spot_img
spot_imgspot_img

මහාචාර්ය සුනිල් ආරියරත්නට ලොකු තනතුරක්

පුවත්

විදෙස්

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කිරීමට තීරණය කර තිබේ.

විශාරද මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්තවීමෙන් මෙම ධූරය පුප්පාඩු විය.

පර්යේෂක ලේඛකයකු, කවියකු, ගේයපද රචකයකු, චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වී සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න 1949 වර්ෂයේ ජූලි 28 වැනිදා නුගේගොඩ දී මෙලොව එළිය දුටුවේ ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූවේය. .

ඔහු මුල්වරට නාට්‍ය සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසින්නේ කුඩා පාසල් සිසුවකු සිටිය දී ම 1960 දී යන්තම් 11 වැන වියේ පසු වූ කුඩා සුනිල් ආරියරත්න “අමල් බිසෝ” නමින් නාට්‍ය පෙළක් රචනා කළේය. ඉන් පසු 12 වැනි වියේ දී “අහිංසකයෝ” නමින් කෙටි කතා සංග්‍රහයක් පළ කරමිනි. ඒ 1961 වර්ෂයේ දී ය. ඉන්පසු කුමාරතුංග මුනිදාසගේ “මඟුල් කෑම” කෘතිය ඇසුරෙන් නාට්‍ය පෙළක් රචනා කළ ඔහු තම සහදරයා වූ තිලකරත්න කුරුවිටබණ්ඩරගේ “දෙන දෙයියෝ” නාට්‍යය ද වේදිකාගත කිරීමට කටයුතු කළේය. 1963 දී “අපි ඔක්කොම” නමින් කාව්‍ය සංග්‍රහයක් ද 1964 දී “අලකේශ්වරී” නමින් නවකතාවක් ද 19967 දී “සියොතුන්ට රැකවල්” නමින් කාව්‍ය ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත්කිරීමට සුනිල් ආරියරතන සමත්වූයේය.

පාසල් අධ්‍යාපනය අවසන් කර එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයට (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඇතුලත්වන සුනිල් ආරියරත්න සිංහල විෂයට ශ්‍රාස්තවේදී ගෞරව ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබන්නේ 1971 වර්ෂයේ දී ය.

විශ්වවිද්‍යාල සිසුවකුව සිටිය දී 1969 වර්ෂයේ දී “ජීවිතය ගීතයක් වේවා” නමින් නවකතාවක් ලියා පළ කළේය. බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න දෙදෙනා ද සමඟ එක්ව “දොළොස් මහේ පහන” නම් කාව්‍ය සංග්‍රහයක් ද හෙතෙම 1971 දී එළිදක්වා තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස 1972 දී තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන සුනිල් ආරියරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද (1975-1976) වසරකට අධික කාලයක් සේවය කිරීමෙන් පසු යාපනය විශ්වවිද්‍යාලයට ගියේ ය. කථිකාචාර්යවරයකු ලෙස 1976-1979 දක්වා වූ පුරා වසර තුනක යාපනයේ කරන ලද සේවය ඔහුගේ සාහිත්‍ය කලා ජීවිතය තවදුරටත් පෝෂණය කිරීමට හේතුවක් වූ බව ඔහුම පවසයි. 

යළි 1979 – 1985 කාල සීමාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි සුනිල් ආරියරත්න 1985 දී කථිකාචාර්යවරයෙකු ලෙස තමන් අධ්‍යාපනය ලැබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ම පත්වීම් ලැබ පැමීණෙන්නේ ය.

1989 දී සහාය මහාචාර්යවරයකු ලෙස ද, 1994 දී මහාචාර්යවරයකු ලෙස ද, 2000 වසරේ දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස ද මෙරට සුවහසක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට පමණක් නොව සමස්ත කලා ක්ෂේත්‍රයට ම ශ්‍රාස්ත්‍රාලයීය සේවාවක් කිරීමේ පෙරමුණ ගත්තේය.

එහි දී සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයෙන් නන්දා මාලිනී ගායනයෙන් මෙරට සංගීත ලෝලීන් අතරට පහන් කන්ද (1983), යාත‍්‍රා (1984), පෙම්බර ලංකා (1990), මධු බඳුන් (1994), අඬහැරය (2004), ශ්වේත රාත‍්‍රිය (2012) වැනි ගීත කැසට්පට, සංගත තැටි හා ශ‍්‍රව්‍ය දෘශ්‍ය තැටි අදටත් ඉතාමත් ජනප්‍රියය.

අමරදේව, වික්ටර්, සනත්, මාලනී, නීලා, අබේවර්ධන, නිරංජලා, චන්ද්‍රලේඛා, ප‍්‍රදීපා, කපුගේ, මර්වින්, සෝමතිලක වැනි සමකාලීන විශිෂ්ට සංගීතඥයන්ගේ – ගායකයන්ගේ පරපුරට ද කසුන්, දයාන්, නිරෝෂා, රොහාන් වැනි නව පරපුරේ ගායකයනට ද ගී නිර්මාණයෙන් සුනිල් ආරියරත්න දායක වී තිබේ.

ශාස්ත‍්‍ර ගවේෂකයකු, පර්යේෂකයකු ලෙසින් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්න විශාල දායකත්වයක් දරා ඇත.ඒ ඇතැම් පර්යේෂණ ජාතික සහ රාජ්‍ය සම්මානවලින් පවා පිදුම් ලැබීය.

බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක් (1985), ග‍්‍රැමෆෝන් ගී යුගය (1986), කැරොල් පසම් කන්තාරු (1987) නම් වූ සංගීත පර්යේෂණ ද මහින්ද ප‍්‍රබන්ධ (1987), මානවසිංහ ගීත ප‍්‍රබන්ධ (1991), පුරාණ සිංහල නාඩගම් පිටපත් සංස්කරණ (කෘති පහකි, 1996), ගාන්ධර්ව අපදාන (කෘති පහකි, 1997) සිංහල චිත‍්‍රපට ගීතාවලිය (2008, 2009) යනාදී සංස්කරණ ඇතුළු ව පර්යේෂණ සහ ප‍්‍රකාශන හැටකට ආසන්න ප‍්‍රමාණයක් ඔහු විසින් සිදුකර ඇත.
එයින් බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක් 1985 වර්ෂයේ දී ද ග‍්‍රැමෆෝන් ගී යුගය, 1986 වර්ෂයේ දී ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමග එක්ව කළ යෙර්මා පරිවර්තනය 1994 දී ද මකරන්ද ගේය කාව්‍ය සංග‍්‍රහය 2000 වර්ෂයේ දී ද විසිතුරුය ? අහස ගේය කාව්‍ය සංග‍්‍රහය 2008 දී ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිංහල සාහිත්‍යයෙහි ප‍්‍රගමනයට පමණක් නොව දෙමළ සාහිත්‍යයයේ ප‍්‍රගමනය උදෙසා ද දායක වූයේ ය. ඔහු 1989 වසරේ දී මදුරාසියට ගොස් දෙමළ භාෂාව හැදෑරුවේ ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1991 දී දෙමළ සාහිත්‍ය ඉතිහාසය නමින් පර්යේෂණ ග‍්‍රන්ථයක් ලියා පළකරමින් දෙමළ සාහිත්‍ය පිළිබඳ ග‍්‍රන්ථකරණයට පිවිසියේ ය. ඉන් අනතුරුව දෙමළ චූල සාහිත්‍ය කෘති නාම කෝෂය නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථයත් (1991), සිතුවම් සහිත දෙමළ ජනකතා පරිවර්තනය, (1994) දෙමළ රාමායණය පරිවර්තනය (1994), දෙමළ සිංහල හෝඩි පොත (1995), දෙමළ අකුරු ලිවීම, දෙමළ ප‍්‍රස්තාව පිරුළු 1000 සිංහලෙන් පරිවර්තන, දෙමළ බෞද්ධයා (2006) දෙමළ මහදැනමුත්තා හෙවත් ගුරු පරමාර්ථ (2013), දෙමළ නිසොල්ලාසය හෙවත් මදනකාම රාජ කතා (2013) ආදි වූ සුවිසල් ග‍්‍රන්ථ රාශියක් ලියා පළ කළේ හැබෑ ජාතික සමගියට ඔහුට හැකි ප‍්‍රමාණයෙන් දායක වෙමිනි.

මෙම මෙහෙවර වෙනුවෙන් හින්දු සංස්කෘතික අමාත්‍යාංශයෙන් 1992 තමිළ්මණී (දෙමළ සීනුව) යන ගෞරව නාමය ද, 1994 වර්ෂයේ දී තරුණ හින්දු සංස්කෘතික සංගමය විසින් තමිළ්මාමණී’ (දෙමළ මැණික) යන ගෞරව නාමය ද පිරිනමන ලදී.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජන්ම උරුමයෙන් ලද තවත් කලාංගයක් වූයේ සිනමාවේදය යි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ව සිටිය දී ම 1970 දී සරාගී නම් වූ කෙටි චිත‍්‍රපටයෙන් ඔහු සිනමා ක්ෂේත්‍රයට පිවිසියේ ය. දුෂ්කර ක‍්‍රියා (1976) සහ බෝසත්වරු අනෙක් කෙටි චිත‍්‍රපට වූ අතර එදා මෙදා තුර මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්, චිත‍්‍රපට 20කට අධික ප‍්‍රමාණයකට සිය දායකත්වය ලබා දී තිබේ. එයින් සිරිබො අය්යා, මුහුදු ලිහිණි, සුදු සෙවණැලි, උත්පලවණ්ණා, යන සිනමා නිර්මාණ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙළවල දී ශ‍්‍රී ලංකාව නියෝජනය කොට තිබේ.

1978 අනුපමා චිත‍්‍රපටයෙන් ඇරඹි අධ්‍යක්ෂණ කාර්යය අතර සිරිබො අයියා, බඹා කෙටූ හැටි’, ‘කැළෑ මල්’, ‘ක‍්‍රිස්තු චරිතය’ ‘සුදු සෙවණැලිි, ‘උත්පලවණ්ණා’, ‘කුසපබා’, “පත්තිනි” යන සිනමා නිර්මාණයන් සිනමා ලෝලීන්ට අමතක නොවන මතකයන් ශේෂ කළ කලා කෘති ය.

සුනිල් ආරියරත්න විසින් චිත‍්‍රපට හතළිහකට පමණ ගීත රචනා කොට තිබේ. සිරිබො අය්යා, බාදුරා මල්, සතර පෙරනිමිති, සසර චේතනා, විරාගය, පෙම් රජ දහන, මඩොල් දුව, දුලීකා, උමයංගනා, අඹුසැමියෝ, සෙයිලම, අබා, කුසපබා එසේ දායක වූ චිත‍්‍රපට අතුරින් කිහිපයක් පමණි. මෙහි විශේෂත්වය වන්නේ මේ චිත‍්‍රපටවල ගීතවලට ඒ ඒ වර්ෂවල ජනාධිපති, සරසවි, ස්වර්ණ ශංඛ ආදී ශ්‍රී ලංකාවේ ලැබිය හැකි ඉහළ ම සම්මාන හිමිවීමයි.

මේ හැරෙන්නට ටෙලි නාට්‍යවලට රචනා කරන ලද ගේය පද රචනා සඳහා සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන, දෙරණ සිනමා සම්මාන, සිග්නිස් සිනමා සම්මානවලින් ද ඔහු පිදුම් ලැබුවේය.

ඔහු විසින් සාහිත්‍ය, කලා, ගීත, සිනමා ආදී සෞන්දර්යාත්ක ක්ෂේත්‍රයන්ට කරන ලද විශිෂ්ඨ සේවාවන් නිසාම විශ්ව ප‍්‍රසාදිනී සම්මානය, විද්‍යෝදය විභූෂණ ගෞවර නාමය, සාහිත්‍ය කලා ශිරෝමණී ගෞරව නාමය, ශ‍්‍රී ලාංකේය දෙමළ විද්වතුන් වෙතින් පිරිනැමෙන කම්බන් සම්මානය, ශ‍්‍රී ලංකා ශිඛාමණී යනාදි ගෞරව සම්මාන හිමිවිය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශ ප‍්‍රධානවරයා වශයෙන් ද එහි සනාතන සභාවේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කෙළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සම්පත් අමරතුංග විසින් ලියන ලද ලිපියක අන්තර්ගතය පදනම් කරගෙන මෙම තොරතුරු සටහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!