spot_img
spot_imgspot_img

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කාර්යාලයත්, පොලිසියත් කාලි අම්මාට බයවෙලා අපරාධවලට උදව් කරයි

පුවත්

විදෙස්

බණ්ඩාරවෙළ නගරය ආසන්නයේ කොවිලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක සිදුකරන අපරාධමය වරදකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ සියයලු පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය ලැබෙමින් පවතී.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සේනානායක මාවතේය. ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමින් පවත්වාගෙන යන එම ස්ථානය තනි පුද්ගලයකුගේ දේපළක් වන අතර පාලක මණ්ඩලයකින් පාලනය වන්නක් ද නොවේ.

මෙම ස්ථානයේ බිලි පූජා පවා පවත්වන අතර නිරුවත් කාන්තා රූප සහ කුඩා දරුවන් දුටුවිට බිය උපදවන රූප පවා ප්‍රදර්ශනය කරමින් ඝෝෂාකාරීව කටයුතු කිරීම ප්‍රදේශයටම මහත් කරදරයක් බව ඒ අවට පදිංචිකරුවෝ කියති.

මෙම ස්ථානයෙන් සෑම දිනක ම උදෑසන 6.00 සිට 12.00 දක්වාත් සවස 3.00 සිට 6.00 දක්වාත් සහ හඬින් විවිධ ගීත, යාතිකා සහ වෙනත් ආගමික වැඩසටහන් විසුරුවා හැරීම සිදුකරයි. මේ සම්බන්ධයෙන් ආසන්න නිවසක පදිංචිකාරියක් වන සරෝජනී එල්ලාවල නමැති කාන්තාවක් විසින් දිගින් දිගටම පොලිසියට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට, ජාතික පෙපාලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැත.

කන්දසාමි අයියර් සුභාගර් සර්මා නමැති පුද්ගලයකු විසින් මෙය පවත්වාගෙන යන අතර සරෝජනී එල්ලාවලගේ පැමිණිල්ලකට අනුව පොලිසියට කැඳවූ අවස්ථාවක දී ඔහු එම කාන්තාවට මරණීය තර්ජන පවා කර ඇත. ඇය පවසන්නේ ඔහු තමන්ට මරණීය තර්ජන කළේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපිට දී බවයි.

මෙම ඝෝෂාකාරී ශබ්ද විකාශනය අපරාධමය වරදක් බව පවසමින් ඇය පසුගිය දා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් සැරයන් වරයකු ඊයේ (2023-04-25) දින ඇගේ නිවසට පැමිණ මෙම කෝවිල යැයි කියන ස්ථානයේ ශබ්ද විකාශනය සම්බන්ධයෙන්න පැමිණිලි කරන්නේ ඇය පමණක් බව ද එනිසා පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද කියා ඇත. එමෙන් ම මෙම ස්ථානයට ප්‍රදේශයේ ප්‍රභූන් පවා පැමිණෙන බවත් එය ආගමික කටයුත්තක් බැවින ශබ්දය පිටතට විකාශය වීම වැළැක්විය නොහැකි බවත් පවසා ඇත. කෙසේ වෙතත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සඳහන් කරමින් කියා ඇත්තේ අද (26) සවස පොලිසියට පැමිණෙන ලෙසයි.

‍ෙකෙසේ වෙතත් 2020.10.28 දිනැතිව බණ්ඩාරවෙළ සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.එම්.දසනායක විසින් කෝවිලේ හිමිකරුට යවා ඇති ලිපියකින් දන්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුවක් අනුව මහජන පිඩා සිදුවන පරිදමෙම ශබ්ද වාහිනී භාවිතා කිරීම තහනම් කර ඇති බවයි. එමෙන්ම ඔහුගේ කොවිලේ එලෙස අධික ශබ්ද තරංගමාලා පිටකරමින් කටයුතු කරන බවට ද අනාවරණය වී ඇතැයි සහකාර පොලිස් අධිකාරී වරයා දැනුම් දී ඇත. එබැවින් අධිකරණයට කරුණු වාර්තාකර නියෝගයක් ලබාගෙන කටයුතු කරන බව ද දන්වා ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර ගලවන්න යැයි එම ලිපියේ සඳහන් කර නැත.

අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ලිපිය යවා තවත් වසර කිහිපයක් ගත වී ඇත. එතෙක් පොලිසිය ගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ද නැත.

මෙම කෝවිලේ වහළ මත සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර කිහිපයක් පොලිසිය විසින් ඉන් වසරකට පමණ පසු ගලවා දැමුව ද කෝවිලෙන් අධි බලැති බෆල් යොදාගෙන ශබ්ද විකාශනය දිගින් දිගටම සිදුකරයි.

භාරකාර මණ්ඩලයකින් පාලනය නොවන එක් පුද්ගලකුගේ පුද්ගලික වුවමනාවට පවත්වාගෙන යන මෙම කෝවිල සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීමත් පොලිසිය ඒ ගැන උනන්දුවක් නොදැක්වීමත් බපරතල ගැටලුවකි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් 09 වැනි දා තීන්දුවක් දී ඇත. එම තීන්දුවේ දැක්වෙන්නේ මෙම ආකාරයෙනි.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විටදී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙන යාමට බාධාවක් විය නොහැක. අසල් වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විදීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනව සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ සජ්ජායනවකාට සම්බන්ධ නොවන පුද්ගයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණය අනුව එම කාලි අම්මා කෝවිල මගින් කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007-11-28 දිනැතිව සියලුම දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උපදෙස් මාලාවාක් නිකුත් කර එම එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

නමුත්, බණ්ඩාරවෙල පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගණනකට නොගනී.

මෙම කෝවිලේ හිමිකරුවා දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් කරයි. පොලිසියට ඒ ගැන පැමිණිලි කළ ද නීතිය ක්‍රියාත්මක නොකර යළි අධිකරණයේ පිහිට පැතීමට උත්සාහ ගැනීම බරපතල ගැටලුවකි.

විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා භාවිතා කළ හැකිවන්නේ අවට සිටින පුද්ගලයින්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.

බණ්ඩාරවෙල මූළස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කෝවිල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධව කිසිදු අවසරයක් ගෙන නැති බවයි.

පොලිසිය ඒ බව හොඳින්ම දන්නේ නම් පොලිසිය කළ යුත්තේ පොලිසියට පැවරී ඇති බලතල ප්‍රකාරව පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම කෝවිලට ගොස් නීති විරෝධී පිරිත් විකාශනය සිදුකරන ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80(4) වගන්තිය අනුව ඒ ගැන අධිකරණයට වාර්තා කිරීමයි.

මීට අමතරව, 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පිඩාවක් බවට තීන්දුවක් දී ඇත.

එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් 2018-01-17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 නඩුවේ තීන්දුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇත.

මෙවැනි අධිකරණ නියෝග තිබිය දී පවා බණ්ඩාරවෙල පොලිසිය මහජනතාවට පීඩාකාරී මේ කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ ගලවාගෙන ගොස් එම සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ බිලි පූජා කරමින් පවත්වාගෙන යන කාලි අම්මාන් කෝවිලට ඇති මර බිය නිසාදැයි දැන් ප්‍රශ්න කිරීමට සිදුව තිබේ.

සිදුවෙමින් පවතින්නේ වෙනත් දෙයකි. පොලිසියේ ඉහළම නිලධාරීන් පමණක් නොව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය ද මේ ‍නීතිවිරෝධී කාර්යයට දායක වෙයි.

පසුගිය පෙබරවාරි 18 වැනි දා මහා ශිව රාත්‍රී දිනයයි. එදින උදෑසන සිට මේ කෝවිලේ මහ හඬින් ශබ්ද විකාශය කරමින් පූජා පැවැත්විණි. ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන් පමණක් නොව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වරයා ද මේ පූජාවට සහභාගී වී සිටියේය. මහේස්ත්‍රාත් අධිකරණය මේ පූජාවට බැතිබර දායකත්වය දැක්වූ බව ද මහේස්ත්‍රාත්වරයාට ඒ සඳහා ස්තූති කරන බව ද ශබ්ද විකාශන යන්ත්‍ර වලින් විකාශය කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ශබ්ද විකාශනය යනු සංඥමය වරදකි. එවැනි වරදක් සිදුවන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමට අවශ්‍ය නැත. පැමිණිල්ලක් නොතිබුණත් පොලිසිය වහාම එම වරද නවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියි.

ඒ බව තහවුරු කරමින්, මානව හිමිකම් කොමිසම අනුරාධපුර පොලිසිය එ එදිරිව නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව HRC/ANU/279/2021 යටතේ විභාග කෙරුණු මෙම පැමිණිල්ල සම්බන්ධ නිර්දේශ ලබා දෙමින් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් වන මා.හේ.නිමල් කරුණාසිරි සහ අනුෂුයා ශන්මුගනාදන් නිගමනය කර ඇත්තේ “ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සිදවන ශබ්ද දූෂණය වළක්වා ගැනීමට හැකියාව තිබිය දී වගඋත්තරකරුවන් විසින් එම හැකියාව ප්‍රයෝජනයට නොගෙන සිටීම තුළ පැමිණිලිකාරියගේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(1) වන ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම හා එහි රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේය යන මූලික යිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි”

ඒ අනුව පවතින නීතිමය ප්‍රතිපාදන අනුව පියවර ගන්නා ලෙසට නිර්දේශ කරන බවත්, 2023 පෙබරවාරි 24 වැනි දිනට පෙර මෙකී නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 රණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(7) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන්ට දන්වා ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාල පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවූ විට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ,

“ආගමික විකාශනයන් නැවතීමෙන් සංහිදියාව නැති වේවි”

“මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ ස්වර්ණමාලී අනුරාධනායක මහත්මිය විතරයි. වෙන කාටවත් ප්‍රශ්නයක් නෑ”

“අපිට මහජන පීඩාකාරී ආඥා පනත යටතේ නඩුවක් පවරන්න බෑ. එක්කෙනෙකුගේ පැමිණිල්ලක් විතරක් නිසා”

යන කතාන්තර කිහිපයකි. ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය ලබාදුන් 38/2005 නඩු තීන්දුව සහ 2031/2007 පොලිස්පති චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරමින් පොලිසිය නිරන්තරව ම සඳහන් කරන්නේ එවැනි කතාවකි.

මානව හිමිකම් කොමිසම විසින් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවෙහි මේ ආකාරයෙන් දැක්වේ.

“ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ දක්වා ඇති වැරදි පිළිබඳව යම් පුද්ගලයිනට විරුද්ධව කරනු ලබන පැමිණිලි හා පොලිස් ආඥා පනතේ 80 (1) වගන්තිය යටතේ නිකුත් කරනු ලබන ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් හෝ වෙනත් උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද බලපත්‍ර කොන්දේසි හා උපදෙස් උල්ලංඝනය කරමින් භාවිතා කරන බවට කරනු ලබන පැමිණිලි සටහන් කර ගැනීමටත්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමටත්, එම කොන්දේසි උළ්ලංඝනය කරන පුද්ගලයන්ට එසේ නොකරන ලෙස අවවාද කිරීමටත් ක්‍රියාකළ යුතු බවටත්, පොලිස් ආඥා පනත 80 (4) උප වගන්තිය යටතේ එම භාණ්ඩ හා උපකරණ පොලිස් භාරයට ගෙන රඳවාගෙන මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී වෙත දැනුම් දීම කළ යුතු බව පොලිස්පති චක්‍රලේඛ 2031/2007 මගින් දන්වා ඇත.”

නමුත් වගඋත්තරකුරුවන් වූ පොලිසිය, ප්‍රකාශ කර සිටින්නේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් පැමිණිලිකාරියගෙන් හැර වෙනත් කිසිවකුගෙන් පැමිණිල්ලක් නොමැති බවයි. එමෙන්ම මෙම ශබ්ද දූෂණය පැමිණිලිකාරිය සිටින ප්‍රදේශයේ පමණක් නොව රටපුරාම පවතින බවත් වගඋත්තරකරුවන් වන පොලිස් නිලධාරීන් පවසා තිබේ.

මානව හිමිකම් කොමිසම පවසන්නේ,

“ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදුවන අපහසුතාව සහ කරදරයන් මැඩ පැවැත්වීම සඳහා පොලිසිය වෙත මාර්ග උපදේශනයන් / චක්‍රලේඛයන් නිකුත් කර ඇත්තේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි බවයි. මෙම චක්‍රලේඛනය මගින් පොදුවේ උපදෙස් ලබා දී ඇති බවටත්, ශබ්ද දූෂණ වැළැක්වීම සඳහා කණ්ඩායම් පැමිණිලි පමණක් අවශ්‍ය වන බවට කිසිදු පෙන්වාදීමක් නොමැති අතර, තනි පැමිණිල්ලක් මත නීතිය ක්‍රියාවට නැංවීමට ඉහත චක්‍රලේඛනය මගින් උපදෙස් දීම සිදුව ඇති බවත් මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් මෙම නිර්දේශවල සඳහන් කර ඇත.

තනි පුද්ගලයකුට කරදරයක් ඇති වුව ද තනි පැමිණිල්ලක් මත පදනම්ව වුව ද එම අපහසුතාවය හා කරදරය ඇති කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා පොලිසිය සතුව ප්‍රමාණවත් නිතිමය ලේඛන පවතින අතර , එම නීතිමය ලේඛන පදනම්ව මෙම අපහසුතා සහ කරදර වළක්වා ගැනීමට හැකියාව ඇති බව ද මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.

මෙම නිර්දේශ ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පදනම් කරගෙන බැවින් පොලිසියට එය ක්‍රියාත්මක නොකර සිටිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

අපරාධමය වරදක් සිදුවන බව දැන දැනම එය සංඥමය වරදක් වුව ද ඒ බව නොතකමින් බණ්ඩාරවෙල මාහේස්ත්‍රාත්වරයා සහ බණ්ඩාරවෙල ඉහළ පොලිස් නිලධාරීන් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවැති පූජාවකට 2023 පෙබරවාරි 18 වැනි දා සහභාගී වීම පිළිබඳ අපි අද (අප්‍රේල් 26) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසීමක් කළෙමු.

ඇය මෙසේ කීවාය

“මම ඔය ගැන කිසිම දෙයක් දන්නේ නෑ. මම සේවයට ඇවිත් දින කිහිපයක් පමණයි වෙන්නේ. ඒ නිසා කිසිවක් කියන්න විදියක් නැහැ”

ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල කොවිලේ හිමිකරුවා අපරාධමය වරදක් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ ද උදව් ලබාගෙන ඇති අතර පොලිසිය ද ඔහුට හීලෑ වී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!