“හිස්බුල්ලාට ඉඩම දුන්නේ හිටපු ජනාධිපති” යැයි පාස්කු කොමිසමේ දී කියයි

0
134

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ආරම්භ කිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබාදී ඇත්තේ එවකට මහවැලි විෂයභාර අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ බව ජනාධිපති කොමිසමේ දී ඊයේ (13) අනාවරණය විය.

ඒ, ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරයා, ඊයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදි ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයකරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසංක උදය කුමාර මහතා ය.

එහිදී ඔහු කියා සිටියේ හිරා පදනමේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා විසින් වෘත්තීය පුහුණු ආයතනයක් ඇරඹීම සඳහා 2012.03.15 වැනි දින මහවැලි අධිකාරියට අයත් ඉඩමකින් අක්කර 25ක් ඉල්ලා සිටි බවය.

ඒ සඳහා හිරා පදනම ඉදිරිපත් කළ අයදුම්පතේ, සෞදි අරාබියේ වෘත්තීය පුහුණු ආයතනයක ආධාර ප්‍රකාරව වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට ඉඩම් අක්කර 35 ක් අවශ්‍ය බව සඳහන්ව තිබු බව සාක්ෂිකරු කියා සිටියේ ය.

පසුව ඒ සඳහා ලබාදීමට සුදුසු ඉඩමක් පිළිබඳ සොයාබලන ලෙස එවකට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරින්ට දැනුම් දී තිබු බවත් ඒ අනුව සුදුසු ඉඩම් අක්කර 35ක් පිළිබඳ නේවාසික ඉඩම් කළමණාකාරවරයාට දැනුම්දීමෙන් පසු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ හිරා පදනමට බදු පදනම යටතේ ඉඩම් නිදහස් කිරීම සිදුවූ බව ඉඩම් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “සාමාන්‍යයෙන් ඉඩමක් ලබාදෙන්නේ පුද්ගලයෙකුට හෝ නෛතික තැනැත්තෙකුට, නෛතික තැනැත්තෙක් ලෙස සළකන්නේ සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ ආයතන පමණයි. එතකොට ඔබ ඔය කියපු විදිහට ඉඩම් අක්කර 35ක් ඉල්ලුම් කළ හිරා පදනම කොහොමද නෛතික පුද්ගලයෙක් වෙන්නේ ?,” 

“ස්වාමිනි, හිරා පදනම ඉදිරිපත් කරලා තියෙනවා ඔවුන් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබු බව තහවුරු කිරීමේ සහතිකයක්. එකෙන් තමයි මේ ඉඩම් අරන් තියෙන්නේ. ” යැයි සාක්ෂිකරු පිළිතුරු දුනි.

මෙහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ, “මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩම් අක්කර 35 බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීම සඳහා බදුදෙන අවස්ථාව වනවිට මහවැලි විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?,” යන්න ය.  

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ එම අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි විශයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඔහු මෙම ඉඩම් බදුදීමේ ගිවිසුම අනුමත කර තිබු බවය.

මූලාශ්‍රය – adaderana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here