හොර වෙදෙක් පොලිසියට දුම් අල්ලලා. පොලිස් පොකුරට හේතුව ද?

0
234

කොරෝනා ආසාදනය වැඩි වශයෙන් පැතිරී ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ට හොර වෙදෙක් දුම් මුට්ටියක් අල්ලා ඇති බව අනාවරණය වී තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ලියාපදිංචියක් ලබා නොමැති වෙනත් රැකියාවක නිරතව සිටින ගම්පහ පදිංචි මෙම පුද්ගලයා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතනවෙත දුම්මුට්ටි හඳුන්වාදීමට කරගෙන ගිය සංවිධානාත්ක වැඩ පිළිවෙල නතර වී ඇත්තේ බස්නාහිර පලාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා ගේ මැදහත්වීම හේතුවෙනි.

ඔහු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට මෙම දුම්මුට්ටය හඳුන්වාදීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවට ආණ්ඩුකාරවරයා විසින් පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා ගෙන්වා තිබේ. එම අවස්ථාවේ දී වෛද්‍ය මාලා පෙරේරා ඔහු වෛද්‍යවරයකු නම් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලය විමසූ විට පවසා ඇත්තේ තමන් දේශීය වෛද්‍යවරයකු බවයි. දේශීය වෛද්‍යවරුන් ද ලියාපදිංචිය ලැබීම අනිවාර්ය බැවින් ලියාපදිංචි වී ඇත්දැයි විමසූ විට තමන් ලියාපදිංචියක් ලබා නොමැති බව ඔහු පවසා ඇත.

ඒ අනුව මෙරට කිසිම පුද්ගලයකුට වෙදකම් කිරීමට හෝ ඖෂධ ලබාදීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති අතර කොරෝනාවලට ප්‍රතිකාර කරන බව පවසමින් බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කරන්නේ නම් ඔහු නීතිය හමුවේ වරදකරුවෙකි.

බස්නාහිර පළාත සහ රථවාහන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.ඩී.තෙන්නකෝන් විසින් මෙම පුද්ගලයාගේ දුම් මුට්ටිය හා බෙහෙත් වට්ටෝරුවක් ලෙස හඳුන්වන ලේඛනයක් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන කොට්ඨාසවල සියලුම පොලිස් නිලධාරීන් වෙත යවා එම දුම්මුට්ටියෙන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව ද දන්වා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ලිපියේ සඳහන් කර ඇත්තේ 2020-11-05 වැනි දින බොරැල්ල පොලිස් ස්ථානයේ දී කමල් රාජපක්ෂ නමැති දේශීය වෛද්‍යවරයකු විසින් පොලිස් නිලධාරීන්ට දුම් මුට්ටිය ආග්‍රාණය කිරීමට ලබාදුන් බවයි. එහි සාර්ථක ප්‍රතිඵල ඇති බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා 2020-11-06 වැනි දින පැය 14.00න් පසු කොළඹ දිසාවේ සියලුම පොලිස් ස්ථාන වෙත එම වෛද්‍යවරයා පැමිණිමට නියමිත බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සපයන බවත් සියලුම ස්ථානාධිපතිවරුන්ට එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම දුම්මුට්ටියෙන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුව ද එම ලිපියේ දක්වා ඇත්තේ දුම් මුට්ටිය ඇල්ලීමේ දී ද දුරස්ථභාවය සහිතව අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ද අනුගමනය කළ යුතු බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඉදිරියේ ඔහු තමන් ලියාපදිංචි වෙද මහත්මයකු නොවන බව පිළිගත් අතර ඔහු පවසා ඇත්තේ තම පරම්පරාව වෙද පරපුරක් බවයි. පරම්පරාවෙන් පැවත එන පුස්කොල පොත් තොගයක් තමන් සතුව ඇති බවත් ඒවා නාගඅර්ජුන අක්ෂරවලින් හා පාලි අකුරුවලින් මිශ්‍රවන ලෙස ඉන්දියාවේ ලියා තිබෙන බවත් ඒ පොත්වලින් මේ වට්ටෝරුව සකසා ගත් බවත් ඔහු පවසා ඇත. ඔහු පවසන්නේ දුම් මුට්ටිය සඳහා කිලෝ තුනක් පිසිය හැකි මුට්ටියක් අවශ්‍ය බවයි. නමුත් ඔහුගේ වට්ටෝරුවේ බර කිලෝ හයකි.

නමුත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා පවසන්නේ ඔහු තමන් ලියාපදිංචියක් ලබා ගෙන නැති බව පිළිගත් අතරම පරම්පරාවේ වෙද මහත්මයකු සිටි බව හෝ සනාථ කිරීමට නොහැකි වූ බවයි. ඔහු පවසන පරිදි නාගඅර්ජුන යනුවෙන් හඳුන්වන අක්ෂර වර්ගයක් නොමැති අතර පාලි භාෂාවට ද හෝඩියක් නොමැති බැවින් පාලි අකුරු නැත. ඔහුගේ බෙහෙත් වට්ටෝරුවේ යකිනාරං කොළ අඩංගුව ඇත. මේ වට්ටෝරුව ඉන්දියාවේ පුරාණ වට්ටෝරුවක් නම් යකිනාරං නමැති ශ්‍රී ලංකාවට ආවේණික ශාකය එම වට්ටෝරුවට ඇතුළත් වීමට ඉඩක් නැති බව ද වෛද්‍ය පෙරේරා පවසයි.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මෙම පුද්ගලයා ව්‍යාජ වෙදෙක්. වසංගත තත්ත්වය හමුවේ විවිධ බෙහෙත් වට්ටෝරු කියමින් තමන් හෙළ වෙදකම කරනවා කියා ඇතැම් පුද්ගලයන් මුදල් ගැරීමේ ව්‍යාපාරයක් පටන් අරගෙන තිබෙනවා. මෙයත් පැහැදිලිවම ඒ වගේ කෙනෙක්. පොලිසිවලට ආණ්ඩුකාර කාර්යාලය වගේ තැන්වලට නොමිලේ දෙනවා කියනවා. මේවාට මේ අයට වියදමක් යන්නේ නැහැ. නමුත් මේවා ප්‍රචාරය කරන්න ප්‍රචලිත කරන්න කියා එයාලට ගොඩක් පරිත්‍යාග ලැබෙනවා. අපි මේ පුද්ගලයා ගැන සොයා බැලුවා. වෙද පරම්පරාවකට හෝ සම්බන්ධ බවක් තහවුරු වුණේ නැහැ. ඔහුට ඒ ගැන සනාථ කරන්නත් බැරිවුණා. ඔහු මුලින් ම කීවා කොරෝනා වැළඳුණු රෝගීන් 10 දෙනෙකුට ප්‍රතිකාර කළා කියා. කොරෝනා හැදුණු රෝගීන් කිසිම කෙනෙකුට මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙලින්ම රෝහල්ගත කරනවා. ඒ බව කිව්වාම එයා පිළිගත්තා තමන් එවැනි අයට ප්‍රතිකාර නොකළ බව. එයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළානම් දැන් මේ පුද්ගලයාත් ඉන්න ඔ්නෑ නිරෝධායනයේ. මේ වගේ අයට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.”

මෙම පුද්ගලයා නමින් කමල් රාජපක්ෂය. නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යවන ලද ලිපියේ ඔහුගේ දුරකථන අංකය සටහන්ව ඇති බැවින් අපි ඔහුට කතා කළෙමු. ඔහු කියා සිටියේ තමන් හෙළ වෙද පරම්පරාවකින් පැවත එන බවයි. නමුත් පරපුරේ විස්තර කීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත.

කමල් රාජපක්ෂ මෙසේ කීවේය.

“මම ලියාපදිංචියක් ගත්තේ නැහැ. ලියාපදිංචි වුණාම බදු ගෙවලා ඉවරයක් නැහැ. වෙදකම් කරන්න ලියාපදිංචි අවශ්‍ය නැහැ. මම මේ පැරණි වෙදකම මිනිස්සු වෙනුවෙන් කරගෙන යන්නේ. කොරෝනා රෝගීන් 10 දෙනෙක් මම දවස් තුනෙන් සුවපත් කළා. පොසිටිව් වෙච්ච ඒ 10 දෙනාගෙන් තුන්දෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ. අනෙක් හත්දෙනා බොරැල්ල පොලිසියේ. ආණ්ඩුකාරතුමාට ලොකු වුවමනාවක් තිබුණා මේක අනෙක් මිනිසුන්ටත් හඳුන්වාදෙන්න. නමුත් ආයුර්වේද කොමසාරිස් ඇවිත් එ්ක කරන්න දුන්නේ නැහැ. පාරම්පරික පොත් තියෙනවා. ඒවා පාලි අකුරුවලින්, නාග අක්ෂරවලින්, සංස්කෘත අකුරුවලින්, බැඳි අකුරුවලින් ඒ හැම භාෂාවක්ම මිශ්‍ර කරලා ලියලා තියෙන්නේ. මට පාලි අකුරු කියවන්න පුළුවන්. කොරෝනා ලෙඩ්ඩු අරගෙන යන රෝහල්වලත් කරන්නේ කොත්තමල්ලි බොන්න දෙන එකයි හුමාලය අල්ලන එකයි විතරයි. මම දැන් මේක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දීලා තියෙන්නේ පරයේෂණ කරන්න කියලා. මගේ සීයා කඩුවේගං වෙද මහත්තයෙක්. මම ශ්‍රී ලංකාවේ සුප්‍රසද්ධ මූල්‍ය ආයතනයක ශාඛාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් විදියට වැඩ කරනවා. මම මාසයකට ලක්ෂ හත අටක් එතැනින් ආදායම් ලබනවා. මේවා මුලට විකුණන්න මට අවශ්‍ය නැහැ.”

ආයුර්වේද කොමසාරිස්වරිය පවසන්නේ ඔහු තමන්ට හමුවෙද්දී ඔහුගේ බෙහෙත් වට්ටෝරුව කිසිම පර්යේෂණයක් සඳහා ඉදිරිපත් කර නොතිබූ බවයි. ආයුර්වේද බෙහෙත් පිළිබඳ කිසිදු පර්යේෂණයක් නැතැයි ඔහු පැවසූ බැවින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එවැනි පර්යේෂණ සඳහා දැනට කටයුතු කර ඇති බව තමන් පැවසූ බැවින් දැන් ඔහු තම වට්ටෝරුව විශ්වවිද්‍යාලයට යොමුකර ඇතැයි අසත්‍ය ප්‍රකාශ කරන බව ද ඇය කීවාය.

ඔහු පැවසූ මූල්‍ය ආයතනයේ අදාළ ශාඛාවට ඇමතුමක් ගත් විට එහි නිලධාරියකු අපට කියා සිටියේ එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු නොමැති බවයි. එමෙන් ම දුම් මුට්ටි තැන තැන රැගෙන යන පුද්ගලයා කළමනාකරුවකු නොවන බවත් ආයතනයේ නියෝජිත කණ්ඩායමක නායකයකු බවත් කීවේය. එතැන දී ද ඔහු අ සමග පවසා ඇත්තේ අසත්‍යයකි.

මෙම පුද්ගලයා ව්‍යාජ වෛද්‍යවරයකු බවත් මෙම දුම්මුට්ටි ඇල්ලීම ප්‍රතිඵල රහිත බවත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දැනුම්වත් කිරීමට කටයුතු කළ බව ද බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය අපට කීවාය. එම දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මෙවැනි ක්‍රම අනුගමනය නොකරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි ද ඇය පවසයි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here