spot_img
spot_imgspot_img

ගාල්ලේ තුන්වැනි කොරෝනා මරණය අද දෙද්දුගොඩ

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා හේතුවෙන් සිදුවූ තුන්වැනි මරණය අද (19) දෙද්දුගොඩ දී සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. ඔහුගේ පවුලේ සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් රෝහල්ගත කර සිටි අය බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තා කර තිබේ.

මේ මළ සිරුර සම්බන්ධ පශ්චාත්මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී එම සිරුරෙන් පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් අධිකරණ වෛද්‍යවරු පවසා ඇත්තේ මෙම මරණය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් බවයි. දිගු කාලයක් නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ගත් මියගිය තැනැත්තා මියයාමට දින දෙකකට පමණ පෙර කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ තිබේ.

මේ පිළිබඳ ඥාතීන්ට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීමට කටයුතු කරන බව ව්‍යෛවරු පවසා සිටි අවස්ථාවේ දී එතැනට පැමිණි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන මොහොමඩ් කියාස් මහතා ඊට දැඩි විරෝධතාවක් පළ කර ඇත. ඥාතීන් ද දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එ අනුව දේහය රජයේ වියදමින් ආදාහනය කිරීම පිළිබඳ හෙට (20) දිනයේ තීරණය කරන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය ආරක්ෂිතව මුද්‍රා තබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෙනම ස්ථානයක තැන්පත් කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට පෙර ගාල්ල මිලිද්දුව පදිංචිකරුවකු පසුගිය 30 වැනි දා කළුබෝවිල රෝහලේ දී මියගියේය. ඔහුගේ දේහය ඥාතීන් විසින් භාර නොගැනීම හේතුවෙන් තවමත් කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. එය ගාල්ලේ පළමු මරණයයි. කොරෝනා වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අහුංගල්ල අක්කර විස්ස පදිංචි කරුවකුද මියගියේය. එය දෙවැනි මරණයයි. දෙද්දුගොඩ සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්වැනි කොරෝනා මරණයයි. එහෙත් මේ මරණ පිළිබඳ මෙතෙක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය  කර නොතිබීම විශේෂත්වයකි.  

මේ අතර ගාල්ලේ දෙද්දුගොඩ ප්‍රදේශයට සංචරණ සීමා ලිහිල් කිරීමටත්, කටුගොඩ, තලාපිටිය හා මිලිද්දුව ග්‍රාම නිලධාරී වසම් සඳහා දැඩි සංචරණ සීාම පනවන ලෙසටත් ඊයේ (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දී නගර සභාව වෙත දැනුම් දී තිබුණ ද නගරාධිපතිවරයා විසින් සංචරණ සීමා පැනවීමේ නියෝග නිකුත් කළේ නැත. නගරාධිපති ප්‍රියන්ත සහබන්දු rata.lk සමඟ අදහස් දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අංශ පවසන පරිදි සංචණ සීමා පැනවිය නොහැකි බවයි. එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට වියළි ආහාර සහ දීමනා ලබා දීමට ප්‍රතිපාදන නොමැති බැවින් එසේ සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!