spot_img
spot_imgspot_img

කොරෝනා සිරුරුවලට කමිටු දෙකක් නැතැයි ඇමතිනිය කියයි

පුවත්

විදෙස්

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන් කමිටුවක් පත්කර නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය පවසන්නේ ඇතැම් මාධ්‍ය මගින් තමන් විද්වත් කමිටුවක් පත්කර ඇතැයි වාර්තා කර තිබූ බවයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

අමාත්‍යවරිය පවසන්නේ කොරෝනා දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඇත්ත් එක් විද්වත් කමිටුවක් පමණක් බවයි. කොරෝනා වසංගතය ආරම්භ වූ කාලයේ දී සියලු දේහ ආදාහනයට පියවර ගත් බවත් පසුව වයිරසයේ හැසිරීම ගැන විද්‍යාඥයන් විසින් අව‍බෝධකරගැනීමෙන් අනතුරුව විවිධ මත ඒ පිළිබඳ ප්‍රකාශයට පත්වූ බවත් ඇය පවසයි. මේ හේතුවෙන් වරින්වර විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇය සමඟ ද සාකච්ඡා කර තිබේ.

ඒ පිළිබඳ අමාත්‍යවරිය මෙසේ කීවාය.

“දැන් විවිධ විද්‍යාත්මක සාධක තියෙනවා. ඒ කරුණු තාමත් පරිශීලනය කරමින් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක සාධක මතයි. රෝගීන්ගේ මළපහ හරහාත් ජල මූලාශවලට මේ වෛරස් එක එකතුවීමේ අවදානම තියෙනවා. හැබැයි අපි වතුර බිව්වා කියලා කොරෝනා හැදෙන්නේ නෑ. සරම්ප තුරන් කෙරුවා, පෝලියෝ තුරන් කෙරුවා වගේ කොරෝනා තුරන් කරන්න හම්බවෙන්නේ නෑ. අපි කොරෝනා එක්ක ජීවත්වෙන්න හුරු වෙන්න ඕනේ.”

අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් තුසිත ජයවර්ධන විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ කොවිඩ් – 19 සම්බන්ධයෙන් මුල් කාලීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වයිරස විශේෂඥයන්, වෛද්‍ය විශේෂඥයන් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවඩ් මරණ ආදාහනය කිරිම හෝ භූමදානය කිරිම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ඩී.එස්.මුණසිංහ විසින් කොරෝනා දේහ ඉවත්කිරීම සම්බන්ධයෙන් විශේෂඥ මතය ලබාගැනීම සඳහා මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයනේ යුතු කමිටුවක් පත්කරමින් යවන ලද ලිපියක පිටපත් අප වෙත ලැබී තිබේ. (එය මේ ලිපියට පහතින් අමුණා ඇත.)

එම කමිටුව විසින් සැකසූ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇතත් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය ප්‍රකාශයට පත්කර නැත. එසේ වුව ද ඇතැම් පුද්ගලයන් විසින් එම වාර්තාවේ පිටපත් අප වෙත එවා ඇතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බැවින් අප එය ප්‍රකාශයට පත්කිරීම අවසන් තීන්දුවක් කෙරෙහි බලපෑම් කිරීමට හේතුවක් විය හැකි බැවින් මෙහි පළ කරන්නේ නැත. නමුත් එම කමිටුව නියෝජනය කරන ඇතැම් වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ද මෙම කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන කමිටුවක් නියෝජනය කර ඇති බවත්, එම කමිටුව නීති විරෝධි බවත් අධිිකරණ වෛද්‍ය ආයතනය පවසයි. මේ වනවිට මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් ලබාදුන් වාර්තාව බවට සඳහන් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු බොහෝ දෙනකු වෙත විද්‍යුත් තැපැල් මගින් යැවීමට ද කටයුතු කර තිබෙන බව අපට වාර්තා වී ඇත.

කමිටුවක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකළ සංවේදී කරුණක් සම්බන්ධ වාර්තාවක් එලෙස නිකුත් කර තිබීම වෛද්‍ය විද්‍යා ආචාරධර්මවලට පටහැනි බව අධිකරණ වෛද්‍යවරු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

නාමල් CID යයි

error: Content is protected !!