spot_img
spot_imgspot_img

දකුණේ කොරෝනා අවදානම තවත් ඉහළට

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් ඊයේ (04) දිනයේ දී වාර්තා වූ ආසාදිතයන් 32ක් සමඟ මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 633 දෙනෙකි. ඊයේ (04) දිනයේ දී ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 16ක් වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ තවමත් හුදකලා කර ඇති ඉඳුරුව තුන්දූව ප්‍රදේශයෙනි. එහි ආසාදිතයන් 15 දෙනකු වාර්තා වූ අතර ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු වාර්තා වී තිබිණි.

මේ වනවිට ඉඳුරුව, බෝපේ පෝද්දල, ගාල්ල නාගරික හා අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරිමේ දී පෙනී යයි.

ඉඳුරුව ආසාදිතයන් 125ක්, ගාල්ල ආසාදිතයන් 210ක්, බෝපේ පෝද්දල ආසාදිතයන් 55ක් සහ අක්මීමණ ආසාදිතයන් 16ක් මේ වනවිට වාර්තා වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ ඊයේ වාර්තා වූ ආසාදිතන් සංඛ්‍යාව 04 දෙනෙකි. ඒ අකුරැස්ස 01 අයෙක්, හක්මන 02 දෙනෙක් හා මාලිම්බඩ 01 අයෙකු වශයෙනි. මාතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 399කි.  ‍සෞඛ්‍ය අංශ පවසන්නේ තවදුරටත් දික්වැල්ල, දෙවිනුවර සහ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දැඩි අවදානම් තත්ත්වයක පවතින බවයි.

දික්වැල්ලෙන් ආසාදිතයන් 106ක්, දෙවිනුවර ආසාදිතයන් 33ක් හා වැලිගම ආසාදිතයන් 126ක් වාර්තා වී තිබේ. වැලිපිටියේ ආසාදිතයන් 42ක් වාර්තා වුව ද මේ වනවිට එම පොකුර නිවී යන බවක් පෙනෙන්නට තිබේ.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් අඩු ප්‍රමාණයක් වාර්තා වුව ද ඊයේ දිනයේ දී ද ආසාදිතයන් 12ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහි වඩාත් අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන්නේ වීරකැටි සහ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයයි. ඊයේ දිනයේ දී ද වීරකැටියෙන් ආසාදිතයන් 06ක්, බෙලිඅත්තෙන් හා වලස්මුල්ලෙන් ආසාදිතයන් 03 දෙනකු බැගින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට වීරකැටියේ එක් ගම්මානයක් කේන්ද්‍ර කරගනිමින් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක් හඳුනාගෙන ඇති බවයි. ඊට අමතරව අඟුණකොළපැලැස්ස හා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ද ආසාදිතයන් දිනපතා වාර්තාවීමේ තත්ත්වක් දක්නට ලැබේ.

මේ වනවිට වීරකැටියෙන් ආසාදිතයන් 32ක්, තංගල්ලෙන් ආසාදිතයන් 29ක් හා අඟුණුකොළපැලැස්සෙන් ආසාදිතයන් 17ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරු තුන්දූව, බෝපේ පෝද්දල ගිංතොට, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ලේ යෝනකපුරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියේ කොරෝනා ආසාදිතයන් වාර්තාවන ගම්මානයේ ජනතාව පීසීආර් පරීක්ෂණ කිරීම සඳහා සහයෝගය නොදක්වන තත්ත්වයක් පවතින බැවින් ආසාදිතයන් සොයා ගැනීම අපහසු වී ඇති බවයි.  

එබැවින් දෛනික වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගත්ත ද ඊට වඩා ආසාදිතන් ‍මෙම ප්‍රදේශවල සිටිය හැකි බැවින් හැකිතරම් සංචරණය සීමා කරගනිමින් නිරන්තරව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!