spot_img
spot_imgspot_img

මහා භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේත් ඇතිවීමේ පෙර නිමිති ?

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි හැඳින් වූ අප දේශය ස්වභාවික ආපදා වලින් අවම වූ ඉතා සුරක්ෂිත රටක් ලෙස අතීතයේ පැවසුව ද අනාගතයේ එසේ කීමට නොහැකි වන බව භූ විද්‍යාඥයෝ කියති.
ඕනෑම මොහොතක ශ්‍රී ලංකා භූමිය දෙදරා ගොස් ඉදිකිරීම් බිමට සමතලා වී දහස් ගණනක් මිය යාමට ඉඩ තිබේ.

පසුගිය දා තුර්කිය සහ සිරියාව ආශ්‍රිතව සිදු වූ භූමිකම්පාවත් සමඟ ශ්‍රී ලංකාවේ බුත්තල සහ මොණරාගල ප්‍රදේශවල පොළොව සෙළවී ගියේය. ඉන් පසු නැවත තුර්කියේ භූමිකම්පාවක් හටගෙන පැය කිහිපයකට පසු යළි බුත්තල පොළොව අද (22) දෙදෙරා ගියේය.

මෙයට විද්‍යාත්මක සත්‍යයක් තිබේ. පොළොව නිර්මාණය වී ඇති භූ තැටි අතර එක් ස්ථානයකින් කම්පනයක් ඇති වුවහොත් ඊට සමගාමීව තවත් කම්පන මාලාවක් ඇතිවන බව විද්‍යාඥයෝ තහවරු කරගෙන ඇත. බුත්තල පොළොව හෙළවෙන්නේ තුර්කියේ පොළොව හෙළවීමට සමගාමීව විය යුතුය. නමුත් ඒ බව තහවුරු කරගැනීමට නම් ඉතාමත් සංකීර්ණ පර්යේෂණ රැසක් සිදුවිය යුතුය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව භූමිකම්පාවලින් තොර සුරක්ෂිත රටක් යැයි පැවසුවේ ලොව භූ තැටි මායිම්වලින් බොහෝ ඈත්ව ඉන්දියානු භූ තැටියේ මධ්‍යයේ පිහිටා තිබීම හේතුවෙනි. නමුත් එය තවදුරටත් ප්‍රයෝගික නොවේ.

මේ වනවිට තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාව ආසන්නයෙන් නව භූ තැටියක් නිර්මාණය වෙමින් පවතින බවයි.  

මෙය සරල භාෂාවෙන් කියන්නේ නම් ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉන්දියානු මහද්වීප භූ තැටිය කොටස් දෙකකට වෙන් වෙමින් පවතී. එය අති බිහිසුණු තත්ත්වයකි.
වසර කිහිපයකට පෙර ඉන්දු යුරේසියානු භූ තලය සක්‍රීය වීමෙන් නේපාලයේ දී දහස් ගණනක් මිය ගියහ. ඉන් පසුව ද දිගින් දිගටම තැන තැන භූමි කම්පා සිදුවෙමින් පවතී. දැන් භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරි දිනක භූමිකම්පාව සිදුවන ස්ථානය සොයා ගැනීම කෙරෙහි නොව ඉදිරි භූමිකම්පාවක දී මියයන සංඛ්‍යාව අවම කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැන ගැනීම කෙරෙහිය.
ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව 1905 සිට 2015 දක්වා ගතවූ වසර 110 දී ලොව දකුණු ආසියාවේ පමණක් භූමිකම්පාවලින් තුන් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය පමණක් නොව භූමිකම්පා වලින් සුරක්ෂිතයැයි කියන ශ්‍රී  ලංකාව ද භූමිකම්පාවල ගොදුරු බවට පත්විය. 2004 සුනාමිය සුමාත‍්‍රා දූපත් අසළ සිදුවූ භූමිකම්පාවක අතුරු ප‍්‍රතිඵලයකි.
ඉන්දියාව ද ඇතුළුව දකුණු ආසියාවේ ජන ගහණය වැඩිවීමත් අවිධිමත් නාගරීකරණයත් භූමිකම්පාවකින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි කිරීමට හේතුවකි. අනාගතයේ දී භූමිකම්පාවලින් මියයන ප‍්‍රමාණය අවම කර ගැනීමට පහසුම දේ භූමිකම්පා කල්තියා හඳුනාගැනීම ලෙස තේරුම් ගත් විද්‍යාඥයෝ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකළ ද ඒවා අසාර්ථක විය.
පෘථිවිය බිහිවූදා සිට මේ දක්වා ගතවූ වසර බිලියන ගණනක් පුරා භූමිකම්පා සිදුව තිබේ. ආරම්භයේදී පෘථිවිය එක් කබොල්ලක් ලෙස පැවති බවත් පසුව එය භූ තල කිහිපයකට වෙන්වූ බවත් විද්වතුන්ගේ මතයයි. පෘථිවිය මතුපිට පෘෂ්ඨය භූ තල මායිම් 12 හෝ 13 කට වෙන්ව ඇතැයි භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. 13 අසුබ අංකයක්යැයි පවසන යුරෝපීයායෝ එය 12 ක් හෝ 13 ක් ලෙස පවසති.

භූ තැටි මායිමක් පොළොව මතුපිට දිස්වන ආකාරය


ගිනියම්ව ඇති පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන සංවහන ධාරා හේතුවෙන් මේ භූ තැටි නිරන්තවම ඒ මේ අත ගමන් කරමින් තිබේ. ඇතැම් අවස්ථාවලදී එකිනෙක මුහුණට මුහුණ ලා ගැටෙන මේවා තවත් අවස්ථාවකදී දෙපසට ඈත්වෙමින් තිබේ.. මුහුණට මුහුණ ගැටෙන අවස්ථාවලදී එයින් කඳුගැටි ඇතිවීම හෝ ගිලා බැසීම සිදුවේ. හිමාල කඳුගැටය දිනෙන් දින උසින් වැඩිවන්නේ මේ හේතුවෙනි. සුමාත‍්‍රා දූපත් අසළ මුහුදේ සිදුවන්නේ ගිලා බැසීමකි.
අතීතයේ පැවැති මතය වූයේ ලොව භූමිකම්පා හටගන්නේ භූ තල මායිම් ආසන්නයේ පමණක් බවයි. භූතලයේ මධ්‍ය කොටස් වල ද භූමිකම්පා හටගන්නා බව 1996 දී 16,000 ට මරු කැදවමින් ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවෙන් තහවරු විය. මෙවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා සිදුවන්නේ කලාතුරකිනි.
පෘථිවිය අභ්‍යන්තරයේ ඇති විශාල ගල් පර්වත එකිනෙකට සාපේක්ෂව ගමන් කිරීමේදී සිදුවන ගැටුම් හේතුවෙන් මෙවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා හටගන්නා බව පර්යේෂකයන්ගේ මතයයි.

ලෝකයේ කොතෙකුත් සංවේදී උපකරණ බිහි වුව ද තාක්ෂණය කෙතරම් දියුණු වුව ද භූමිකම්පාවක් සිදුවී තත්ත්පර 20 ක් ගතවනතුරු ඒ පිළිබඳ ජනතාවට වාර්තාකිරීමේ හැකියාවක් තවමත් ලැබී නැත.
විනාඩියක් ගතවීමට පෙර භූමිකම්පාවක් පිළිබඳ ලෝකයම දැනුම්වත් කළ ද ඉන් සුනාමියක් ඇතිවේ ද නොවේ ද යන්න පැවසීමට තවත් වේලාවක් ගතවේ. මේ හේතුවෙන් දැනට සිදුව ඇත්තේ මුහුදු පත්ලේ භූමිකම්පාවක් ඇතිවුවහොත් ඒ අවට රටවලට අනිවාර්යයෙන්ම සුනාමි අනතුරු හැඟවීමක් ලබාදීමයි.
නමුත් සුනාමි තත්ත්වයක් ඇති වීමටනම් භූමිකම්පාව වැඩි ප‍්‍රබලතාවකින් යුතුව, මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිරස් අතට සිදුවිය යුතුය. ලොව තාක්ෂණය කොතෙක් දියුණු වී ඇතත් මුහුදු පත්ලේ භූමිකම්පාවක් සිදුවූ විට මෙම කරුණු සොයා ගැනීමට යම් කාලයක් ගතවේ. එමෙන්ම භූමිකම්පාවේ විශාලත්වය ද ක්ෂණයකින් පැවසීමේ හැකියාවක් මෙතෙක් ලැබී නැත.
භූමිකම්පා සිදුවන්නේ පොළොව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාදාමයක් හේතුවෙනි. එහිදී අතිවිශාල ශක්තියක් ගබඩා වී එය ක්ෂණයකින් මුදා හැරෙයි. ලෝකයේ පිළිගැනීම වූයේ මහා භූමිකම්පාවක් හෙවත් රික්ටර් මාපකයේ අංක 08 ඉක්මවූ භූමිකම්පාවක් සිදුවන්නේ එවැන්නක් සිදුවී තවත් වසර 5 ත් 10 ත් අතර කාලයක් ගතවූ පසුව බවයි.
නමුත් මේ මතය දැන් අභියෝගයට ලක්ව තිබේ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යෙෂකයකු වන තෝර්න් ලේ නිව්සයන්ටිස්ට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ 2004 වර්ෂයේ සුනාමි ඇති කළ විශාල භූමිකම්පාවෙන් පසු පෙර තිබූ මතය බිද වැටී ඇති බවයි. වසර 110 ක කාලයක් පුරා ලොව සිදුවූ භූමිකම්පා විශ්ලේෂණය කළ ඔහු පවසන්නේ 2004 වර්ෂයට පෙර වසර වසර 6.2 ක කාලයක් තුළ මහා පරිමාන භූමිකම්පා එකකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා නොවන බවයි. නමුත් 2004 ඇති වූ භූමිකම්පාවෙන් පසු එම තත්තවය වෙනස් වී ඇති බව පර්යේෂණයෙන් තහවුරු කරගෙන ඇත.
ඔවුන් පෙන්වාදෙන්නේ එක් භූමිකම්පාවක් විසින් අනෙක් භූමිකම්පාව සඳහා උත්තේජනයක් ලබාදෙන්නට ඇති බවයි. රිච්ටර් මාපකයේ විශාලත්වය 06 හෝ 07 හෝ ඉක්මන භූමිකම්පාවක් ලොව කොතැනක හෝ සිදුවුවහොත් එයින් අනෙක් ස්ථාන උත්තේජනය වී භූමිකම්පා වැලක් හටගන්නා බව ද ඔවුහු කියති.

නමුත් මෙය පැවති මතය අභියෝගයකට ලක්කිරීමක් විනා වෙනත් මතයක් තහවුරු කිරීමක් නොවේ.
ශ්‍රී ලංකාවේ අතීතය සැළකූ විට අවස්ථා කිහිපයක භූමිකම්පා සහ සුනාමි තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. විහාරමහා දේවිය මුහුදට බිලිදීමට හේතු වූ මුහුද ගොඩගැලීම සුනාමි තත්ත්වයක් බව දැන් පවතින මතයයි. මෙම කාලයේ සුනාමියක් සිදුවූ බවට ඇතැම් ස්ථානවලින් පුරාවිද්‍යාත්මක සාධක පවා ලැබී තිබේ.
පෘතුගීසි පාලන වාර්තාවන්හි දැක්වෙන්නේ 1615 අප්‍රේල් මස 15 වැනි දින කොළඹ ඇතිවූ භූ චලනයක් හේතුවෙන් මිනිසුන් 2000 ට අධික පිරිසක් මියගිය බවයි. එය ශ‍්‍රී ලංකාවේ සිදුවූ භූ චලනයක් පිළිබඳ ඇති පැරණිතම වාර්තාවයි. විශාල ගොඩනැගිලි නොතිබූ එකළ 2000ක් දෙනා මිය යන්නටනම් අති විශාල භූමිකම්පාවක් සිදුවන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. 1883 වර්ෂයේ ක‍්‍රැකට්‍රෝවා දූපතේ ගිනි කන්දක් පුපුරායාම හේතුවෙන් ඇතිවූ සුනාමිය ත‍්‍රිකුණාමලය හා ගාල්ල වරායන්හි දක්නට ලැබුණු බව එකළ පුවත්පත් වල පවා වාර්තාකර තිබේ.
මේ අතර දිගන, කිරින්ද, තිස්සමහාරාමය, ලූණුගම්වෙහෙර, අනුරාධපුරය, කැකිරාව, මිනුවන්ගොඩ සහ මීරිගම, බුත්තල, මොණරාගල, වැල්ලවාය ඇතුළු රට අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලින් සුළු භූ චලන පිළිබඳ වරින් වර වාර්තා වුවද ඒවා එතරම් ප‍්‍රභල භූමිකම්පා නොවේ. මෙයට බලපා ඇත්තේ ශ්‍රී ලංකාව ලොව ප‍්‍රධාන භූ තල මායිම් වලින් සැලකිය යුතු තරම් ඈතින් පිහිටා තිබීමයි.
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේය. මේ තැටිය වටා අප්‍රිකා භූ තැටිය, ඉහළින් හිමාලයානු භූ තැටිය, දකුණින් ඇන්ටාක්ටික් භූ තැටිය පිහිටා තිබේ. මේ තල මායිම් සැළකූ විට ශ්‍රී ලංකාව භූ චලන හටනොගන්නා සීමාවක පිහිටා ඇත. එම තැටි මායිම්වල සිදුවන භූ චලන අප රටට දැනෙන්නේ බොහෝ කලාතුරකිනි. 2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමියේ අමිහිරි අත්දැකීම් අපට විදින්නට සිදුවිය.
භූ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු සීමාවේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය කොටස් දෙකකට වෙන්වෙමින් පවතින බවයි. එය අනාගතයේ ඕස්ට්‍රේලියා තැටිය සහ ඉන්දු ශ්‍රී ලංකා තැටිය ලෙස නම් දෙකකින් හැඳින්වීමට සිදුවනු ඇත. මේ වෙන්වීම ශ්‍රී ලංකාවට දකුණින් කිලෝ මීටර 500ත් 1000ත් අතර දුරින් සිදුවෙම්න් තිබෙන බව ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. එම ස්ථානයේ සිට බැලූ විට මුළින්ම හමුවන ගොඩබිම වන්නේ මෙරට දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයයි. නිර්මාණය වෙමින් පවතින භූ තැටියට ඇත්තේ ද භූමිකම්පා සහ එයින් සිදුවන බලපෑම සැළකූ විට ආසන්න දුරකිනි.

භූ තැටිය නිර්මාණය වෙමින් තිබෙන ස්ථානය කවයකින් දැක්වේ https://www.thesun.co.uk/tech/11683342/indian-ocean-tectonic-plate-splitting-earthquakes/


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥවරයක ලෙස කටයුතු කළ විශ්‍රාමික මහාචාර්යවරයකු වන කපිල දහනායක, මහාචාර්ය සී.බී.දිසානායක, මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මේ අවදානම් කලාපය පිළිබඳ වසර කිහිපයක සිට කරුණු ඉදිරිපත් කර තිබිණි.
විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාවට සමීපයෙන් මේ භූ තැටිය දෙකට කැඩෙන්න පටන්ගෙන ඇත්තේ වසර කෝටි පහකට පමණ පෙර සිටයි. කෙසේ වෙතත් මේ කැඞීම සම්පූර්ණ වීමට තවත් වසර කෝටියකට වැඩි කාලයක් ගතවන බවද පර්යේෂකයෝ කියති.
කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පෘථිවි නිරීක්ෂණාගාරයේ භූ විද්‍යාඥ ජේම්ස් කොක්රන් පවසන්නේ ස්ථිරව ම ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය දෙකට කැඩෙන බවයි. මේ වෙන්වීමෙන් ආසියාව තවදුරටත් හිමාල සහ ටිබෙට් සානුව දෙසට තල්ලූ වී යා හැකි බව කොක්රන් පෙන්වාදෙයි.

ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය මේ වනවිට ශ්‍රී ලංකාව ආසන්න මුහුදු පත්ලේ දී දෙකඩ වෙමින් පවතින්නේ වසරකට අඟල් 0.06ක් හෙවත් මිලි මීටර 1.7ක වේගකිනි. නමුත් ඒ සඳහා විනාශකාරී භූමිකම්පා වරින් වර සිදුවෙමින් පවතී. මෙම වේගය මිනිසකුට ඉතාමත් සුළු වේගයක් වුව ද ග්‍රහලෝකයේ සිදුවන වෙනස්කම් අනුව සැළකිය යුතු ආකාරයේ වේගයක් බව විද්‍යාඥයෝ කියති. ඒ අනුව මෙම භූ තැටි මායිම නිර්මාණය වීමට තවත් වසර මිලියයකට වඩා වැඩි කාලයක් ගතවේ. නමුත් ඕනෑම මොහොතක ඇතිවන අති දැවැන්ත භූ කම්පන මාලාවකින් මේ භූ තැටිය වෙන් නොවනු ඇතැයි විද්‍යාඥයන් පවසන්නේ නැත.

සුමාත්‍රා දූපත් අසළ දී 2004 වර්ෂයේ සුනාමිය ඇතිකිරීමට හේතු වූ භූමිකම්පාව වැනි භූමිකම්පා කිහිපයක් එක දිගට මේ ප්‍රදේශයේ ඇතිවුවහොත් වසර කිහිපයකින් ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය කොටස් දෙකකින් දක්නට ලැබෙනු පමණක් නොව ශ්‍රී ලංකාව ආසන්නයේ ම භූමිකම්පා ඇතිකරන භූතැටි මායිමක් ද නිර්මාණය වී තිබෙනු ඇත.

මෙම භූතැටිය නිර්මාණය වන ආකාරය පිළිබඳ පර්යේෂණ සිදුකළ Aurélie Coudurier-Curveur පැවසුවේ: “එය වේගයෙන් චලනය වන ව්‍යුහයක් නොවේ, නමුත් අනෙකුත් භූතැටි මායිම්වලට සාපේක්ෂව එය ඉතා සැළකිය යුතු වේගයක්. මේ භූ තැටි මායිම බෙදී යාම නිරීක්ෂණය කිරීම හෝ අධ්‍යයනය කිරීම බොහෝ විට මඟ  හැරෙන තරම් දිය යටින් පිහිටා තිබෙනවා. කෙසේ වෙතත්, ඉන්දියන් සාගරයේ අසාමාන්‍ය ලෙස ඇති වූ ප්‍රබල භූමිකම්පා දෙකකින් පෙන්නුම් කළේ පෘථිවි පෘෂ්ඨයේ යම් යම් වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි. 2012 අප්‍රේල් 11 වන දින ඉන්දුනීසියාවට ආසන්න සාගරයට යටින් මෙම භූමිකම්පා ඇති වුණා. ඒ භූමිකම්පා දෙකම ඇතිවුණේ භූ තැටි මායිම් අතුල්ලමින් නොවෙයි. භූතැටිවල මධ්‍ය කොටසේ වීම අමුතු දෙයක්. ‍දැනටමත් අප නිරීක්ෂණය කර තිබෙනවා ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය සෑම විටම ඒකාබද්ධ තනි ඒකකයක් ලෙස ක්‍රියා නොකරන බව. ඒ නිසා 2012 අප්‍රේල් මාසයේ ඇති වූ භූමි කම්පා දෙක අපිට පුදුමයක් වුණේ නෑ. මෙය දැනටමත් ක්‍රියාත්මක වන්නේ එක භූතැටියක් ලෙස නොවෙයි. මෙය ඇතැම්විට භූ තැටි තුනක් විය හැකියි. කෙසේ වෙතත් එකම දිශාවට තල්ලු වෙමින්  තිබෙනවා.”

මෙලෙස නව භූතැටි මායිමක් නිර්මාණය වන ප්‍රදේශය වෝර්ටන් ද්‍රෝණිය ලෙස විද්‍යාඥයන් විසින් නම්කර තිබේ.

 

වෝර්ටන් ද්‍රෝණිය මුහුදු පත්ලේ ඡායාරූපයට නගා ඇති ආකාරය

ඔවුහු සාගර පත්ලේ ඇති භූ දර්ශනය සිතියම්ගත කිරීම සඳහා සාගර පත්ලෙන් ඉවතට පැනීමට ශබ්ද තරංග කොපමණ කාලයක් ගතවේද යන්න මැන බලන තාක්‍ෂණයක් භාවිතා කළහ.

එම දත්ත දෙස ආපසු හැරී බැලූ විට, ඔවුන් දැක ඇත්තේ එතැන එකිනෙකට තිරස් අතට ලිස්සා යන විට භූමිකම්පා ඇති කළ හැකි තහඩුවක් නිර්මාණය වෙමින් ඇති බවයි. සැතපුම් 217 ක් පුරා විහිදුණු කැඩී බිඳී ගිය තහඩු මායිම් කලාපයක් ඔවුන් විසින් සිතියම් ගත කර ඇත. එමෙන් ම මෙලෙස තල්ලු වී යන කලාප 62ක් ද පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.

මෙම ප්‍රදේශවලින් සමහරක් සැතපුම් පහක් දිග සහ සැතපුම් 1.8 ක් පළල විය. අනෙක් ඒවා මීටර් 120 ක් ගැඹුරට ඇතැයි සැලකේ. විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ 2012 වර්ෂයේ ඇති වූ භූමිකම්පා වල අපිකේන්ද්‍ර හරහා ගමන් කළ රේඛාවක් ඔස්සේ මෙම හිඩැස් ඇති වීම වසර මිලියන 2.3 කට පමණ පෙර සිට සිදුව ඇති බවයි.

මහාචාර්ය සි.බී.දිසානායක පවසන්නේ දැනටමත් අස්ථායී භූ කලායක් බවට පත්ව ඇති මේ නව විභේදන කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉහළ යාමට හේතුවන බවයි.
ලොව සිටින ඇතැම් විද්‍යාඥයෝ මෙලෙස ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩ වෙමින් පවතින බව පිළිගැනීමට මැලිකමක් දක්වති. කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ පර්යේෂණ ආයතනය තම භූ විභේදන සිතියම් වල ද මේ කලාපය වෙන්වන බවට ලකුණු කර තිබේ.
රිච්ටර් මාපක පහක් හෝ හයක අගයක් ගන්නා භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සිදුවුවහොත් ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවිය හැකි බව ද විද්‍යාඥයෝ පෙන්වාදෙති. මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරිමේ දී ඒවා භූමිකම්පාවකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කිරීමට කටයුතු කැර නැත. ඒ හේතුවෙන් සිදුවිය හැකි හානිය කොතෙක් ද යන්න තවමත් හිතාගත නොහැකි දෙයකි.
රිච්ටර් මාපක හතකට වැඩි භූමිකම්පාවක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවුවහොත් ක්ෂණයකින් ඇතිවන සුනාමියකින් සිදුවන හානිය ද සිතා ගත නොහැකි දෙයකි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා භූමියේ භූමිකම්පාවක් සිදුවුවහොත් වැඩිම හානිය සිදුවිය හැක්කේ මධ්‍යම කඳුකරයටය.
ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ඇති ප‍්‍රධානතම ගැටළුවනම් භූමිකම්පාවක් හා එවැනි අවස්ථාවක දී ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් නොමැති වීමයි.
අප රටේ සුවිසල් ගොඩනැගිල්ලේ සිට නිවාස දක්වා සියල්ල ගොඩනැගුවේ භූමිකම්පා සඳහා ඔරොත්තු දෙන ආකාරයෙන් නොවන බව මෙහිදී අප පළමුවෙන් සිහිතබා ගත යුතුය. කොතරම් සවිමත් යැයි සිතා සිටිය ද ඕනෑම මොහොතක සිදුවන භූමිකම්පාවකින් තත්ත්පර ගණනක දී ගොඩනැගිලි බිමට සමතලා වීමට ඉඩ තිබේ.
ඒ නිසා එවැනි අවස්ථාවක කළ යුතු හොඳම දෙයනම් ගොඩනැගිලි වලින් හැකි තරම් ඈත්ව සිටීමයි. එළිමහන් ස්ථානයකට ගමන් කිරීම තම ජීවිතය ආරක්ෂා කරගැනීමට හේතුවක් වනු ඇත. කෙසේ වෙතත් විශාල භූමිකම්පාවක දී නම් පොළොව පුපුරා යාමෙන් ද අනතුරු සිදුවිය හැකි බැවින් එවැනි ස්ථානයකට ගමන් කිරීම ද අනතුරකට හේතුවිය හැකි වුව ද කඩා වැටෙන ගොඩනැගිල්ලක සුන්බුන් වලට හිරවී මියයාමට වඩා යහපත් වනු ඇත.
පොළොව දෙදරා යන අවස්ථාවක දී නිවසේ ඇති ගෑස් උඳුන් හා විදුලි සැයුම් ඉක්මණින් අක්‍රිය කළ යුතුය. එමෙන් ම හැකිතාක් සන්සුන්ව හා උපක‍්‍රමශීලීව ඉක්මණින් නිවසින් ඉවත්වන්න. එසේ ඉවත්වීමේ දී කිසි විටෙක විදුලි සෝපාන භාවිතා නොකළ යුතුය. එමෙන් ම හදිසි අවස්ථාවක දී ප‍්‍රයෝජනයට ගැනීමට හැකි කුඩා ප‍්‍රථමාධාර කට්ටලයක් හා නිවැසියන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය දැමූ බෑගයක් නිතරම සූදානම්ව තබා ගත යුතුය.
සෑම නිවසකම එක් අයකු හෝ ප‍්‍රථමාධාර පුහුණුවක් ලබා තිබීම වැදගත්ය. හදිසි අවස්ථාවක දී නිවැසියන්ට එළිමහනේ රැස්විය හැකි ස්ථානයක් තීරණය කරගෙන සිටීම වැදගත් කරුණකි. එමෙන් ම නිවසේ බැටරියෙන් ක්‍රියාකරණ ගුවන්විදුලි යන්ත‍්‍රයක්, විදුලි පන්දමක් හා අමතර බැටරි තබාගෙන සිටීම ද වැදගත්ය.
නිවසේ රාක්ක මත බර ද්‍රව්‍ය තැබීමෙන් වැළකී සිටිය යුතු අතර ගොඩනැගිල්ලක් කඩා වැටෙන අවස්ථාවක දී තමන්ට එළියට යාමට වේලාවක් නොමැතිනම් ශක්තිමත් මේසයක් යටට යාම වඩාත් සුදුසු ක‍්‍රමයකි.
කඩා වැටෙන ගොඩනැගිල්ල ඉහළ ඇති වහළ සහ කොන්ක්‍රීට් බිත්තියක් සමග වැටීමේ දී බිත්තියත් වැටෙන සුන්බුන් අතර ඉඩක් ඉතුරුවන බැවින් බිත්තයකට හේත්තු වී සිටීම ද ජීවිතය ගලවා ගැනීමට එක් ක‍්‍රමයකි.
කෙසේ වෙතත් වර්ෂ 1615 දී කොළඹ සිදුවූ බව කියන භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි කඩා වැටෙන තරම් ප‍්‍රබල භූමිකම්පාවක් මෙරට දී සිදුවූ බවට කිසිදු සඳහනක් නැත. නමුත් දෙදහසක් පමණ මියගියා යැයි යන සටහන අනුව සිතිය හැක්කේ ඒ භූමිකම්පාව අතිශය ප්‍රබල එකක් බවයි. ඉදිරියේ දී එවැනි භූමිකම්පා සිදු නොවේ යැයි කිසිවකුට ස්ථිරවම කිව නොහැකි දෙයකි.
ශ්‍රී ලංකාව ආසන්නයේ නව භූ කම්පන කලාපයක් නිර්මාණය වෙමින් තිබිය දී අප සූදානම් ශරීරයෙන් සිටීම වඩාත් සුදුසු බව තේරුම්ගත යුතුය.

භූ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය කපිල දහනායක සහ මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී

https://agupubs.onlinelibrary.wiley.com/doi/10.1029/2020GL087362

https://www.thesun.co.uk/tech/11683342/indian-ocean-tectonic-plate-splitting-earthquakes/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!