මංගලනාත් ලියනආරච්චි විසිනි,
කිතුල් කර්මාන්තය ජීවනෝපය කර ගත් ගාල්ල දිස්ත්‍රීක්කයේ සිංහරාජයට මායිම් වු ගම්මානයන්හි උදෑසන හා සවස් කාලයේ රජ කරන්නේ, ඉසිලිය නොහැකි තරමේ පාළු නිහැඩියාවකි. ඒ ගම්වැසියන් අවදානම් සහිත කිතුල මැදීමට ගස් නැඟීමේ වේලාව සනිටුහන් කරන හෝරාවයි. මෙම නිහැඩියාව ගම්මුන් විසින්ම කාලයක් තිස්සේ ගොඩ නගා ගත් ස්වයං වාරණයකි. කොයි මොහොතක හෝ තම අසල්වැසියෙකු කිතුලකින් වැටී කෑ ගැසීමකට විමසිලිමත්ව සිටීම ඔවුන්ගේ මේ ජාන ගත ස්වයං වාරණයට ප්‍රශස්තයයි.
ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය ජීවනෝපය කර පිරිස ලක්ෂ 03 – 05 අතර වන බව කිතුල් සංවර්ධන මණ්ඩලය තහවුරු කරයි. කිතුල් කර්මාන්තය ජීවනෝපාය කර ගත් විශාල පිරිසක් අප රටේ සිටිය ද, එදා සිට මේ දක්වා කිතුලෙන් ඉහලට ගොස් ඇත්තේ, අතලොස්සකි. රජයේ අඩු අවධානය සහ කුඩම්මාගේ සැලකිලි කිතුල් කර්මාන්තයේ මෙන්ම එහි නිරතවූවන්ගේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත හැඟීම් උපදවන බව ක්ෂේත්‍රයේ නිරත පිරිස්ගේ අදහසයි.
සිය පියාගේ අඩි පාරේ යමින් කිතුල් ගස් මැදීමට පිවිසි තවලම කන්නෙළියේ, සරත් නන්ද කුමාර තරුණ කිතුල් නිෂ්පාදකයෙකි. සරත් මේ වන විට ප්‍රමුඛ කිතුල් ගස් මදින්නෙකු මෙන්ම පැණි හා හකුරු නිෂ්පාදකයකු ද වේ. කිතුල් කර්මාන්තය සම්බන්දයෙන් බලධාරීන්ගේ අඩු සැලකිල්ල හා ග්‍රාමීය ජනයාගේ පසුගාමි ආකල්ප මෙම කර්මාන්තයේ කඩා වැටීමට හේතුවී ඇති බව ඔහුගේ අදහසයි. ගසට පොත්ත මෙන් කිතුල් ගස තම ජීවිත වලට බද්ධ වී ඇති බවත්,කිතුල් කර්මාන්තයෙන් තොර ජීවිතයක් තමන්ට නොමැති බවත් සරත් කීවේය.
“මම උදේ හත වෙද්දී කිතුල් මණ්ඩියට ගිහින් ගස් මදින එක පටන් ගන්නවා.මේක පහසු රැකියාවක් නෙවෙයි.සාමාන්නයෙන් හොදින් වැඩුණු කිතුල් ගහක් අඩි හැට හැත්තෑවක් උසයි. මම ඒ වගේ ගස් දහයකට විතර දවසට දෙපාරක් නගිනවා..කිතුල් පැණි..කිතුල් රා කොයි තරම් රස වුනත්, ඒක ඇතුලේ තියෙන අපේ ජීවිත කියන්න බැරි තරම් තිත්තයි. කොයි වෙලාවේ ගහකින් වැටෙයි ද, අකුණක් ගහලා අනතුරක් වෙයිද තියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුනත්, මේක දැන් අපේ ජීවිත වලට බද්ද වෙලා තියෙන්නේ. අපි ස්භාව ධර්මයත් එක්කයි මේ රස්සාව කරන්නේ.ඒ නිසා දැන් අපිට කිතුල හැර වෙන ලෝකයක් නැති තරම්. නමුත්, මේ රැකියාවට තියෙන අඩු සැලකිල්ල නිසා අපෙන් පස්සේ මේ කර්මාන්තය රැකෙයිද කියන එක තමා ප්‍රශ්නේ.”
අඩි හැට හැත්තෑවක් උස කිතුල් ගස් දහයකට දිනකට දෙවරක් නැගීම බැසීම හිතන තරම් පහසු නැත. මේ නිසා ඔවුන් කිතුලට ‘’හැර බැදීම’’ සිදු කරයි. හැර බැදීම යනු, කිතුල් ගසට පහසුවෙන් නැගීම සදහා දිගු ලීයක් ගසේ මුල සිට ඉහළට යන තෙක් සවිමත් ලෙස කොහු ලණු වලින් බැඳ එහි කකුලේ ඇගිලි පහසුවෙන් රැදවීමට හැකි වන සේ අඩි තුනේ තුනට පමණ වන සේ හරහට ආධාරක බැදීමයි. හැර බැදීම සදහා උණ බට යොදා ගැනීම සුලබය. අඩි හැට හැත්තෑවක් පමණ උස කිතුල් ගස් රැසකට ඔවුන් නිතිපතා මෙසේ නැගීම බැසීම සිදු කරනුයේ, මලෙන් මලට රොන් සොයමින් පියාඹන වන බඹරුන් සේ වුවද, කිතුල් කර්මාන්තකරුවන්ගේ ජීවිත තුල ඇති අවිනිශ්චිත බව දකින කිසිවෙකුත් නැති තරම්ය.
කිතුල් ගස මැදීමේ පළමු ළුලය වනුයේ, තෙලිදියයි. තෙලිදියට මණ්ඩි එකතු කර පැසවීම මගින් කිතුල් රා නිපදවේ. බොහෝ විට කිතුල් ගස් මදින්නෙකු තමා මදිනු ලබන ගස් අතරින්, ගස් කිහිපයක් කිතුල් රා නිපදවීමට යොදා ගන්නා අතර, අනෙක් ගස් තෙලිදිය ලබා ගැණීමට යොදා ගනී.කිතුල් පැණි හා කිතුල් හකුරු නිපදවෙන්නේ, තෙලිදිය මගිනි.
කලකට පෙර බලපත්‍ර ලාභි රා මදින්නෙකු වු සරත් නන්ද, වර්තමානයේ පැණි හා හකුරු නිෂ්පාදනයට පමණක් යොමු වී තිබේ.කිතුල් රා අලෙවිය ඉතා ඉහල ආදායමක් ලැබිය හැකි කර්මාන්තයක් වුවද, ග්‍රාමීය ජනතාවගේ පසුගාමි අදහස් හා නීතිය හරිහැටි නොදන්නා පොලිස් නිළධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය කාලයේ කිතුල් රා කර්මාන්තයෙන් ඉවත්වීමට සිදුවු බව සරත් නන්ද කුමාර කියා සිටි.
පොල් සහ තල් කර්මාන්ත මෙරට වඩාත් ප්‍රචලිත කර්මාන්ත බවට පත්ව ඇතත්, කිතුල් කර්මාන්තය එසේ නොවීමට හේතුව කිතුල් කර්මාන්තයේ මූලිකම ළුලය වන කිතුල් රා සම්බන්දයෙන් අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පවත්නා නීතිමය වටපිටාව බව ක්ෂේත්‍රෙයේ නිරත පිරිස්ගේ පෙන්වා දෙති. එහෙත්, තල් රා සහ පොල් රා සම්බන්දයෙන් රජය එවැනි තදබල නීති පනවා ඇති බවක් නොපෙනේ. රජය තල් රා සහ පොල් රා යොදා ගනිමින් මත්පැන් ඇතුළු නිෂ්පාදන රැසක් සිදු කල ද, කිතුල් රා යොදා ගනිමින් පැණි හා හකුරු හැර වෙනත් නිෂ්පාදනයකට කිතුල් කර්මාන්තකරුවන් යොමු කල බවක් නොපෙනේ. එසේම කිතුල් කර්මාන්තය කෙරෙහි නව තාක්ෂණය සම්ප්‍රේෂණය වී ඇත්තේ, මද වශයෙනි. කිතුල් කර්මාන්තයේ අවනීතියට එය ද බොහෝ සේ බලපා ඇති බව ක්ෂේත්‍රෙයේ නිරත පිරිසගේ අදහසයි.
බොහෝ විට කිතුල් රා සදහා දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පැවතිය ද, පානය සදහා පිරිසිදු කිතුල් රා බෝතලයක් සොයා ගැනීම කළු නික සොයන්නා තරම් දුෂ්කරය. පවත්නා නීතිමය තත්වය යටතේ, රා මදින්නෙකුට තම භාවිතය සදහා ළඟ තබා ගත හැක්කේ, මණ්ඩිත් සමග කිතුල් රා ලීටරයක් පමණක් වීම ඊට හේතුවයි. එසේම දැනට පවත්නා නීතිය යටතේ, එක් රා මදින්නෙකුට මැදිය හැක්කේ, විකුණුම් ස්ථානයේ සිට මීටර් 50 – 100 අතර පිහිටි කිතුල් ගස් තුනක් පමණි. එහෙත්, තල් රා සහ පොල් රා වලට එබදු නීතියක් ක්‍රියාත්මක නැත. මේ නිසාම කිතුල් ගස් මදින්නන් රා නිෂ්පාදනය අතහැර පැණි හා හකුරු නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමු වී ඇති බවක් පෙනේ.
පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිපදවීමට තෙලිදිය බෝතල් 6 – 8 පමණ වැය වෙන අතර, ඒ සදහා වැයවෙන පිරිවැය රුපියල් දහස ඉක්මවයි. මෙම තත්වය ගසෙන් ගසට හා මලෙන් මලට වෙනස් වෙයි. වර්තමානයේ තෙලිදිය බෝතලයක අවම මිළ රුපියල් සියය ඉක්මවයි. තෙලිදියට මණ්ඩි ස්වල්පයක් එක් කිරීමෙන් රා නිපදවනු ලබයි. තෙලිදිය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැනි බෝතලයකට මිළ රුපියල් 1000 – 1300 කි. දිනකට පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිෂ්පාදනය කරන අයෙකුට ඒ සදහා තෙලිදිය බෝතල් අටක් පමණ වැය කර, වැඩි ආයාසයක් දරා රුපියල් 1000 – 1300 මුදලක් උපදවද්දී, කිතුල් රා ලෙස අලෙවි කිරීම ඊට වඩා බොහෝ සෙයින් ලාභදායි මෙන්ම පහසු කර්මාන්තයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට කිතුල් රා බෝතලයක මිළ ආසන්න වශයෙන් රුපියල් 250 – 350 අතර වේ. මේ නිසා කිතුල් රා විකිණීම වඩා ලාබදායි කර්මාන්තයක් බව සරත් නන්දගේ අදහසයි. එහෙත්,ග්‍රාමීය ජනතාව තුළ පවත්නා පදනම් විරහිත පටු අදහස් රා කර්මාන්තයට බාධා ඇති කරන බව ඔහු පෙන්වා දෙයි.
“කිතුල් රා වලට විරුද්ධ ගමේ සුචරිතවාදියෝ බාර් වලට විරුද්ධ නෑ“ සරත් නන්ද කීවේය.
කිතුල ග්‍රෑන්ඩ් නැමැති වෙළද නාමයෙන් කිතුල් නිෂ්පාදන වෙළද පොළට නිකුත් කරන දෙනියායේ අෂේන් මධු මාධව 27 හැවිරිදි තරුණයෙකි. ඔහු කිතුලෙන් ඉහලට ගිය දක්ෂ ව්‍යාපාරිකයෙකි. තේ කර්මාන්ත ශාලාවක ගණකාධීකාරීවරයෙක් ලෙස ඉහළ වැටුපකට හිමිකම් කී අෂේන්, කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියාව අතහැර, තම පියා කර ගෙන ගිය කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනයට අතපොවන්නේ, රුපියල් 5000 ක් වැනි සොච්චම් මුදලකිනි. එසේ ආරම්භ කළ කුඩා ව්‍යාපාරය මේ වන විට රටට ඩොලර් ගෙන එන ග්‍රාමීය කර්මාන්තයක් බවට පත්ව ඇත.
අෂේන්, මේ වන විට ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකට ම කිතුල් පැණි හා හකුරු අපනයනය කරන සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඒ මගින් ඔහු මසකට ඩොලර් තුන්දහසකට වඩා මෙරටට ගෙන එනු ලබයි. ඔහු, මේ වන විට සෘජු හා වක්‍ර රැකියා තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. තමන් යටතේ සේවය කරනු ලබන තරුණ කිතුල් ගොවීන් කිහිප දෙනකු ම මාසිකව රුපියල් 150,000.00 ඉක්මවා උපයා ගන්නා බව අශේන් කියන්නේ, මහත් ආඩම්බරයෙනි.
“තරුණ පිරිස මේකට ගේන්න වැඩ පිලිවෙලක් රජය හදුන්වා දෙන්න ඕනේ. පොල් අක්කරයකින් හම්බ කරනවට වඩා ආදායමක් කිතුල් අක්කරයක් වැව්වොත් ගන්න පුළුවන්. කිතුල් අක්කරයක ගස් හතලිහකින් දවසකට කිතුල් පැණි බෝතල් 80 ක් අර ගන්න පුළුවන්. කිතුල් පැණි බෝතලයක වෙළදපොල වටිනාකම රුපියල් 1400 යි. රජය මේ ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. තරුණ පරපුර මේකට එන්නේ නැත්තේ, ගස් නගින අවමානෙයි, කිතුල් ගස් නගින්න තියෙන අමාරුකම හිතලයි. පොල් ගස් වලට නගින්න පහසු උපකරණයක් මේ වන විටත් හදලා තියෙනවා. ඒක කිතුලට අනුවර්ථනය කරන්න පුථවන් නම්, මේ කර්මාන්තය මීට වඩා ජනතාව අතරට යනවා.’’ අෂේන් මධුමාධව මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.
කිතුල් කර්මාන්තය පදනම් කරගත් ව්‍යාජ නිෂ්පාදන වෙළදපොළට පැමිණිම ක්ෂේත්‍රෙය් නිරත පිරිස් මුහුණ දෙන බරපතල ගැටළුවකි. සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි ලංකාගම, වාරුකන්දෙණිය, පිටදෙණිය වැනි ප්‍රදේශවල වැඩි පිරිසකගේ ජීවනෝපාය කිතුල් කර්මාන්තය වුවද, ලංකාගමට වඩා අඩු මුදලකට කිතුල් පැණි බෝතලයක් කොළඹින් මිළදී ගත හැකි බව ලංකාගම චම්පා විජේරත්න කියන්නීය. ඒ ආදේශක කිතුල් පැණී මිස පිරිසිදු කිතුල් පැණී නම් නොවේ. තවලම, හිනිදුම වැනි ප්‍රදේශයන්හි ඇතැම් ප්‍රකට පැණි හා හකුරු ව්‍යාපාරිකයන්, සතියකට වරක් සීනි මිටි තොග වශයෙන් සිය කර්මාන්ත ශාලා වලට රැගෙන ගෙන යන බව ඇය කියන්නේ, සමච්චලයට මෙනි. නියම කිතුල් පැණි හා සීනි කලවම් කිතුල් පැණි හදුණා ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් රජය හදුන්වා දිය යුතු බව ඇයගේ අදහසයි.
සිංහරාජයට මායිම් වු ලංකාගම සංචාරක ආකර්ශනය සහිත ප්‍රදේශයකි. සිංහරාජය හා ඒ අවට ඇති දර්ශනීය දිය ඇලි, නොයිදුල් ස්වභාවික පරිසරය නැරඹීමට අති විශාල සංචාරකයන් පිරිසක් දිනපතා ලංකාගම හරහා ගමන් කරති. ලංකාගම වැසියන්ගේ නිෂ්පාදන සෘජුව ම පාරිභෝගිකයනට අළෙවි කිරීමට පහසුකම් සැළසීමට රජයට හැකිනම්, තත්වයෙන් බාල කිතුල් නිෂ්පාදන පාරිභෝගියන් අතට පත්වීම වැළැක්වීම මෙන්ම අතරමැදියන් නොමැතිව සිය නිෂ්පාදන සාධාරණ මිළකට පාරිභෝගියන්ට ලබා ගැනීමේ හැකියාව ද හිමිවන බව බව ගම්මුන්ගේ අදහසයි.
“රජය මැදිහත් වෙලා කිතුල් පැණි,හකුරු සුපිරි වෙළදසැල් වලට අපේ නිෂ්පාදන හැටියට කෙලින්ම අලෙවි කර ගත හැකි තත්වයක් හදලා දෙනවා නම්, ඒ වගේම සිංහරාජය සංචාරක කලාපේ අපිට වෙළද කුටි ලබා දෙනවා නම්, මේක මීට වඩා හොදින් කර ගෙන යන්න පුළුවන්.“ චම්පා විජේරත්න වැඩි දුරටත් කියා සිටි.
මෙම වෘත්තියේ නිරතවූවන් සදහා ජීවීත රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට රජය කටයුතු කරන බව අවස්ථා කිහිපයකදී ම ප්‍රකාශ කර ඇතත්,එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එවැනි රක්ෂණ ක්‍රමයක් මෙම කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හදුන්වා දෙන්නේ නම්, එය තම පවුලේ අනාගත සුරක්ෂිත භාවයට මහගු පිටුවහලක් වනු ඇති බව කිතුල් කර්මාන්තකරුවන්ගේ අදහසයි. වර්ෂා කාලයේ දී හා අකුණු සහිත කාලයේ දී මෙම රැකියාව ඉතාමත් අවදානම් සහගත කටයුත්තක් බව ඔවුන් අවධාරණය කර සිටි.
පහේ පන්තියෙන් පාසල් ගමන අවසන් කළ හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු කිතුල් ආශ්‍රීත නිෂ්පාදන තුලින් නවමං සොයා යන්නෙකි. ඔහු විසින් මේ වන විටත් සැකසු කිතුල් විනාකිරි, සිරප්, ජෑම් හා කිතුල් පිටි සදහා වෙළද පොළේ ඇත්තේ, ඉතාමත් ඉහළ ඉල්ලුමකි. හරිහැටි අධ්‍යාපනයක්වත් නොලැබූ ටියුඩර් කොඩිතුවක්කු, මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ කිතුල් ගස් මැදීම පිළිබද කතිකාචාර්යවරයෙකු ද වේ. ඒ මෑතකදී රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් ආරම්භ කල කිතුල් ආශ්‍රීත පාඨමාලාවේය.
හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු සතු දැනුම නව පරම්පරාවට ලබා දීමට රුහුණ විශ්වවිද්‍යාලය ගෙන ඇති පියවර අගනේය. විද්‍යාර්තීන්ගේ න්‍යායාත්මක දැනුම හා වෘත්තියේ නිරතවූවන්ගේ භාවිතයේ අත්දැකීම් මුහුවී මෙම පාඨමාලාව සැකසී තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල වරම් අහිමි වන දහස් සංඛ්‍යාත සිසුන් තරුණවියේදී ම සිය අධ්‍යාපනය නිම කරද්දී, වැස්සකටවත් පාසලකට ගොඩ නොවු ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල බොහෝ පිරිසක් මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ කිතුල් ආශ්‍රීත පාඨමාලාවට යොමු වී ඇත්තේ, කිතුල් කර්මාන්තයේ හෙට දවස පිළිබඳ සුබ සිහින විවර කරමිනි.
“මේ සිංහරාජ වනාන්තරය සහ ඒ අවට ඕන තරම් කිතුල් ගස් තියෙනවා. මේක දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. හැබැයි, නිලධාරීන් ශීත කාමරයේ ඉදලා කිතුල් ගහ යටට එන්න ඕනේ. තරුණ පිරිස අතර විශ්වාසයක් ගොඩ නගන්න පුළුවන්නම්,තාක්ෂනය හදුන්නලා දෙන්න පුළුවන්නම්,මේ කර්මාන්තය දියුණු කරන එක මහ දෙයක් නෙවෙයි.‘’
කිතුල් කර්මාන්තයට තරුණ පිරිස් යොමු නොවීමත්, නව තාක්ෂණය භාවිතා නොකිරීමත් හේතුවෙන් යම් පසුගාමි තත්වයක් පැවතියද, සමස්තයක් ලෙස මේ වන විටත් කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ආරම්භ කර ඇති බවත් තවලම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.බී.මධුභාෂීනී කියා සිටියාය.
මේ වන විට කිතුල් රා මැදීම සම්බන්දයෙන් පවතින නීතිරීති සංශෝධනය කළයුතු පමණක් නොව, කිතුල් කර්මාන්තය සම්ප්‍රදායිකත්වයෙන් බැහැරට ගෙන යා යුතු බව නෙලුව ප්රාදේශීය ලේකම් ශාන්ත ප්‍රියදර්ශනගේ අදහසයි. කිතුල් කර්මාන්තයේ නිරතවූවන්ගේ අභිවෘද්ධිය සදහා වු වැඩසටහන් රැසක් මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ රුහුණ විශ්වවිද්‍යාලය විසින් මෑතක දී ආරම්භ කල කිතුල් ආශ්‍රීත පාඨමාලාවේ නිර්මාතෘවරයායි. අප රටේ අභාවයට යමින් පවතින කිතුල් කර්මාන්තය යළි නගා සිටුවා ඒ මගින් විවිධ නිෂ්පාදන හදුන්වා දීම, ඒ මගින් රටට විදේශ විනිමය උපදවීම සහ කිතුල් කර්මාන්තය හරහා ග්‍රාමීය ජනයා ව්‍යසායකයන් බවට පත් කිරීම මෙහී ප්‍රධාන අරමුණ බව මහාචාර්යවරයා අවධාරණය කරයි. මහාචාර්ය නිලන්ත ලියනගේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රමිතියක් ඇති කිරීමට රජය විසින් පත්කර ඇති කමිටුවේ සාමාජිකයෙකු වන අතර, ආහාර විද්‍යාව පිළිබද විශේෂඥයෙකි. ඔහු කියන අන්දමට පොල් ගස මෙන් කිතුල් ගස ද කප් රුකකි. ඒ හරහා කළ හැකි නිෂ්පාදන බොහෝය.
“මේ වන විට අපි කුරුඳුවලින් විස්කි වර්ගයක් හදලා තියෙනවා. කිතුල් රා වලින් අපිට ඒක ඊට වඩා හොදට කරන්න පුළුවන්. ඒ සදහා සියළු පර්යේෂණ කිරීමේ හැකියාව අපේ විශ්වවිද්‍යාලය සතුව තිබෙනවා. එහෙම දෙයක් කලොත්, චිවාස් රීගල්, වොඩ්කා, බකාඩි, ජොනිවෝකර් වගේ බ්‍රෑන්ඩ් එකක් අපිටත් ලංකාවෙන් යවන්න හැකියාව තියෙනවා. ඒ හරහා ග්‍රාමීය ජනයා රටට ඩොලර් උපද්දවන ව්‍යසායකයන් බවට පත් කරන්න පුළුවන්.”
රජය විධිමත් වැඩපිළිවෙළක් සකසන්නේ නම් කිතුල් කර්මාන්තය යනු රටට ඩොලර් ඉපයීමට හැකි මහඟු සම්පතක් වනු ඇත.