ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට තම විෂය ක්ෂේත්‍රයට ආදල දැනුම ලබාදීමෙන් සහ විශේෂඥ සහය ලබාදීමෙන් වැළකී සිටීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන්ගේ ආයතනය තීරණය කළ බව එහි හිටපු සභාපති සහ වත්මන් විධායක කමිටු සාමාජික රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යනු මෙරට සියලු වෛද්‍යවරු නියෝජනය කරන ආයතනයකි. පසුගිය දෙසැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහ සභා රැස්වීම පවත්වා තිබේ. සාමාන්‍යයෙන් මහ සභා රැස්වීමක දී සාකච්ඡාවට ගනු ලබන මාතෘකා සම්බන්ධයෙන් එහි සාමාජික වෛද්‍යවරුන් දැනුම්වත් කිරීම හා එම කරුණු පමණක් මහ සභාවේ දී සාකච්ඡා කිරීම පිළිගත් ක්‍රමවේදයයි. එසේ වුව ද එම මහ සභා රැස්වීමේ දී න්‍යාය පත්‍රයට ඇතුළත් නොවූ කොරෝනා මළ සිරුරු ඉවත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කර ඇත.
විශේෂඥ අධිකරණ වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ මෙවැනි කරුණක් මහ සභාවේ දී සාකච්ඡා කරන්නේ නම් එම විෂයයට අදාල වෛද්‍යවරුන් නියෝජනය කරනු ලබන ආයතනයේ හෝ සංගමයේ උපදෙස් ලබා ගැනීම පිළිගත් ක්‍රමවේදය බවයි. එමෙන් ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට වෛද්‍යමය කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට කමිටුවක් ඇති බවත් එම කමිටුව ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්ට අදාල ආයතනයන්හි සභාපතිවරු නියෝජනය කරන බවත් විශේෂඥ වෛද්‍ය පෙරේරා පවසයි.
නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිත්වය දරනු ලබන විශේෂඥ ස්නායුවේද වෛද්‍ය පද්මා ගුණරත්න එලෙස උපදේශක කමිටුවේ අදහස් නොවිමසා මහ සභාවේ දී කොරෝනා මළ සිරුරු ඉවත්කිරීම පිළිබඳ කරුණු පූර්ව දැනුම්දිමකින් තොරව එහි ආචාරධර්ම උල්ලංඝනය කරමින් මහ සභාවේ දී සාකච්ඡාවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනය බලවත් විරෝධය පළකරන බව ද ඔහු කියා සිටියේය.
21 වැනි දා පැවැත්වූ මහ සභා රැස්වීමේ දී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් යෝජනාවක් මහ සභාවට ඉදිරිපත් කර ඇති අතර ඒ වනවිටත් ඇය එම මළ සිරුරු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක සභාපතිවරියක ලෙස සිටිය දී එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නොවන බව අධිකරණ වෛද්‍යවරු පවසති. ඇයගේ යෝජනාව සාකච්ඡාවට ගැනීමෙන් පසු වත්මන් සභාපතිනිය විසින් මළ සිරුරු ඉවත්කිරීම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ද කමිටු දෙකක් පත්කර ඇති අතර එක් කමිටුවකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් පත්කර තිබූ බැවින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් පත්කළ කමිටුවට ද ඔවුන් පත්කිරීම සදාචාරාත්මක නොවන බව හෙතෙම පෙන්වාදෙයි. විශේෂඥ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා පවසන්නේ මෙම කමිටුව සම්පූර්ණයෙනේම නීත්‍යානුකූල නොවන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුව නියෝජනය කරන පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටුවකට පත්කරමින් එම සංගමය තුළින් ද ඔවුන්ගේ කමිටුවේ මතය සනාථ කිරීමට ආචාරශීලී නොවන උත්සාහයක් ගැනීම හෙළා දකින බව හෙතෙම පවසයි. එමෙන් ම යම් කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටුවක් පත්කරන්නේ නම් එම කමිටුවට නම් යෝජනා කර එය විධායක සභාවේ අනුමැතියෙන් පත්කළ යුතු වුව ද මෙම කමිටුව ඒ ආකාරයට පත්කර නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි. මෙම නීතිවිරෝධී කමිටුව සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා ද පත්කර ඇතත් ඔහු එම කමිටුවේ කටයුතුවලින් ඉවත්ව තිබිණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනිය විසින් හිතුවක්කාර තීරණ ගැනීම සහ මෙතෙක් පැවැති නිශ්චිත ක්‍රමවේදයන්, සම්ප්‍රදායන් හා ආචාරධර්ම උල්ලංඝනය කරමින් විෂයයට අදාල විශේෂඥයන්ගෙන් දැනුම හා විශේෂඥ සහය ලබා නොගෙන කටයුතු කිරීම හේතුවෙන් අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනය තවදුරටත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දැනුමෙන් දෙනු ලබන දායකත්වය නොදීමට පසුගිය දෙසැම්බර් 30 වැනි දින කොළඹ දී පැවැති එම ආයතනයේ විශේෂ විධායක සභා රැස්වීමක දී තීරණය කර ඇත.
පසුගිය දා මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව තම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කර තිබූ අනෙක් කමිටුවත් තම වර්තාව අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර මෙම වාර්තා දෙකෙහි අඩංගු කරුණු පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සෞඛ්‍ය බලධාරීන් සිදු නොකර තිබිය දී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් ලබාදුන් කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත පවා නිකුත් කරමින් සිරුරු භූමදාන කිරීම ගැටලුවක් නැතැයි සමාජයේ මතයක් ප්‍රචලිත කිරීමට උත්සාහ ගැනීව වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි බව ද අධිකරණ වෛද්‍යවරු කියති. එමෙන් ම මෙම වාර්තා දැනටමත් ඔවුන් විසින් මාධ්‍යවෙත නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයන්ට යැවීමට ද කටයුතු කර තිබේ.
විශේෂඥ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පවසන්නේ එලෙස කටයුතු කරන කමිටුවේ සභාපතිවරයා සහ අනිකුත් සාමාජිකයන් පිරිසක් ද නියෝජනය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය විසින් අත්තනෝමතික ලෙස පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් සියලු ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ඊනියා කමිටුවක් පත්කර එය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය ලෙස හුවා දැක්වීමට කටයුතු කිරීම ද වරදක් බවයි.
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති පීසීආර් පරීක්ෂණවලින් ඇතැම් වයිරසවේදීන් පවසන ආකාරයට කොරෝනා වයිරසය මළ සිරුරක දින හතරකට වඩා නොපවතින බවට ඇති මතය සාවද්‍ය බවත් ඊට වඩා වැඩි කාලයක් මළ සිරුරුවල කොරෝනා වයිරසය තිබෙන බවත් සනාථ වූ බව විශේෂඥ වෛද්‍ය්‍ය පෙරේරා කීවේය. මේ පිළිබඳ තවමත් ශ්‍රී ලංකාවේ කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති තත්ත්වයක්තුළ ඊට අදාල විශේෂඥයන් නොවන පිරිසක් විසින් තීන්දු තීරණ ගැනීම දැඩි අවදානම් සහගත කරුණක් බව ද හෙතෙම පෙන්වාදෙයි.