spot_img
spot_imgspot_img

සුුුුදු හාමුදුරුවෝ ඝාතනය පුවත මාධ්‍ය මැවූවක් ද? සාක්ෂියක් නෑ. අත් ගැටගසා නෑ

පුවත්

විදෙස්

ඉතා මනස්කාන්ත වූ සුන්දර පරිසරය නිසසලය. නේක තුරුලතාවන්ගෙන් ගහන පරිසරයේ ඇසෙන්නේ සියොතුන්ගේ නාදය පමණි.

රත්ගම කලපුවේ ජලය සෙළවෙන බවක් හෝ පෙනෙන්නට නැත. කලපුවට නැමී තිබෙන කදුරු ගසක ලැග සිටි පිළිහුඩුවකු වේගයෙන් දියට පියඹා ගොස් කුඩා මාළුවකු ඩැහැගෙන යලි අත්ත මතට පැමිණියේය. මොහොතකින් ඌ මාළුවා ගිල දැමුවේය.පිලිහුඩුවා යලිත් තම භාවනාවට සම වැදී සිටියි.

ඈතින් මසුන් අල්ලන්නකු දැල් දමනු පෙනේ.

තම කුටිය දෙසට සෙමෙන් සෙමෙන් පියමනින කසාවත් හැඳි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ මේ කිසිවක් නොවුනාක් සේ ගමන් කරන අයුරු සිත මදකට නවතාලයි.

මේ රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයයි.

පසුගිය අට වැනි දා රාත්‍රියේ මේ භූමියේ තිබූ නිසසළ බව බිඳී ගියේය. මේ වනවිට පරිසරය නිසසල වී ඇතත් රත්ගම ප්‍රදේශයනම් තවමත් ඇත්තේ ගැටලු රැසකට මැදිවය.

වසර ගණාවක් මේ ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ සුදු හාමුදුරුවෝ නමින් ප්‍රකට නෙදර්න්තයේ ජිනවංශ මිහියන්ගේ හදිසි අපවත්වීම ඊට හේතුවූයේය.

නෙදර්න්තයේ දී අන්තෝනියස් ගිරාබස් ජොහැන්ස් නමින් උපත ලබා 19 වැනි වියේ දී තායිලන්තයේ දී නෙදර්ලන්ත‌යේ ජිනවංශ ලෙස පැවිදිවූ උන් වහන්සේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ තායිලන්තයේය. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණි ජිනවංශ හිමියෝ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසයනයට වැඩම කර ඇත්තේ 2011 වර්ෂයේ දීය.

රත්ගම කලපුයේ අක්කර හතරක පමණ විශාලත්වයකින් යුතු දූපතක්ව පිහිටි පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයක් බවට පත්කරන්නේ ද ජර්මනියේ ඥාණාතිලෝක නම් හිමිපාණන් වහන්සේ විසිනි. ස්විට්සර්ලන්ත ජාතිකයකු විසින් මේ දූපත මිලදී ගෙන එම හිමියන්ට පූජා කිරීමෙන් එහි ආරණ්‍ය සේනාසනයක ආරම්භය සිදුව ඇත. අදට ද වරින් වර විදෙස් හිමිවරු පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් භාවනානුයෝගීව ගතකර තිබේ.

ආරණ්‍යය පිහිිටි භූමියේ කලපුවට මදක් ආසන්නව පිහිටි කුඩා කුටියක වැඩ වාසය කළ හිමියන් දවසේ වැඩිම කාලයක් ගත කළේ භාවනාවට බව උන්වහන්සේ පිළිබඳ තතු දන්නා ආරණ්‍යයේ ආවතේවකරුවෝ කියති. මේ හිමියන්ගේ විශේෂත්වයක් වූයේ දිනපතාම පාහේ පිණ්ඩපාතය සඳහා ආරණ්‍යයෙන් පිටතට ගමන් කිරීමයි. ඒ සඳහා ආරණ්‍යයේ ඇති කුඩා ඔරුවක් තමන් වහන්සේ විසින්ම පැදගෙන යාම මේ හිමියන්ගේ සිරිත වී තිබිණි. තවත් විශේෂත්වයක් වන්නේ සතියේ දින හත තොටුපොළවල් හතකට පිඬු සිඟා වැඩීමයි. මේ නිසා හිමියන්ට දානය පිරිනමා පින් කර ගැනීමට කලුව අවට පදිංචි ගම්මාන රැසක පදිංචිකරුවන්ට අවස්ථාව උදා වී තිබිණි. බෞද්ධ ධර්මය අදහන පිරිස් මේ අවට ජීවත්වන බැවින් ඔවුහු ද සුදු හාමදුරුවෝ පිඬු සිඟා වඬින තෙක් ඒ අපේක්ෂාවෙන් දානය පිළියෙල කරගෙන සිටීමට පුරුදුව සිටියහ.

ඔ්ලන්ද භාෂාව මෙන්ම තායි භාෂාවත් හැසිරවීමට හැකියාව තිබූ සුදු හාමුදුරුවන්ට සිංහල වචන කතා කිරීමට හැකියාව තිබුණේ සුළු වශයෙනි. නමුත් ගැමියන් හමුවූ විට හැකි පමණින් සිංහල කතා කරන්නට මේ හිමියන් උත්සාහ ගත් බව ප්‍රදේශවාසීහු කියති.

පසුගිය දෙසැම්බර් 06 වැනිදා මේ හිමියෝ පිණ්ඩපාතය වැඩමකළ පසු කිසිවෙකුත් උන්වහන්සේ දැක තිබුණේ නැත. උන්වහන්සේ පිඬු සිඟා වැඩීමට භාවිතාකරන ඔරුව ද වෙනදා තිබූ තැන තිබුණේ නැත. හිමියන් ගැන විපරම් කිරීමේ දී උන්වහන්සේ කුටිය තුළ නොමැති බව දැනගත් පිරිස් ඒ පිළිබඳ විමසිලමත් වූහ.

පසුගිය 08 වැනි දා සවස හිමියන් භාවිතා කරන කුඩා ඔරුව රත්ගම කලපුවේ පරක්කු දූපත අසළ පාවෙමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු ද එ දූපත අසළ තිබී සොයාගත හැකි විය. සිරුර ගොඩගන්නා විට වයරයකින් ගැට ගැසූ කොන්ක්‍රීට් ගලක් එක් පාදයක් තිබූ අතර අනෙක් පාදයේ ද තවත් වයරයක් ගැට ගසා තිබුණ ද එහි ගලක් තිබුණේ නැත. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ අත් පා බැඳ දමා තිබූ බවයි. හිමියන්ගේ සිරුරේ අත් හා පාද එකිනෙක ගැටගසා තිබූ බවට ගිය ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යයකි. පාද දෙකෙහිම වෙන වෙනම ගල් ගැට ගසා තිබූ බවට සළකුණු ඇතැත් ඒවා එකට ගැටසා නැත. අත් ගාටගසා තිබුණේ ද නැත.

එසේ වුව ද බොහෝ දෙනකුගේ සැකය වූයේ මේ සුදු හාමුදුරුවන් කිසිවෙකු හෝ කණ්ඩායමක් විසින් හෝ ඝාතනය කරන්නට ඇති බවයි. එයට හේතුවක් කියන්නට කිසිවෙකුට හැකියාවක් නොතිබුණ ද ඇතැම් ගැමියන් පවසන්නේ මෙවන් කතාවකි.

“ මේ හාමුදුරුවෝ බුද්ධාගම ඉතාමත් හොඳින් පිළිපැද්දා කියලා අපි දන්නවා. භාවනා කරමින් තමයි දවසම ගත කරන්නේ. නමුත් ඇතැම් දවස්වල රෑට හාමුදුරුවෝ ඔරුව පැද‌ගෙන ගිහින් ධීවරයන්ගේ දැල් කපලා දාලා තිබුණා කියලා මාළු අල්ලන අය කියනවා. ඒ අය ඉතින් හාමුදුරුවන් එක්ක තරහින් හිටියේ. අපිනම් ඉතින් මේවා ගැන මොනවත් දන්නේ නැහැ. කවුරු හරි අපරාදයක් කරානම් දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලනවා.”

මරණය ඝාතනයක් දැයි යන සැකය හේතුවෙන් ඒ සම්බන්ධයන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම ස්ථානයට ගොස් (09) වැනි දා උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂනයක් පවත්වන ලෙස නියෝග කළේය.

ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය විශේෂඥ ජානකී වර්ෂාහැන්නදි මහත්මිය ඒ පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූවාය.

ඇයගේ නිගමනය වූයේ මේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවයි. සිරුර පරීක්ෂා කිරීමේ දී පහරදුන් බවට හෝ පොර බදා ඇති බවට හෝ කිසිදු සළකුණක් නොතිබූ බව ද වෛද්‍යවරිය පවසයි. එමේනම ඇගේ නිගමනය වී තිබුණේ මේ හිමියන් ජලයේ ගිලෙන විට සිරුරේ ජීවය තිබී ඇති බවයි. කෙසේ වෙතත් හිමියන්ට කිසියම් ඖෂධයක් ලබාදීමෙන් සිහි මුර්ජා කිරීමකින් හෝ අඩපණ කිරීමකින් දියේ ගිල්වා ඇත්ද යන්න සොයා බැලීම සඳහා සිරුරේ පටක කොටස් වැඩි දුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණායතනය වෙත යැවීමට ද අධිකරණ වෛද්‍යවරිය කටයුතු කර තිබිණි. ඒ අනුව ඇයගේ මරණයට හේතුව ස්ථිරවම ප්‍රකාශයට පත්නොකර විවෘත තීන්දුවක් ලබා දුන්නාය.

සුදු හාමුදුරුවන් හදිසියේම අපවත්වීම පිළිබඳ පුවතින් සමස්ථ භික්ෂු සමාජයම කැළඹි ගියේය. පොලිසිය ද ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකගෙන්, ආරණ්‍යයේ සිටින ආවතේවකරුවකුගෙන්, දායක සභාවේ කිහිප දෙනකුගෙන් හා ආරණ්‍යයේ ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටි පෙදරේරුවකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබිණි.

පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් පවසන්නේ මෙවැනි කතාවකි.

“ මේ හිමියන් නිතරම ඉන්නේ කුටියේ. භාවනාවෙන් තමයි දවසම ගත කරන්නේ. අපිට හමුවෙන්නේ පවා ඉතා කලාතුරකින්. සේනාසනයේ විනය කර්ම තිබෙන දවසට එතැනට වැඩම කරනවා. මේ හිමියන් භාවිතා කරන ඔරුව කලපුවේ පාවෙනවා කියා ආරණ්‍යයට පණිවිඩයක් ලැබුණාම මම ළමයකුට කීවා ඒ ගැන හිමියන්ට කියන්න කියලා. මේ ළමයා නැවත ඇවිත් කිව්වා හිමියන් කුටියේ නැහැ කියලා. අපි හිතුවා හිමියන් පිටතට වැඩම කරන්න ඇති කියලා. පසු දින විනයකර්මයක් තිබුණා. හිමියන් ඒ අවස්ථාවට වැඩම කළේ නැහැ. විනය කර්මයක් කළවිට ආරණ්‍යයේ හිමිවරුන්ට ඒ බව දන්වනවා. මා ඒ ගැන දැන්වීමට හිමියන් හිටයේ නැහැ. ඔරුව තිබේ ද බලන විට එහි හබල තිබුණා. මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය ඇවිත් කුටිය පරීක්ෂා කළා.”

පොලිසිය කුටිය පරීක්ෂා කිරීමෙන් පසු සුදු හිමියන් නිතර වැඩම කරන අසළ දූපතක ඇති හෝටලයක් වෙත ගොස් හිමියන් පැමිණියා දැයි තොරතුරු විමසා තිබේ. එහි දී එම ස්ථානයෙන් දැනුම් දී ඇත්තේ දින තුනකට පෙර පැමිණ යළි වැඩම කිරීමට ගොස් ආපසු හැරී පැමිණ බවයි. එසේ පැමිණ කොරෝනා රෝග ලක්ෂණ ගැන විමසා සිටි බව ද හෝටලයෙන් පවසා තිබේ.

පොලිසිය ඇතුළු කණ්ඩායම ඉන් පසු හිමියන්ගේ ඔරුව පාවෙමින් තිබෙන බව පැවසූ පරක්කු දූපත දෙසට ගොස් පරීක්ෂා කිරීමේ දී සිරුර ද තිබී සොයා ගැණිනි.

හිමියන්ගේ අභාවය පිළිබඳ දැනගත් ජිනවංශ හිමියන්ගේ හිතවත් තවත් නෙදර්ලන්ත ජාතික හිමනමක් ආරණ්‍ය සේනානයට වැඩමකර තිබේ. ඒ හිමියන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් සමඟ පවසා ඇත්තේ ජිනවංශ හිමියන්ට මීට වරස ගණනාවකට පෙර විශාදය නමැති රෝගී තත්ත්වය තිබූ බවයි. ඒ බව එම ආගන්තුක හිමියන් හෙළි කරන තුරු කිසිවක් නොදැන සිටි බව ද උන්වහන්සේ කීහ.

භික්ෂූන් වහන්සේලා පවස්නේ හදිසියේ ම අපවත්වූ ජිනවංශ හිමියන් ධර්මය ගැන හොඳින් දන්නා දැන උගත් එමෙන්ම නිරන්තවරම භාවනාවේ යෙදී සිටි යතිවරයකු බවයි.

පොලිසිය හිමියන්ගේ කුටිය පරීක්ෂා කිරිමේ දී එහි තිබී ජංගම දුරකථන දෙකක්, මෙමර කාඩ්පත් 11ක්, හඬ පටිගත කිරීමේ යන්ත්‍රයක් හා විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සොයාගෙන තිබේ. ඒවා සියල්ල පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

අමරපුර නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ හිමියන්ගේ මරණය ඇතැම් විට සියදිවි නසාගැනීමක් යැයි සැකයක් පවතින බැවින් එය ඝාතනයක් ලෙස අර්ථකථනය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු ඒ සම්බන්ධ නිගමනයක් ලබාදෙමින් මාධ්‍ය වාර්තා පළ නොකරන ලෙස ද ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් හිමියන්ගේ මරණය සම්න්ධ නිශ්චිත තීන්දුවක් ලබාගත හැකිවන්නේ වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකරන ලද සිරුරු කොටස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලැබෙන විද්‍යාත්මක දත්ත විශ්ලේෂණ පදනම් කරගනිමිනි.

නමුත්් සිදුවූයේ ජිනවංස හිමියන්ගේ අතපය බැදදමා බෙල්ලේ ගලක් ගැට ගසා කලපුවට විසිකර ඇති බවට අසත්‍ය ප්‍රචාරය වීමයි. උන්වහන්සේ වතුරට වැටෙන විට ද පණ තිබී දෙඅත් නිදහස් ව තිබී ඇත. කිසියම් පහර දීමකින් හෝ සිහි ඇතිව සිටිය දී පයේ ගැට ගසන ලද ගල බලහත්කාරයෙන් ගැට ගැසූ බවට හෝ දේහය පරීක්ෂා කිරීමේ දී කිසිදු සළකුණක් හමු වී නැත.

ඇතැමුන් පවසන්නේ මේ ආරණ්‍යය එතැනින් ඉවත්කර එහි හෝටලයක් ඉදිකිරීමට ඇති සැළසුමක් හේතුවෙන් ජිනවංශ හිමියන් ඝාතනය කරන්නට ඇති බවිය. නමුත් ජිනවංශ හිමියන් යනු ආරණ්‍යයේ පාලක ස්වාමීන් වහන්සේ නොවේ. ජිනවංස ස්වාමීන් වහන්සේ මරා දමා දශක ගණනක් පැවැති ආරණ්‍ය සේනාසනයක් එතැනින් ඉවත් කළ හැකි ද යන්න ගැටලුවකි.

මේ අතර නීතිඥ පියුමාල් හේරත් ජිනවංශ හිමියන්ගේ අපවත්වීම සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් බවට කරුණු දක්වමින් දෙසැම්බර් 14 වැනි දා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

මේ මරණ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

ගැමියන් ද තම බොදු සිතෙහි ඉමහත් භක්ත්‍යාධරයක් ඇතිකළ සුදු හිමියන්ගේ හදිසි වියෝව පිළිබඳ ඉන්නේ වික්ෂිප්තවය. මේ හිමියන්ගේ අපවත්වීම සත්‍ය වශයෙන් ම සියදිවි නසාගැනීමක් ද ? නැතිනම් තවත් කුරිරු ඝාතනයක් ද ? යන්න දැන ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටිති.

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ මළ මිනිස්සු කිසි දිනක බොරු නොකියන බවයි. ධර්මධර භාවනානුයෝගී සිල්වත් භික්ෂුවක් වූ පොල්ගස්දූවේ සුදු හාමුදුරුවෝ කිසි දිනක බොරු කීවේ නැත. එබැවින් නුදුරු දිනකම සත්‍ය අනාවරණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!