දරුගැබක් විනාශ කිරීම සඳහා නීති විරෝධී ලෙස ඖෂධයක් ලබාගත් සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර විසින් මේ මරණය සම්බන්ධ පරීක්ෂණ පවත්වා ඇගේ මළ සිරුරේ සහ තෙමස් කලලයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව ඇගේ දරුගැබ නැතිකරගැනීම සඳහා අවිස්සාවේල්ලේ ෆාමසියකින් වෛද්‍ය උපදෙස් නොමැතිව කිසියම් ඖෂධයක් ලබාගෙන ඇති බවිය. එම ඖෂධ පානය කිරීමෙන් පසු ඇයට ආසාත්මිකතාවක් ඇති වී තිබෙන අතර ඉන් පසු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගැනීමට ගොස් තිබේ. එම වෛද්‍ය මධ්‍යස්ථාන ඇයට ප්‍රතිකාර කිරීමට නොහැකි බව පවසා ඇය අවිස්සාවේල්ල රෝහලට යොමුකර ඇත.
අවිස්සාවේල්ල රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරුකර යවා සිටිය දී ගැබිනි කාන්තාව එහි දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේ දී අනාවරණය වී ඇත්තේ මියගිය 42 හැවිරිදි සිව් දරු මව ඒ වනවිට තෙමස් ගැබිනියක බවයි.
ඇය පසුගිය 05 වැනි දා තම සැමියා සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලික ඔසු සැළකට ගොස් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව දරු ගැබ විනාශ කිරීම සඳහා සුදුසු ප්‍රතිකාරයක් ඉල්ලා තිබේ. ඒ අනුව ඔසු සැළෙන් ඇයගේ සිරුරට ඇතුළු කිරීමටත්, පානය කිරීමටත් ඖෂධ ලබා දී ඇත.
මෙම ඖෂධ ලබාගත් පසු ඇය ආසාත්මකතාවට පත්ව ඇත. අවිස්සාවේල්ල රෝහලේ සිට හෝමාගම රෝහලට පසුගිය 06 වැනි දා ඇතුළු කර ඇති ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියා ය.
මෙම කාන්තාව විසින් පානය කර තිබූ ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝගියකුට ලබාගත නොහැකි ඖෂධයකි.
මෙම ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.