පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. ඇතැමුන් තර්ක කරන්නේ ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ය. එයට ප්‍රතිචාර දක්වන අනෙක් අය පවසන්නේ ආණ්ඩුවේ ණය ගැනීම පිළිගත හැකි මට්ටමක පවතින බව ය. මේ අතරවාරයේම, ගනිමින් සිටින ණය වැඩියෙන් යෙදවෙන්නේ අයවැය පරතරය පියවාගැනීමට ද, නැතිනම් ගත් ණය නැවත ගෙවීමට ද යන්න අරබයා මත ගැටුමක් ද ඇත.
FactCheck.lk ඉදිරිපත් කරන මෙම පැහැදිලි කිරීම, ආණ්ඩුවේ ණය ගැනීම වටා ගෙතී ඇති ප්‍රධාන ප්‍රශ්න 3 ක් ආවරණය කරයි.
ප්‍රශ්න අංක 01 – ආණ්ඩු ණය ගන්නේ ඇයි?
ආණ්ඩු ණය ගන්නේ මූලික වශයෙන් ප්‍රධාන හේතු 3ක් නිසා ය: පළමුවැන්න- ප්‍රාථමික හිඟය ආවරණය කරගැනීමට. දෙවැන්න- ණය පොලී ගෙවීමට. තෙවැන්න- කල්පිරෙන ණයවල මුල් මුදල පියැවීමට.
වාර්ෂිකව ඉටුකළ යුතු මෙම බැඳීම් 3 එක්ව ගත් විට, වසරක් පාසා ආණ්ඩුවකට ගැනීමට සිදු වන මුළු ණය මුදලේ අගය ලැබේ. මෙය, දළ මුල්‍යන අවශ්‍යතාවය – නැතිනම් GFN (Gross Financing Need) ලෙස හැඳින්වේ.
ප්‍රශ්න අංක 02 – 2024 වසරේ ආණ්ඩුව කොපමණ මුදලක් ණයට ගැනීමට බලාපොරොත්තු වූවා ද?
දළ මුල්‍යන අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන FactCheck.lk කළ ගණනය කිරීමට අනුව 2024 සඳහා ආණ්ඩුව ගැනීමට අපේක්ෂිත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,670 ක් වේ.
ප්‍රශ්න අංක 03 – 2024 වසර තුළ ආණ්ඩුව ගන්නා ණය ප්‍රමාණය මෙම අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යයි ද?
ආණ්ඩුව සිය අයවැයෙන් පහත සාධකවලට අදාළව සීමා පනවා ගැනීමක් සිදුකරයි.
1. දළ මුල්‍යන අවශ්‍යතාවය සහ,
2. ණය තොගයේ වැඩි වීම – යම් නිශ්චිත අවස්ථාවක දී ආණ්ඩුව මත පැටවී තිබෙන සමස්ත ණය ප්‍රමාණය
ආණ්ඩුව මෙම සීමාවන් ඉක්මවා ණය ගෙන තිබේ ද, නැති ද යන්න මින් ඉදිරියට පරීක්ෂා කෙරේ. එය සිදු කරන්නේ 2024 ට පනවා තිබෙන මෙම සීමාවන්ට අදාළව ආණ්ඩුව දේශීය වශයෙන් ගෙන තිබෙන ණය ප්‍රමාණය තක්සේරු කරමින් ය.
දළ මුල්‍යන අවශ්‍යතාවය (GFN) පිළිබඳ පරීක්ෂාව
2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව මෙම වසරේ දළ මුල්‍යන අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුව දක්වා ඇති සීමාව රුපියල් බිලියන 3,670 කි. ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ආණ්ඩුව සැබවින්ම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903 ක් බව මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව පෙනී යයි.
එහෙයින්, අයවැයේ දක්වා ඇති සීමාව – එනම්, රුපියල් බිලියන 3,670 තෙක් සීමාව සැළකිල්ලට ගැනීමේ දී, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය ඇතුළත තවත් රුපියල් බිලියන 1,766 ක මුදලක් ණයට ගැනීමට ආණ්ඩුවට හැකියාව ඇත.
පවතින දත්ත අනුසාරයෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන ණය ගැනීමේ ඇස්තමේන්තුව නැවත විමසා බැලීමට FactCheck.lk කටයුතු කළේ ය. ඊට අදාළ ගණනය කිරීමට අනුව මෙම කාලසීමාවේ ගත යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,612 ක් වේ.
මෙය ඉහත සඳහන් කළ රුපියල් බිලියන 1,766 ට වඩා අඩු මුදලක් වනවා සේම අයවැයෙන් පනවා ඇති සීමාව ඇතුළත ද පවතින්නක් වේ.
ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ගත යුතු ණය මුදල මෙසේ අඩු වී තිබීම භාණ්ඩාගාර බිල්පත්වලට සිදුකළ යුතු පොලී ගෙවීම්වල පහත වැටීමට බැර කළ හැකිය. එම පොලී ගෙවීම් 2024 අයවැය ඇස්තමේන්තුවල සඳහන් සංඛ්‍යාවලට වඩා අඩු මට්ටමක පැවතිණ.
ප්‍රතිඵලය – දළ මුල්‍යන අවශ්‍යතාවය වෙනුවෙන් අයවැයෙන් පනවා ඇති සීමාව ඉක්මවා 2024 වසරේ මුදල් ණයට ගැනීමක් මේ නිසා අපේක්ෂා කළ නොහැකි ය.
ණය තොගය පිළිබඳ පරීක්ෂාව
ආණ්ඩුවේ ණය තොගයේ ඉහළ යාම සඳහා අපේක්ෂිත සීමාව ගණනය කිරීමට, දළ මුල්‍යන අවශ්‍යතාවයට පනවා ඇති සීමාවෙන් අපේක්ෂිත ණය ගෙවීම් අඩු කිරීමට පළමුවෙන් කටයුතු කෙරිණ.
ආණ්ඩුව මුදල් ණයට ගෙන ඇත්තේ කල්පිරෙන ණය පියැවීමට නම් ණය තොගයේ ඉහළ යාමක් සිදු නොවේ. නමුත්, ඊට අමතරව, අයවැය පරතරය පියැවීමටත් ආණ්ඩුව ණය ගන්නේ නම්, එය ණය තොගයේ ඉහළ යාමකට හේතු වේ.
2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,401ක් වනු ඇතැයි ආණ්ඩුව පුරෝකථනය කර ඇත. ඒ අනුව, ඒ හා සමානම අගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර, ණය තොගයේ වැඩි වීමටත් රුපියල් බිලියන 2,401 ක සීමාවක් එමගින් පනවා ඇත.
ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ඇති කාලයේ රුපියල් බිලියන 956 කින් ණය තොගය ඉහළ ගොස් ඇත. ණය තොගයේ වැඩිවීමට අයවැයෙන් පනවා ඇති ඉහත සීමාව සැලකිල්ලට ගත් විට මෙහි අර්ථය නම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා තවත් රුපියල් බිලියන 1,445 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට තිබුණු බවය.
අයවැය පරතරය පියවාගැනීමට අවශ්‍ය වන මුදල දේශීය සහ විදේශීය ණය ඇසුරින් සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි යන්නත් අයවැයේ දක්වා ඇත. එය පදනමේ සිට ඉහත දැක්වූ රුපියල් බිලියන 1,445ක ණය අවකාශය ගත් විට, දේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 1,030 ක ණයවලින් සහ විදේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 415 ක ණයවලින් එය පියවා ගැනීමට අපේක්ෂිත විය.
ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය අතරතුර දේශීය ණය තොගය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371 කින් පමණි. එනම්, දෙසැම්බර් මාසය දක්වා දේශීය මට්ටමින් ගන්නා ණයවලට අයවැයෙන් පනවා ඇති සීමාව සැලකිල්ලට ගත්විට (රුපියල් බිලියන 1030), දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට ඇත.
ප්‍රතිඵලය – දෙසැම්බර් මාසය වන විටත් මේ සා ණය ප්‍රමාණයක් ගැනීමට අවකාශය ඉතිරිව තිබීමෙන් පෙනී යන්නේ 2024 වසරේදී ආණ්ඩුව දේශීය මට්ටමින් ලබා ගන්නා සමස්ත ණය මුදල පැහැදිලිවම අයවැයෙන් දක්වා ඇති සීමාව ඇතුළත පවතින බවයි.
දළ මුල්‍යන අවශ්‍යතාවය සහ ණය තොගයේ වැඩිවීමට අදාළව පනවා ඇති සීමාවන් ඇසුරේ ඉහත ප්‍රතිඵල සැලකිල්ලට ගත් විට 2024 වසරේදී පමණට වඩා වැඩියෙන් ණය ගැනීමට සිදුවීමේ අවදානමක ආණ්ඩුව නොසිටින බව පැහැදිලි වේ.
FactCheck.lk යනු වෙරිටේ රිසරච් ආයතනය යටතේ පවතින වේදිකාවකි. තවත් කරුණු පිරික්සුම් බැලීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න – https://factcheck.lk/