනාවක් නොමැති බවය. ඔහුටම ආවේණික වූ දඩබ්බර ගතියක් ඔහු තුළ විය. එයින් මිදෙන ලෙස මම අනන්ත වාරයක් කීවද ඔහුට එයින් මිදීමට නොහැකි විය. ගිය සතියේ පවා ඔහු මගේ අසනීප තත්ත්වය ගැන විමසීම පිණිස කතා කළ අවස්ථාවේදී මම ඔහුට කියා සිටියේ වචන භාවිතයේදී ටිකක් ප්‍රවේසම් වන ලෙසය. නමුත් ඔහු ඒ ගැන එතරම් තැකීමක් කළේ නැත. ඒ නොසැලකිල්ල ගැන වන්දි ගෙවීමට ඔහුට සිදුවිය.

අවුරුදු හතරකට සිර ගෙදරට යාමට සිදුවීම එම වන්දියයි. මම ඒ ගැන බෙහෙවින්ම කම්පාවට පත්වූයෙමි. මේ හා සම්බන්ධව මගේ තවත් සමීප හිතවතෙකු වන එස්. බී. දිසානායක ද මතක් වේ. එස්. බී. ද වසර දෙකකට සිරගෙදරට ගියේ රන්ජන් රාමනායක මෙන්ම පාලනය කරගත නොහැකි කට සහ වචන හේතුවෙනි. සිද්ධිය වනවිට මම හෙක්ටර් කොබ්බෑකඩුව ගොව් කටයුතු සහ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වරයා විය.

හේමකුමාර නානායක්කාර විසින් ගාල්ලේ හබරාදූවේ සංවිධානය කර තිබූ වප්මගුල් උත්සවයට සහභාගි වීම සඳහා මම සහ එස්. බී.ගියේ ඔහුගේ නිල රථයෙන් එකටය. ඒ වනවිට ඔහු අධිකරණය පිලිබඳව කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ උණුසුම් තත්ත්වයක් පැනනැගී තිබුණි. රථයේ යන ගමන් මම නොකඩවාම එස්. බී. ට කියා සිටියේ එම සිද්ධිය ගැන යළිත් කතා නොකරන ලෙසය.

එසේ නොකරන බවට එස්. බී. පොරොන්දු වුවද ඔහුට තමන්ගේ කට සහ වචන පාලනය කර ගැනීමට නොහැකි විය. සපුරුදු පරිදි සුපුරුදු භාෂාවෙන් එස්. බී.අධිකරණය විවේචනය කළේය. ඇති වූ කෝපය සහ කළකිරීම හේතුවෙන් ආපසු කොළඹට එනතෙක් මම එස්. බී. සමග වචනයක්වත් කතා කළේ නැත. දඩබ්බරකමට එස්. බී ද වන්දි ගෙව්වේය. ඒ අවුරුදු දෙකකට සිරගෙදරට යාමෙන්ය.

රන්ජන් රාමනායක ගැන කතා කිරීමේදී එක් අතකින් මට එංගලන්තයේ බිහි වූ විශිෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා වු තෝමස් හොබ්ස් සහ ලෙනින් ‘රාජ්‍යය සහ විප්ලවය’ කෘතිය තුළ කරන ලද ප්‍රකාශයක් (මට මතක පරිදි) සිහියට නැගේ. තෝමස් හොබ්ස් ඉතාම දැඩි රාජාණ්ඩුවාදියෙක් විය. එබැවින් ඒ වනවිට එංගලන්තයේ බලවත් වෙමින් සිටි පාර්ලිමේන්තුවාදීන් හොබ්ස් සැලකූවේ ද්‍රෝහියෙකු` ලෙසය. අනෙක් අතට හොබ්ස් රාජාණ්ඩුවාදියෙක් වුවද ඒ වනවිට‍ රජවරුන්ට බලය ලැබෙන මූලාශ්‍රය ලෙස පිළිගෙන තිබූ දේවවරම් වාදය හොබ්ස් පිළිගත්තේ නැත. ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ රජුට බලය ලැබෙන්නේ මහජනතාවගෙන් බවය. මේ හේතුව නිසා රාජාණ්ඩුවාදීන්ද හොබ්ස් සැලකූවේ සතුරෙකු ලෙසය. හොබ්ස්ට දෙපැත්තම නැති විය. විප්ලවයෙන් පාර්ලිමේන්තුවාදීන් ජයග්‍රහණය කළවිට හොබ්ස් ට සිදුවූයේ ජීවිතය බේරා ගැනීම සඳහා රටෙන් පැන යාමටය.

රන්ජන් රාමනායකට සිදුවූයේද මෙයමය. හොරු ඇල්ලීමට ගොස් කිසිම හොරෙක් ඔහුට ඇල්ලීමට නොහැකි විය. නමුත් හොරු සියලු දෙනාම ඔහුගේ සතුරන් බවට පත්විය. හොරු ජයග්‍රහණය කළේය. අන්තිමේදී ඔහු තනි විය. ඔහුට රටෙන් පැන යාමට සිදුවූයේ නැත. නමුත් සිරගෙදරට යාමට සිදුවිය.

ලෙනින් රාජ්‍යය සහ විප්ලවය තුළ කරන ප්‍රකාශයක් මගින් පෙන්වා දුන්නේ මිනිසුන් අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් වන බවය. නමුත් මිනිසුන්ට කළහැකි බරපතලම වැරැද්ද වන්නේ වරදක් කළවිට එය වැරදි බව පිළිනොගෙන එය නිවැරැදි බව පෙන්වාදීම සඳහා තව තවත් තර්ක කිරීමය. මෙයට සමාව දිය නොහැකි බව ලෙනින් අවධාරණයෙන්ම කියා සිටී. රන්ජන් රාමනායක ගේ හැසිරීමෙන් පෙනී යන්නේ ලෙනින් පෙන්වා දුන් බරපතළ වැරැද්ද ඔහු නොකඩවාම කළ බවය. වන්දිය සිර ගෙදරට යාමට සිදුවීමය.

ඉහත දැක්වූ කරුණු වලින් පෙනී යන්නේ හොබ්ස් සහ ජේ. ආර්. පෑනෙන් මිනිසුන්ට කරන ලද ද්‍රෝහිවීම හේතුවෙන් සමාජය විසින් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බවය.

එස්. බී. සහ රන්ජන් රාමනායක දඩබ්බර කට සහ අවිචාරවත් වචන භාවිතය හේතුවෙන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවය.

මෙවැනි අය දේශපාලන සමාජයක බිහිවීම සිදුවන්නේ ඉඳ හිටය. එබැවින් දේශපාලනය තුළ ඔවුන් හඳුන්වන්නේ ඓතිහාසික අහඹු (Historical Accidents) ලෙසය. නමුත් මෙයින් ඉගෙන ගතයුතු වැදගත් පාඩමක් තිබේ. එනම් දේශපාලනයේදී පෑන සහ කට අතිශය පරෙස්සමින් පාවිච්චි කළයුතු මෙවලම් වන බවය. අවසාන වශයෙන් රන්ජන් රාමනායක මගේ හිතවතා ගැන මම කණගාටු වන්නෙමි. ඔහු විවෘත හදවතක් ඇති යහපත් මිනිසෙකි.

(දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!